2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

තරුණ පරම්පරාවට ඕනෑ ත්‍රිලර් කතා

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 384

විශේෂඥ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

රුසියානු භාෂාවෙන් සිංහලට කෘති පර්වර්තනය කරන ලේඛකයන් අතලොස්ස අතරින් ඉදිරියෙන්ම සිටින වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවදිල්ලි නුවර කාර්යාලයේ සේවය කරන ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෙකි. ඔහු විසින් මෙයට පෙර පරිවර්තනය කරන ලද ඔර්ලොව් දියමන්තියේ සාපය^ පොතට හොඳම පරිවර්තනයට හිමි ගොඩගේ සම්මානය හිමිවිය. පුෂ්ප රන්ජන්ගේ අලුත්ම පරිවර්තනය මරණයේ තැනිතලාව පසුගියදා නිකුත් විය.

• ඔබේ අලුත්ම පොත වන මිඛයිල් බුල්ගකොෆ්ගේ මරණයේ තැනිතලාව ගැන කිව්වොත්?

මරණයේ තැනිතලාව වශයෙන් පරිවර්තනය වන්නේ මිඛයිල් බුල්ගකොෆ්ගේ කුළුඳුල් නවකතාව වන බේලයා ග්වර්දියා (වයිට් ගාර්ඩ්) කෘතියයි. මෙයට පෙර ඔහුගේ මාස්ටර් හා මාර්ගරීතා කෘතිය නැසී ගිය පසන් කොඩිකාර අතිනුත් බල්ලෙකුගේ හදවත කෘතිය ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ අතිනුත් සිංහලට නැගෙනවා. එහෙත් 1925 ලියැවුණු මේ කෘතිය සිංහලට පරිවර්තනය නොවුණු නිසා රුසියානු බසෙන් මම මෙය පරිවර්තනය කළා. බල්ෂෙවික්වරුන්ගේ 1917 වසරේ සිදුවූ ඔක්තෝබර් විප්ලවයෙන් පසු බල්ෂෙවික්වරුත්, පැරණි පාලනයට හිතවත් සුදු හමුදාවත්, යුක්රේන ජාතිකවාදී හමුදාවත් අතර යුක්රේනයේ කීව් අග නගරයේ සිවිල් අරගල ඇති වෙනවා. එහිදී රුසියානු  බුද්ධිමතුන් හට විඳින්නට වූ දුක් ගැහැට පිළිබඳව මේ කෘතියේ බුල්ගාකොෆ් ඉදිරිපත් කරනවා. එහි කතානායක වන වෛද්‍ය තුර්බින්ගේ චරිතය සඳහා බුල්ගාකොෆ් යොදාගෙන ඇත්තේ වෛද්‍යවරයෙකු වූ ඔහුගේම කතාවයි.

• ඔබ මෙයට පෙර බොරිස් අකුනින්, චිංගිස් අයිත්මාතොව් වැනි රුසියන් ලේඛකයන්ගේ කෘති පරිවර්තනය කළා. ඒවාට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?

මේ විශිෂ්ට ලේඛකයින්ගේ කෘතිවලට ලැබුණු ප්‍රතිචාරය සඳහන් කරන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක් ලෙසයි. සෝවියට් සාහිත්‍යයට ඇලුම් කරන පාඨකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතා සතුටුදායකයි. ඔවුන් සෝවියට් දේශයේ බිඳ වැටීම සමඟ ශ්‍රී ලංකාව තුළ නව සෝවියට් හා රුසියානු සාහිත්‍ය කෘති මතුවීමේ අඩුවක් දකිනවා. ඒ තුළ රුසියානු බසින්ම පරිවර්තනය කර තිළිණ කළ පෙර සෝවියට් රජයේ පළ නොකළ කෘති වූ &සරෝසෙක් බිමේ දුක් ගීතය හා මරණයේ තැනිතලාව ඔවුන් වැළඳගත්තා. ධවල ධූම යාත්‍රාව පොතට වැඩි ප්‍රතිචාරයක් ලැබුණේ පාසැල් පුස්තකාල වලින්. එහෙත් තරුණ පරම්පරාව අතර මේ කෘති සඳහා ප්‍රතිචාරය අවමයි කියා මට හිතෙනවා. තරුණ පරම්පරාව ආදරයෙන් වැළඳ ගන්නේ ක්‍රයිම්, ත්‍රිලර්, ඩිටෙක්ටිව් වගේ පොත්.

• මුලින්ම අප රටේ රුසියානු සාහිත්‍යය පරිවර්තනයට පුරෝගාමී වුණේ කව්ද?

