2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

කුඩු කෑ විත්තිය

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 254

අපේ රොබින්, කැන්ටිමේ තේ බොමින් සිටින අතරේ බඹර කූඩුවකට ගලක් ගැසුවේය.
අපේ රටේ ජනගහණයෙන් හතළිස් දෙනකුගෙන් එක්කෙනෙක් කුඩු ගහනවලු.
අවට සිටි සැම ඇවිස්සුණි.

කවුද කියන්නේ?
අධිකරණ ඇමැති
එහෙම බැලුවොත් මෙතනත් කුඩුකාරයෙක් ඉන්ඩ එපැයි... මෙතනත් හතළිහකට වැඩියිනේ
ඒවා කියන්ඩ බෑ
රොබින්ගේ නත්තල් සිනාවට කාටත් තදවුණි. ඒ සමඟම නොයෙකුත් අදහස්ද තර්ක විතර්කද මතුවන්නට විය.
අනිත් තිස්නම දෙනාවත් කුඩු පුරැදු කළාම ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට රටම කුඩු*
සකලසූරිය සුපුරැදු පරිදි හැකර කතාවක් කීවේය.
කුඩු නැති කරගෙන යන කාලේ, කුඩුකාරයො වැඩි කරන්ඩද හදන්නේ?
කවුදෝ ඇසීය.
ඒක හරි. ඉස්සරහට බෙහෙතකටවත් කුඩු ටිකක් හොයාගන්ඩ බැරි වෙනවා
ශ්‍රියාපාල කීය.

කංසා නීතිගත කළොත් ඔය ප්‍රශ්නෙට දේශීය විසඳුමක් දෙන්ඩ පුළුවන්
නිතරම ගැඹුරු කල්පනාවක සිටින සිංහවංශ හිටිගමන් නින්දෙන් අවදි වුණාක් මෙන් පැවසීය. පසුගිය දිනෙක සූස්ති චිත්‍රපටය පිළිබඳව පැහැදීමකින් කතා කර තිබුණේද ඔහුය.
කුඩු පිළිබඳවද හොඳ චිත්‍රපටයක් නිර්මාණය කළ හැකිය. එය අනිවාර්යයෙන්ම කොමඩියක් වනු ඇත. ඊට හේතු කීපයකි.
1. කෝටි ගණන් වටිනා කුඩු තොග ඇල්ලූ පසු පිටි බවට පත්වෙයි.
2. අත්අඩංගුවට ගත් කුඩු ආපසු කුඩ්ඩන් අතටම යයි.

3. කුඩු අල්ලන්නට සිටින නාකොටික්ස්ලා ද (සමහරැ) කුඩු ජාවාරමේ යෙදෙති.
4. බන්ධනාගාරය තුළද කුඩු විකුණති. ඊට ඇතැම් නිලධාරීහුද හවුල් යැයි සැක කෙරෙති. නඩු පවරති.
5. කුඩු ලෝලීන් පුනරැත්ථාපනයෙහි යෙදී සිටින ඇතැම් පූජකවරුද කුඩු විකුණා හසුවෙති.
6. සමහර පොලිස් රාළහාමිලා කුඩු විකුණා හසුවෙතැයි බියෙන් ඉන්දියාවට පලා යති.

7. පාර්ලිමේන්තුවේද කොකේන්කාරයන් සිටී යැයි චෝදනා කළේ එහිම සිටින මහජන නියෝජිතයෙකි. එහි ඇත්ත නැත්ත ඔප්පු නොවීය.
(ඒ නියෝජිතයා ටෙලිෆෝන් ජෝක්ස් යැයි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ගොස් ලොකු අකරතැබ්බයකට මුහුණ පෑ බවට නිල නොවන ආරංචි ඇත.)
8. ලොකු කුඩා සෑම කුඩ්ඩෙකුගේම නිවෙස්වල හෝ බැංකු ගිණුම්වල ලක්ෂ ගණන් කෝටි ගණන් මුදල්ය. (එහෙව් රටක මහ බැංකුවක් බංකොලොත් නොවී ඉතිරිවී තිබීමත් පුදුමයකි.)
9. ෆේස්බුක් හරහා හෝටල්වලට හෝ මුහුදු වෙරළට එක්වන තරුණ තරුණියෝ කුඩු හෝ ටැබ්ලට් සාද පවත්වති.
10. පාසල් සිසුන් අතරද කුඩු පැතිරෙතැයි සැක කෙරේ.

