2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

සාහිත්‍යය අද පොරපිටියක් වෙලා

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

ප්‍රවීණ පරිවර්තක පාලිත ජයකොඩි

පාලිත ජයකොඩි ප්‍රවීණ පරිවර්තකයෙකි. ඔහු මෙයට පෙර අප්‍රිකානු පොළොව යටින්, බල වියරුව, මිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව, ධවල යක්ෂයා ඇතුළු කෘති රාශියක් පරිවර්තනය කළ අතර ධවල ඡායා නමින් ස්වතන්ත්‍ර කෘතියක් ද පළ කළේය. පාලිතගේ අලුත්ම කෘතිය කෙවින් මිස්සල් නම් තරුණ ඉන්දියානු ලේඛකයාගේ කල්කි නවකතාවයි. එය මේ දිනවල ඉන්දියාවේ විශාල අවධානයක් දිනාගත් කෘතියකි.

ඔබේ අලුත්ම පරිවර්තනය ජනප්‍රිය ඉන්දියානු කෘතියක්. ඒ ගැන කිව්වොත්?

එය ඉන්දීය අලුත් පරම්පරාවේ ජනප්‍රිය ලේඛක කෙවින් මිස්සල්ගේ කල්කි කතා මාලාවේ පළමුවැන්න &ධර්මයොද්ධ කල්කි*. තවමත් යෞවන වයසේ ඉන්න කෙවින්ගේ මේ නිර්මාණය ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතිනවා. එය ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්, ස්ටාර් වෝස් වැනි විචිත්‍රකල්පිත නිර්මාණ අතරට වැටෙන්නක්. වෙනස තමයි ඔහු මේ විචිත්‍රවත් බව නිර්මාණය කරන්නේ නිර්මිත ඉතිහාසය, දේව සංකල්ප වැනි දේ යහමින් යොදාගෙනයි.

පසුගිය කාලයේ ජනප්‍රිය ඉන්දියානු නවකතා පරිවර්තනයට පෙළඹවීමක් දක්නට ලැබෙනවා. ඔබත් ඒ රැල්ලට අසුවුණාද?

අපොයි නෑ. මං අතින් ඉන්දියානු වටපිටාව පසුබිම් කරගනිමින් ලියැවුණු නිර්මාණ කිහිපයක්ම මීට කලින් පරිවර්තනය වී තියෙනවා. ඒත් මෑතකදී ලියැවුණු ඉන්දියානු නිර්මාණයක් මම සිංහලට හරවන්නේ දෙවැනි වතාවට. රැල්ලක් දැන් ඇරඹී තියෙනවා ඇති. ඒත් අපේ හිතවත් දිලීප ජයකොඩි මහතා මේ කාර්යයේදී මතක් කරන්නට අවශ්‍යයි. ඔහු චේතන් භගාත් දිගින් දිගටම සිංහල පාඨකයන්ට සමීප කළා. ඒවාට සිංහල පාඨකයන් බොහෝ ප්‍රිය කළා. තවත් බොහෝ ඉන්දියානු නිර්මාණ සිංහලට පෙරළී තියෙනවා. සමහර රුලි අප පෙරළාගෙන යන්නට උත්සාහ කරනවා තමයි. ඉතින් ඒ වෙලාවට එහි නොගිලී ඉන්න උත්සාහ කරන්න එපායැ. ඒක රුල්ලට යාමක් නොවෙයි.

ඔබ ස්වතන්ත්‍ර නවකතාවක් ලිව්වා. එය විචාරක අවධානයට යොමු නොවුණු බවයි අපේ හැඟීම?

මමත් එහෙම හිතනවා. ඒත් ඒවා ගැන තවත් තැවීමෙන් පලක් නැහැ. කියවූ බොහෝ දෙනෙක් ඊට දිරිගන්වනසුළු ප්‍රතිචාර දක්වා තිබුණා. තවත් නවකතාවක් ලියන්නටත් පටන්ගෙන තිබුණා. ඒත් මා එය විසිකර දමා නිකම් හිටියා. එය බොහොම ආදරයෙන් අතගැසූ වැඩක්. කෘතියේ හොඳ නරක ගැන මා දන්නේ නැහැ. ඒත් ඒ වකවානුවේ මට දැනුණු කනස්සල්ල, කනගාටුව ආයෙමත් නවකතා ලියන එක එපා කළා. අවුරුදු තුනකට වරක් හෝ නවකතාවක් ලිවීමේ බලාපොරොත්තුවක්, විශ්වාසයක්, සූදානමක් තිබුණා. ඒත් ඒ ආශාව නැතිවී ගියා. සමහර බාහිර අත්දැකීම් බොහොම අප්‍රසන්න වුණා.

