2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

මේ පරිවර්තකයන්ගේ වසන්ත කාලයයි

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 380

| මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

රසායන විද්‍යා මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ඌව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාය. සෝවියට් රුසියාවේ ආචාර්ය උපාධිය හැදෑරෑ ඔහු රුසියානු කෘති පරිවර්තනය විනෝදාංශයක් කරගත් විද්වතෙකි. ඔහු පරිවර්තනය කළ උණු පාන් සහ තවත් කතා, රුසියානු ගම්මැද්දේ චාරිකාවක් යන කෘති විදර්ශන ප්‍රකාශන වශයෙන් පසුගියදා නිකුත් විය. මේ ඔහු සමඟ පැවැත්වූ සංවාදයකි.

ඔබ මෙවරත් සාහිත්‍ය මාසය වෙනුවෙන් විශේෂ පරිවර්තනයක් පළ කළා. මුලින්ම ඒ ගැන කිව්වොත්? 

සාහිත්‍ය මාසය ඉලක්ක කරගෙන, විශේෂයෙන් ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් අලුත් පොත් ඉදිරිපත් කිරීමට ප‍්‍රකාශකයන් කැමැත්තක් දක්වනවා. ඒ වගේම සාහිත්‍ය මාසය තුළ පළවන අලුත් පොත් කියවීමට පාඨකයන් ද දැන් කලක සිට පුරුදු වී සිටිනවා. මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන ලද රුසියානු ලේඛක කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කිගේ කෙටිකතා එකතුවක්, උණු පාන් සහ තවත් කතා නමින් විදර්ශන ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වූවා. තවද මා විසින් පරිවර්තනය කරන ලද පවුස්තොව්ස්කිගේම කෙටිකතා එකතුවක්, රුසියානු ගම්මැද්දේ චාරිකාවක්” නමින් 2016 වසරේදී සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදක්වනු ලැබුවා.

රුසියානු ලේඛක කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කිට ඔබ වැඩි කැමැත්තක් දක්වන බව පේනවා.

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි කියන්නෙ ඉතාම උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රාශියක් ලොවට දායාද කරපු සෝවියට් රුසියානු ලේඛකයෙක්. ඔහු හැම විටෙකම මානව හිතවාදයට, භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන් ලේඛකයෙක්. පවුස්තොව්ස්කිගෙ හැම කතාවකම වගේ වීරයන් වුණේ සාමාන්‍ය රුසියානුවන්. ඒත්, අනෙකුත් ප‍්‍රතිභා සම්පන්න සෝවියට් ලේඛකයන් හා සසඳන විට, ලාංකික පාඨකයන් පවුස්තොව්ස්කිව තවම හරිහැටි හඳුනන්නෙ නෑ. මා උත්සාහ දරන්නෙ ඒ අඩුව පුරවන්නයි.

පවුස්තොව්ස්කිගේ පොත්වලට සිංහල පාඨකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද? 

ලැබෙන පාඨක ප‍්‍රතිචාර ඉතාම ඉහළයි. පවුස්තොව්ස්කිගේ සෑම නිර්මාණයක්ම නවකතා වගේම කෙටිකතාත් අපූරු සුන්දර අත්දැකීම්. රුසියානු ගැමි ජීවිතයේ සුන්දරත්වය ඒ හැම කතාවකින්ම අපූරුවට කියැවෙනවා. මේ වනවිට මා විසින් කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කිගෙ කෙටිකතා සංග‍්‍රහ දෙකක් සහ උතුරුකරයේ අන්දරය නම් වූ නවකතාවක් ද පරිවර්තනය කොට තිබෙනවා. ඔබම කියවා ඒවායේ රසය විඳින්නැයි මම ආරාධනා කරනවා.

අද බොහෝ පිරිසක් පරිවර්තනයට එළඹ සිටිනවා. නමුත්, වැඩි දෙනෙක් ලේඛකයන් සහ ඔවුන්ගේ කෘති ගැන හැදෑරීමක් නොකර පරිවර්තනය කරන බවයි පෙනෙන්නේ. ඒ ගැන ඔබේ අදහස?