ඉහත දැක්වූයේ කොමඩි නොහොත් විකට චිත්‍රපටයක් නිපදවීම සඳහා ප්‍රයෝජනවත් කරුණු කීපයකි. තවත් ඇත. බඩු ෂුවර් නැති නිසා නොකියා සිටිමු.
කුඩු යනු ජනවහරේ පවතින සකල විධ මත්ද්‍රව්‍ය සඳහා භාවිතා වන පොදු වචනයක් වුවත් මිනිස් ඉතිහාසයේ ඈත සිටම පැවත එන මත්පැන් ඊට අයත් නැත.
රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නිල උත්සවවල සිට ප්‍රිය සාද දක්වාම මත්පැනින් ද සංග්‍රහ කෙරේ. ඒවායේ කුඩු නැත. කුඩුකාරයන් සිටීමට නම් ඉඩ ඇත.

මත්පැන කාව්‍යයේදී මධු පානයකි. එය සමාජයේ ඉහළ - මැද - පහළ තුන් කොට්ඨාසයේම භාවිත කෙරෙන මිනිසාගේ සංස්කෘතික ජීවිතයේ කොටසක් ලෙස සැළකෙන්නකි. පුරවැසියන් හතළිහකින් එක් අයෙක් කුඩු ගහන තරමට එය සමාජගතව ඇත්නම් කුඩුද සංස්කෘතික උරුමයක් ලෙස සළකන ලෙස ඉල්ලීමට ඉඩ ඇත. එසේනම් කුඩු පානයට නීතිමය අවසර ඉල්ලා කුඩු දූත පිරිසක් අද හෙටම ජිනීවාහි මානව හිමිකම් මූලස්ථානය වෙත ගියහොත් පුදුම විය යුතු නැත.
කුඩු යනු මුදල්ය. අවදානම දැන දැනත් කුඩු ජාවාරමේ යෙදෙන්නේ යහමින් මුදල් ඉපයීමටය. කුඩු ගැසීමටද මුදල් අවශ්‍යය. කිසියම් රටක ජනතාව වැඩි වැඩියෙන් කුඩු ගැසීමට පෙළඹෙන්නේ නම් එය ඔවුන්ගේ ජීවන මට්ටම හා ආර්ථික තත්ත්වය ලොවට පෙන්නුම් කරන ලක්ෂණයක්ද විය හැකිය. එසේ බලන කල දිගට හරහට කුඩු මර්දනය කිරීමට යාම රටේ ආර්ථික සංවර්ධනයට කෙරෙන බාධාවක් ලෙස කිසියම් විද්වතකුට පෙනී යා හැකිය.
කුඩු යන වචනයට විවිධ අරුත් ඇත. ධාන්‍ය වර්ග පොලන විට ඉවත ලන සිහින් පිටි කොටසද හැඳින්වෙන්නේ කුඩු නමිනි. පුරාණ කාලයේ එකමත් එක රටක සිටි මිත්‍රයෝ දෙදෙනෙක් අන් අයට නොකියන බවට ගිවිසගෙන ඉවත ලූ කුඩුවලින් රොටී පුච්චාගෙන කෑවෝය. ඔවුන් එය රහසින් කළේ කුඩු කෑම ඉතා දිළිඳු පහත් වැඩක් ලෙස සැළකුණු බැවිනි. පසුව මේ දෙදෙනා එකිනෙකාගෙන් වරදක් වූ කල &කුඩු කෑ විත්තිය කියනවා යැයි තර්ජනය කරගත්හ.
මේ කුඩු කෑ විත්තිය දැන් දැන් අපේ සමාජයේ ලොකු ලොකු තැන්වලටත් අදාළ බව ප්‍රවෘත්ති වාර්තාවලින් පෙනී යයි. ආප්ප කෑ කතා වගේම කුඩු කෑ කතාද බොහෝය. ඒවා උසාවියේදී අසා ගැනීමට හැකි වනු ඇත.
කැන්ටිමේ කුඩු කතිකාව අවසන් වූයේ භූමි කම්පාවකට පෙරළීමෙනි.

වික්ටෝරියා ජලාශ ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ භූමිකම්පාවට හේතුව භූමියේ ඇති වූ ආතතියක් නිසා යැයි භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශය පවසා තිබුණි.
ඒ පිළිබඳව රොබින් තම මතය ඉදිරිපත් කළේ සභාව සිනා ගන්වමිනි.
එහෙමනම් එකත් එකටම වික්ටෝරියා ප්‍රදේශය අයිති මැතිවරණ කොමිසමට.

කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00