2017 අප්‍රේල් 07 වන සිකුරාදා

අවුරුද්දට වයිරස්

 2017 අප්‍රේල් 07 වන සිකුරාදා, පෙ.ව. 06:00 157

ගුවන් විදුලිය තුළින් කොහා හඬනු ඇසුණු මම, මිදුලට බැස වට පිට බැලුවෙමි. කොහෙත් තියා කපුටෙක්වත් පෙනෙන්නට නැත. එරබදු ගසක් පළාතේවත් නැත. වැට මායිමේ වීපිං විලෝ ගස් කීපයක් නම් දක්නට ඇත.

පාරේ ගමන් කරමින් සිටි ඇක්මන් බාසුන්නැහේ මා දැක මොහොතකට නැවතුණේය.

“සර් අද නිවාඩු වගේ.”

“ඔව්. මඟුල් ගේක යන්න තියෙනවා.”

“අවුරුදු කොහොමද සර්?”

“ඔහේ ගෙවිල යයි.”

“ඒකනං හරි සර්. අපිටත් එහෙම තමයි. කිසි වාසියක් නෑ. අපේ නෑ කෙනෙක් ඉන්නවා, පළාත් සභාවක. එයා ඇමති කෙනෙක්. මං හිතං ඉන්නෙ අවුරුද්දට පවුල පිටින්ම එහෙ යන්ඩ කියලා.”

“එහෙම හොඳයැ. සිංහල අවුරුද්දෙ ගෙවල් පාළුවට යවන්න නරකයි.”

“මොනව පාළුවෙන්නද සර්. මැති ඇමැතිවරුන්ට විතරයි අවුරුදු තියෙන්නෙ. එහෙමත් නැත්තං වෙළෙන්දන්ට. ඒ කාගෙ හරි ගේකට රිංග ගත්තොත් තමයි මෙදා පාර අවුරුදු කන්න වෙන්නෙ.”

“ජනතාවට ඒ තරමටම අමාරුද බාසුන්නැහේ?”

“අමාරු නෙවෙයි අසාධ්‍යයි. ඒත් ඉතින් අවුරුදු කන්නත් එපායැ.”

“ඔහේලා අඳුරන මැති ඇමැතිවරුන්ටවත් ඒ ගැන කියල බැලුවෙ නැද්ද? රටේ තත්ත්වෙ ගැන ඒ ගොල්ලන්ට කිසිම හැඟීමක් නෑනෙ!”

“ජනාධිපතිතුමා කිව්වනෙ, පක්ෂෙ ගොඩ දා ගත්තට පස්සෙ, රටට සමෘද්ධිය උදාවෙනවා කියලා. බලමුකො ලබන අවුරුද්දෙවත් අවුරුදු කන්න පුළුවන් වෙයිද කියලා.”

“මහින්ද මහත්තයනං කියන්නෙ, තව පෝය දෙකකට පස්සෙ සේරම ගොඩ කියලා.”

“පෝය ළං වෙනකොට, අපේ පවුලත් ඔය වගේ කතා කියනවා සර්.”

ඇක්මන් බාස් සිනාසුණේය. ඔහු වටපිට බලා, යළිත් මා වෙත හැරුණේය.

“අපේ පවුල නං යහපාලනේට හරි කැමතියිනෙ සර්.”

“ඒ මොකද?”

“එයා කියනවා, යහපාලනේ හින්දා මම පොරොන්දු ඉෂ්ට කරන මිනිහෙක් වුණාලු.”

“ඒ කිව්වෙ?”

“මං ගිය සිංහල අවුරුද්දෙ පවුලට පොරොන්දු වුණා, බීම නවත්තනවා කියලා. ඒක ඉබේටම සිද්ධ වුණානෙ යහපාලනේ නිසා. හැබැයි මේ අවුරුද්ද මස්තබාල්දු වෙන්නෙත් ඒ නිසාමයි.”

ඇක්මන් මහපාරට කෙළපාරක් ගසා, පිටව ගියේය.

සවස්වරුවේ මා සහභාගි වූ මංගල්‍ය උත්සවයේදීත් බොහෝ දෙනා කතා බස් කළේ සිංහල අවුරුද්ද සැමරීම සහ රටේ දේශපාලන තත්ත්වය ගැනය. ඉතාලියේ රැකියාවක යෙදී සිටින සම්පත් මා දුටු විගසම ළඟට දිව ආවේය.