මගේ අදහස අනුව නම් පරිවර්තනය යනු ඉතා ප‍්‍රවේශමෙන් කළයුතු දුෂ්කර කාර්යයක්. සමහර විට තමන්ගේම නිර්මාණයක් කිරීමටත් වඩා අමාරු කාර්යයක්. ඔබ පවසන පරිදිම, පරිවර්තනයකට අතගසන්නට කලින් අදාළ ලේඛකයා ගැන, ඔහුගේ කෘතීන් ගැන හැදෑරීමක් කිරීම අත්‍යවශ්‍යයයි. ඒ කෘතීන් ගැන ලියැවුණු විචාර ඇත්නම් ඒවා කියවා තිබීම ද ප‍්‍රයෝජනවත්. ඒ වගේම, මුල් පොතේ පසුබිම ගැනත් පරිවර්තකයාට මනා වැටහීමක් තිබිය යුතුයි.

ඔබ පොතක් පරිවර්තනය කිරීමට පෙරාතුව, කේ.ජී. කරුණාතිලක, සිරිල් සී. පෙරේරා වැනි ප‍්‍රවීණ පරිවර්තකයන් ගැන හැදෑරීමක් කළා නේද?

මෙම ලේඛකයන්ගේ පරිවර්තන ආසාවෙන් කියවා තිබෙන නමුත්, ඔවුන්ගේ පරිවර්තන ශෛලීන් පිළිබඳව විශේෂ හැදෑරීමක් කළා කියන්න අමාරුයි. නමුත්, කලින් කී පරිදි, මම පරිවර්තනයක් කරන්නෙ ඉතාම ප‍්‍රවේශමෙන්. මම පළමු උපාධිය වගේම පශ්චාත් උපාධියත් හැදෑරවේ මොස්කව් නුවර පැට්‍රිස් ලූමුම්බා මිත‍්‍රත්ව විශ්ව විද්‍යාලයේ. මම එහි වසර එකොළහක කාලයක් ගත කළා. ඒ අනුව අවුරුදු 11ක් රුසියාවේ ජීවත් වූ අයෙකු හැටියට, මට රුසියානු භාෂාව මෙන්ම රුසියානු සංස්කෘතිය පිළිබඳව ද හොඳ වැටහීමක් තිබෙනවා. රුසියානු කෘතීන් පරිවර්තනයේදී එය මට මහත් පිටිවහලක්.

අද පරිවර්තන පොත් බහුලව විකිණීමෙන් පෙනෙන්නේ ස්වතන්ත‍්‍ර කෘතිවල දුර්වල බවද?

එයට සෘජු පිළිතුරක් දීමට මා ඉදිරිපත් වෙන්නේ නෑ. මගේ අදහස අනුව නම්, හොඳ ස්වතන්ත‍්‍ර කෘති, ප‍්‍රවීණ මෙන්ම නවක ලේඛකයන් අතින් ද අදටත් නිර්මාණය වෙනවා. එහෙත්, සාපේක්‍ෂ වශයෙන්, උසස් ගණයේ ස්වතන්ත‍්‍ර කෘතිවල සංඛ්‍යාත්මක අඩුවක් කෙනෙකුට පෙනෙන්න පුළුවන්. අනෙක් අතට, පරිවර්තන කෘති කියවීමට දැඩි කැමැත්තක් දක්වන විශාල පාඨක පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිනවා. මගේ අදහස අනුව නම් මෙය ඉතා හොඳ ප‍්‍රවණතාවයක්. අපට ලෝකය අවබෝධ කරගැනීමට මෙය ඉතා සුදුසු මාර්ගයක්. එහෙත්, හැමවිටම හොඳ පරිවර්තන, බස නිවැරදිව යොදාගෙන ඇති පරිවර්තන තෝරාගෙන කියවන්නැයි, මම ලාංකික පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

 කුසුම්සිරි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00