මුලින්ම රුසියානු ග්‍රන්ථ සිංහලට ගෙනෙන්නට උත්සාහ කළ ත්‍රිත්වය වූයේ මහා ගත්කරු  මාර්ටින් වික්‍රමසිංහයන්, කීර්තිමත් දේශපාලඥයෙකු වූ ටී.බී. සුබසිංහයන් හා ලංකාවේ පළමු සෝවියට් තානාපති වූ ව්ලදිමීර් යාකොව්ලෙෆ් යන මහත්වරුන්. ඔවුන්ගේ මගපෙන්වීම යටතේ උඩකැන්දවල සරණංකර හිමියන් ලිහිණි පොතක් සේ ගෝර්කිගේ අම්මා පොත පරිවර්තනය කළා. එය විප්ලවීය ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ.

• ශ්‍රී ලංකාවට රුසියානු සාහිත්‍යය හඳුන්වාදීමට දශක කිහිපයකට පෙර කේ.ජී. කරුණාතිලක, දැදිගම වී. රුද්රිගු වැනි පරිවර්තකයන් කටයුතු කළා. එම සේවය ඔබ දකින්නේ කොයි ආකාරයකින්ද?

පූර්ව සෝවියට් යුගයේ ස්වර්ණමය සාහිත්‍යය සිංහල පාඨකයා සමීපයට ගෙනෙන්නට පරිවර්තන ක්ෂේත්‍රයේ පතාක යෝධයන් වූ කේ.ජී. කරුණාතිලක, සිරිල් සී. පෙරේරා වගේම මාගේ ගුරුතුමා වූ මුනිදාස සෙනරත් යාපා කළ කාර්යය අති විශිෂ්ටයි. ඔවුන් ඉංග්‍රීසි පරිවර්තන වලින් රුසියානු කෘති සිංහලයට ගෙන ආවත් එහි මිහිර රැකුණා. නිවැරදි ව්‍යාකරණ ඔස්සේ පොත් පළකර ඔවුන් සිංහල පරිවර්තන සාහිත්‍යයට කළ සේවය අමරණීයයි.

• රුසියන් බසින්ම පරිවර්තනය වූ සෝවියට් පොත් කලකට පෙර අපට කියවන්න ලැබුණා.

ඔව්. ඒවා මුද්‍රණය වුණෙත් සෝවියට් දේශයේමනේ. ප්‍රගති හා රාදුගා ප්‍රකාශන ඔස්සේ ඒ අගනා කෘති අප වෙත ගෙන ආවේ වෛද්‍ය දැදිගම වින්සන්ට් රුද්‍රිගු. එහෙත් ඔහුගේ දැවැන්ත සෙවණැල්ලට වැසීගිය පද්මහර්ෂ කුරණගේ වගේම පියසේන මානිල්ගමත් අමතක කරන්න බැහැ. ඔවුන් රුසියාවේ සිට රුසියානු බසෙන්ම මේ පොත් පරිවර්තනය කර සෝවියට් හා රුසියානු සංස්කෘතිය නොවෙනස්ව රැගෙන එමින් සිදුකළ දායකත්වය අමිලයි. ඉන්පසුව වර්තමානයේ ඉංග්‍රීසියෙන් සිංහලට රුසියානු ග්‍රන්ථ රුගෙන එන චූලානන්ද සමරනායක, ආනන්ද අමරසිරි, රංජිත් ධර්මකීර්ති, මහින්ද සෙනරත් යාපා ගැනත් සඳහන් කළයුතු වෙනවා. එමෙන්ම රුසියානු බසෙන්ම පරිවර්තනයේ යෙදෙන මාගේ සමකාලීනයන් වන නැසීගිය පසන් කොඩිකාර, මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර, රන්ජන් සේනසිංහ වගේම මල්රේණු කස්තුරිරත්නත් ලොකු මෙහෙයක් කළා.

• ලංකාවේ බොහෝ වෛද්‍යවරු නිර්මාණ කෘති අතින්වත් අල්ලන්නෙ නැහැ. ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස නිර්මාණ සාහිත්‍ය අධ්‍යයනයට සහ පරිවර්තනයට කාලය සොයාගන්නේ කෙසේද?

කාලය සොයාගැනීම නම් ගැටලුවක්. අප පැය 24ම හා දින 365ම කැඳවීමේ සේවාවේ යෙදී සිටින නිසා කාලයේ හිඟයක් පවතින බව ඇත්ත. කොපමණ කාර්යබහුල වුවත් මා කෙසේ හෝ නිර්මාණ අධ්‍යයනයට මෙන්ම සාහිත්‍යයට අවම වශයෙන් දිනකට දෙහෝරාවක් ගත කරනවා. 