අපගේ සමහර පරිවර්තන දෙස බලන විට පෙනෙන්නේ පරිවර්තකයා කිසිදු සොයා බැලීමකින් තොරව හදිස්සියෙන් ඒවා කරන බවයි. ඔබට ඒවා නිරීක්ෂණය වී තිබෙනවාද?

පාඨකයකු විදිහට එහෙම දැකලා තියෙනවා. ඒත් පරිවර්තක කුලකයටත් මා අයිති නිසා ඒ ගැන කතාබහ කරන්න උනන්දු නැහැ. ලේඛකයන් ක්ෂේත්‍රයේ සහෝදර ලේඛකයන් විවේචනය කිරීම ගැන මට පැහැදිලි අදහසක් නැහැ. ඒ කාර්යය සඳහා පාඨකයා බොහොම හොඳ ඉවකින් ඉන්නේ. බොහොම සතුටුයි ඔවුන්ගේ ඇගයීම් හා විවේචනය ගැන. ඔවුන්ගේ කාර්යයට මං පනින්නේ නැහැ. මම එහෙම හදිසියේ ලියන අයෙක් නොවෙයි. 

ස්වතන්ත්‍ර කෘතිවලට වඩා පරිවර්තන පොත් දෙසට පාඨකයන් වැඩිපුර ඇදෙන බව ප්‍රකාශකයන් පවසනවා. ඔබ එයට හේතුව දකින්නේ කෙසේද?

ඒකට හේතුව ප්‍රමාණය. නවකතාවලට වඩා බොහොම වැඩි පරිවර්තන ප්‍රමාණයක් එළිදකිනවා. එහෙත් එයින් හැඟෙන්නේ නැහැ නවකතාව පසුපසට තල්ලුවෙලා කියලා. වසරේ වැඩිම පිටපත් විකිණුනු පොත් අතර තියෙන්නේ වැඩිමනත් වශයෙන් නවකතා. ඒත් පාඨකයා අතට ලැබෙන පරිවර්තන කෘති ප්‍රමාණය නවකතාවලට වඩා වැඩියි. ඒ මට හිතෙන විදිහ. තවත් බොහෝ හේතු ඇති ඔබ කී අදහස ඉස්මතු වෙන්නට. ඒ වාගේම මේ පරිවර්තන කෘති ප්‍රමාණය ඉහළ යාමත්, ඒ ඇතැම් පරිවර්තනවලට අධික ඉල්ලුමක් ඇතිවන්නටත් තවත් හේතුවක් වන්නේ ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා ගැන අද පාඨකයාට බොහොම පහසුවෙන් දැනගන්න ලැබෙන නිසයි. ඉතින් ඔවුන් නොඉවසිල්ලෙන් ඉන්නවා ලෝක සාහිත්‍යයේ අලුතෙන්ම බිහිවන නිර්මාණ සිංහල භාෂාවෙන් ඔවුන් අතට ලැබෙනතුරු.

කලකට පෙර සාහිත්‍යය සැලකුණේ සමාජ මෙහෙවරක් ලෙසයි. අද වන විට එය දැකගැනීම අසීරුවෙලා? 

සාහිත්‍යය සමාජ මෙහෙවරක් වූ කාලය අවසන් වේගෙන යනවා. අවාසනාවකට අපත් දැන හෝ නොදැන එහි පැටලිලා ඉන්නවා. දැන් එය ව්‍යාපාරයක්. ව්‍යාපාරයට වුවමනා තරගය මිස හොඳහිත නොවන බවක් ඇතමුන් හිතනවා. සාහිත්‍යය සොඳුරැ තෝතැන්නක් කියා කීවත් එය බාගවිට ඇතුළාන්තයෙන් පොරපිටියක් වී තිබෙනවා දකින්නත් පුළුවන්. උගුල්, කකුලෙන් ඇදිලි, දිය යටින් ගින්දර ගෙන යන හැටි මේ ක්ෂේත්‍රයේත් නැතුවාත් නොවෙයි. ඒත් එහෙම නොහිතන හිත හොඳ මිනිසුන් ඉන්නා බවත් අප අමතක කළ යුතු නැහැ. කොහොම වෙතත්, සාහිත්‍යකරැවන් හැටියට අපට හැකි නම් මේ පරස්පරතා, නොහොඳ නෝක්කාඩු අවම කර ගන්න, සාහිත්‍යයේ සොඳුරැ බව ප්‍රායෝගික ලෝකෙට ගෙනෙන්න අපට පුළුවන් වෙයි.

කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00