2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

මට මමංකාරේ හැදිලා

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

මිල්කා රානා දෙස බැලුවේ තරමක පුදුමයකිනි. ඔහු කවරෙක්ද? ඇගේ දෙනෙක් පියැවිලි මත ඒ ගැටලුව ඉතිරිව තිබිණ.
බිය නොවන්න දියණිය. අසුන් ගන්න.

ඔරේනස්ගේ හඬට වශීකෘතව මෙන් මිල්කා හිඳ ගත්තාය.
සැකය කියන්නේ සිතේ සැනසීමේ අහිමිවීමයි. මිනිසුන් නිරන්තර සැකය නිසා සතුටින් නිදහසේ ජීවත්වීම අහිමි කරගන්නවා. ඔබ කඩුල්ල වෙත ආවේ සතුටින්. මා දුටු සැණින් ඒ සතුට අතුරුදන් වූවා. මා කවරෙක්ද? කොහේ සිට ආවා? ඔබ හිතන්න ගත්තා. සැකය උපදින්නේ බය සමගයි දරුවා. තමා හෝ තමාට අයත් දේ අනෙකා උදුරා ගනී යැයි බිය හිතෙනා හැමවිටම මනස තුළ සැකය උපදිනවා..... සියල්ල අත්හැර දමන්න. එය ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. හුදු අතැර විසීමක්. සියල්ලට සේම සියල්ලන්ටම ඔහේ ඉන්නට හරින්න. ඔබේ ජීවිතයටත් ඔහේ තියෙන්න හරින්න. එය කවදාක හෝ නැති‍ෙවනවා නියත නම් ඒ නැති වන මොහොත අද හෝ හෙට හෝ තව කල්පයකින් හෝ වේවා එහි ඇති වෙනස කුමක්ද....? වැටහුණිද රානා....

එහෙමයි ස්වාමීනි.
මැය කවරෙකු වුවත් ඔබගේ හිතවතියක බව පෙනේ.
මිල්කා ලජ්ජාවෙන් බිම බලා ගත්තාය. රානාද අමුතු තාලයකට බලා මිල්කා හා සිනාසුණේය.
ඇය මගේ හොඳම මිතුරිය ස්වාමීනි.
හොඳම මිතුරිය. 
ඔරේනස් එය ප්‍රතිරාවය කළේය.
මිතුරිය...! 
ඔහු තවත් වරක් ප්‍රතිරාවය කළේය.
මිනිසාගේ ආදිතම හිතවතාගේ නම ඔබ දන්නවාද රානා....
ස්වාමීනි...?
ඇගේ නම මිතුරිය. ඔබ මැවුම් වාදය ගැන අසා තිබෙනවාද?
එය අසා තිබෙනවා ස්වාමීනි. මිල්කා අදහන්නේත් මැවුම් වාදයයි.
ඔබ...?
මගේ ආගම වෙනත් ආගමක් ස්වාමීනි.
හොඳයි මිල්කා... ඔබ දන්නා තරමින් මේ ලෝකය මේ විශ්වය ආරම්භ වූයේ කෙසේද? කොටින්ම ඔබ දන්නා තරමින් මෙලොව පළමු මිනිසාත් ගැහැනියත් බිහිවූයේ කෙසේද...?
මිල්කාගේ මුහුණ පිපී එනු පෙනිණ.
ස්වාමීනි පළමු මනුෂ්‍ය පුත්‍රයාද මනුෂ්‍ය දියණියද දෙවියන් වහන්සේ විසින් මැවූ සේක.
ඒ කෙසේද මිල්කා....
ස්වාමීනි දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක් සාදා මනුෂ්‍යයා වෙතට ඇයව පැමිණවූවා. එවිට මනුෂ්‍යයා කතාකොට මැය මාගේ ඇටවලින්ද මස්වලින්ද තනන ලද්දේ බැවින් ඇය මනුෂ්‍ය දුවයැයි නම් තබමියි කීවා. පුරැෂයා තමාගේ පියාටත් මවටත් වඩා බිරියට ඇළුම් කරන්නේ ඒ නිසයි. ඒ ඔවුන් එකම මාංශයක් බැවිනුයි. කදිම ඉගැන්වීමක් මිල්කා.... ලොව සෑම ආගමකම දර්ශනයකම එවැනි කදිම සිත්ගන්නාසුළු ඉගැන්වීම් තිබෙනවා.
ස්වාමීනි ඔබගේ ආගම කුමක්ද? මිල්කා ප්‍රශ්න කළාය.
මගේ ආගමද දර්ශනයද, ජීවිතයද, ප්‍රාණයද ඉගැන්වීමද ආදී වූ මාගේ සියල්ලම මේ ස්වභාවධර්මය වන්නේය. මෙහි පවතින සියල්ල මාගේය. මම මේ සියල්ලම වෙමි.
ස්වාමීනි, ඔබගේ ගැන්වීම්වලට අනුව ආදරය ගැන අපට කියන්න. ස්නේහය ගැන ප්‍රේමය ගැන කියන්න.
රානා යුහුසුළුව කීවේය. මිල්කා රානා දෙස බැලුවේ ඔවුන් දෙදෙනා පමණක් දන්නා හැඟීමක් හුවමාරු කර ගනිමිනි. ඔරේනස් මුව විවර කරන්නට සැරසුනා පමණි. රහසින් කාටත් නෑසෙන සේ ඔහුගේ අධ්‍යාත්මය සමඟ ගුරුතුමාණන් වහන්සේ දොඩමළු වූයේය.
ඔරේනස්...?
ස්වාමීනි....
ඔබ කරන්නට යන්නේ කුමක්ද?
ස්වාමීනී ඔවුන් ආදරය ගැන මගෙන් විමසා සිටිනවා.
ඔරේනස්.... ඔබ විසින් සිදුකරන මාගේ ඉගැන්වීම්වල වටිනාම දේශනය ආදරයයි. මා සිතන්නේ ඔබ මේ දේශනා ඔවුන් වෙත මනා අවබෝධයකින් යුතුව කළයුතු වෙනවා.
එසේය ස්වාමීනි.
මන්දයත් ඔබ නොදන්නවා වූවාට රානා සහ මිල්කා පෙම්වතුන්.
මට එය දැනෙනවා ස්වාමීනි.
හොඳයි එහෙනම් ඔබට අවසර...
මිල්කා සහ රානා ගල් ගැසී පිළිතුරු අපේක්ෂාවෙන් බලා සිටියි. ඔරේනස් ආරම්භක වචනය ගැන හිමින් මොහොතක් පමා වූවේය.

(ලබන සතියට)
 සමන් එදිරිමුණි

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00