• පැරණි සෝවියට් සාහිත්‍යය මානුෂිකත්වය සහ දේශප්‍රේමය ගැන කතාකළා. අද රුසියානු සාහිත්‍යයේ ගමන් මග ඔබ දකින ආකාරය කිව්වොත්?

සෝවියට් දේශයේ මතවාදයට අනුව ඔවුන් සමාජවාදයේ අගය, මානුෂිකත්වය, සාමුහිකත්වය, දේශප්‍රේමය, ජාතීන් අතර මිත්‍රත්වය ගැන අවධානය යොමුකළා. අද යම් සාහිත්‍ය ක්ෂේත්‍රවලට පමණක් රාජ්‍ය අනුග්‍රහය හිමිවෙනවා. නමුත් සාහිත්‍ය හා මුද්‍රණ කර්මාන්තය මුළුමනින්ම පුද්ගලික, වෙළඳපොළ ආර්ථිකය හා සම්බන්ධ වුණු දෙයක්. නව අවකාශය තුළ පශ්චාත් සෝවියට් රචකයින් සිය කෘතීන් ඔස්සේ විවිධ මානයන් කරා යන අයුරු දකින්නට පුළුවන්. උදාහරණයක් ලෙස ස්ටාලින්ගේ සාමූහිකකරණය යටතේ පිටමං කළ ජනයාගේ දුක්බර ජීවිත, සෝවියට් දේශය බිඳ වැටීම හමුවේ වෙනස්වන රුසියානු කාන්තාවගේ භූමිකාව, නව රුසියානු ජීවිතයේ විවිධ පැතිකඩ ගැන ඔවුන් කතා කරනවා.

• නව රුසියන් ලේඛකයන්ගෙන් කැපී පෙනෙන්නේ කව්ද?

මාර්ගරිතා කේම්ලින් වැනි ලේඛිකාවක් සෝවියට් දේශය තුළ යුදෙව්වන්ගේ ජීවිතය කෙසේ වීද යන්න ගැන කතා කරනවා. ගූසේල් යකිනා වැනි ලේඛිකාවක් තතාර් සමාජය හා සම්බන්ධ මාතෘකා අඩංගු ප්‍රබන්ධ ගෙන එනවා. ඒ වගේම හතු පිපෙන්නාක් මෙන් බිහිවූ අවර ගණයේ රහස් පරීක්ෂක කතාවලට පිළිතුරක් සේ බොරිස් අකුණින් පැරණි රුසියානු අධිරාජ්‍යයේ ඓතිහාසික සිදුවීම් සම්බන්ධ කරමින් දොස්තයෙව්ස්කි, තෝල්ස්තෝයි වැනි ගුණාත්මක බවෙන් සපිරි රහස් පරීක්ෂක තේමාවන්ට යොමුව තිබෙනවා. වසීලී ග්රෝෂ්මන්, ඔක්ෂානා සබුස්කෝ මෙන්ම ගැටුම් පවතින දොන් බාස් පෙදෙසෙන් පැමිණි සේර්හිය් සදාන් වැනි යුක්රේන ලේඛකයින් අද ප්‍රමුඛ තැනක් ගන්නවා. බෙලරුස් රාජ්‍යයේ නොබෙල් සාහිත්‍යලාභී ස්වෙත්ලානා අලෙක්ෂියෙවිච් තවත් කැපී පෙනෙන ලේඛිකාවක්.  

• අපේ අලුත් පරිවර්තකයන් වැඩිදෙනෙක් නිසි අධ්‍යයනයකින් තොරව පරිවර්තනය කරන බවයි පේන්නේ? ඔබ එය නිරීක්ෂණය කළාද?

මා සිතන විදිහට පරිවර්තනයක යමෙකු යෙදීම උපාධි නිබන්ධනයක් ලිවීම හෝ පර් යේෂණ පත්‍රිකාවක් සැකසීමට සමානයි. ග්‍රන්ථය හා එය ලියවුණු පසුබිම, කතුවරයා, සිදුවීම හා ඒ වටා ඇති සියල්ල හැදෑරීමට ලක් කරන්නට වෙනවා. උදාහරණයක් ලෙස මරණයේ තැනිතලාව පොත පරිවර්තනයේදී මා පාද සටහන් 228 ක් යෙදුවා. එහි ඉතිහාසය, යුක්රේනියානු හා රුසියානු බස සම්බන්ධ කොටස්, ජනකවි, දේශපාලනය වන් විවිධ ක්ෂේත්‍ර එසේ හදාරා අඩංගු කළා. අධ්‍යයනයක් කරමින් පොතක් පරිවර්තනය කරන්නට වසරක් පමණ ගතවෙනවා. 

 කුසුම්සිරි