“අයියා අපිට මීඩියා සපෝට් එකක් දෙන්න ඕනෙ. අපි ඉතාලියෙ සිංහල අවුරැදු උත්සවයක් කරනවා.”

‍“මෙහෙට නැතිවුණාට ඉතාලියට හරි අවුරුදු තියෙන එක ලොකු දෙයක්. මම නිව්ස් එකක් දාල දෙන්නම්. කවදද තියෙන්නෙ?”

“මැයි මාසෙ අන්තිමට.”

“මැයි මාසෙ වෙසක්නෙ? අවුරුදු උත්සවයක් නේද කරනවා කිව්වෙ?”

“ඔව්. ඒ වුණාට, එහෙ ඉන්න අපේ කට්ටිය හුඟ දෙනෙක් මේ දවස්වල මෙහෙ ඇවිල්ලනෙ ඉන්නෙ. ආපහු ගියාට පස්සෙ තමයි අවුරුදු උත්සවේ කරන්නෙ.”

ඉතාලියේ, ප්‍රංශයේ හා මැද පෙරදිග පමණක් නොව ලංකාවේද බොහෝ අවුරුදු උත්සව පවත්වන්නේ බක් මාසයෙන් පසුවය. ප්‍රමාද වී අවුරුදු සැමරීම ජාත්‍යාලයෙන් කෙරෙන කටයුත්තක් නිසා එහි වරදක් නැත. බොහෝ අවුරුදු උත්සවවලින් පසු, එහි සංවිධායකවරු එක්වී දේශානුරාගී ගීත ගායනා කරමින් විනෝදවන අයුරු බොහෝ දෙනාට රහසක් නොවේ.

එක් උදෑසනක, ගමේ “ත්‍රීවීල් තරුණයින්” දෙතුන් දෙනෙක් මා හමුවන්නට ආවේ සම්මාදම් පත්‍රයක්ද සමගිනි.
“අපි මෙදා පාර සිංහල අවුරුද්දට සංගීතයක් කරනවා ඉස්කෝලෙ පිට්ටනි කෑල්ලෙ. ඒකට ආධාරයක් ඉල්ලන්නයි ආවෙ.”

“සිංහල අවුරුද්දට සංගීතයක්? ඉස්සරනං කරන්නෙ රබන් ගහන එකනෙ.”

“ඒ ඉස්සරනෙ. දැන් ගෙවල්වල රබානක්වත් තියෙනවයැ. තිබුණත් කවුද රබන් ගහන්න දන්නෙ.” තරුණයෙක් මා දෙස “නක්කල් බැල්මක්” දැම්මේය.

“අලුත් අවුරුද්දට “ෆන්” එකක් ගන්ඩනෙ කවුරුත් කැමති. සින්දු කියන්ඩ පුළුවන් නං අන්කල්ටත් චාන්ස් එකක් දෙන්ඩ පුළුවන්. හැබැයි, සින්දුවකට පහළොස් දාහක් ගන්නවා.”

“එච්චර ගාණක් මොකටද?”

“නිගම්බොවලින් බෑන්ඩ් එක ගෙන්නන්නෙ. ඒ ගොල්ලන්ට ලොකු ගාණක් ගෙවන්ඩ ඕන.”

ගීත ගායනා කිරීමට නොහැකිවීම කොතරම් භාග්‍යයක්දැයි මට සිතුණි. මා දුන් සුළු පරිත්‍යාගය බාරගත් තරුණයෝ, මොන මොනවාදෝ කියමින්, පිටව ගියේ ගේට්ටුව අසල සිටි අපේ බල්ලාටද ගලකින් පහර දෙමිනි.

එදිනම සවස්වරුවේ, ඇක්මන් බාස් යළිත් මුණ ගැසුණි. ඔහු සිටියේ සතුටිනි.

“සර්... මම නම් යන්තම් බේරුණා.”

“මොකෙන්ද?”

“සිංහල අවුරුද්දෙන්?”

“ඒ කොහොමද? සල්ලි ටිකක් ලැබුණද?”

“නැහැ.... අපේ පවුලටයි, නැන්දම්මටයි දෙන්නටම වයිරස් උණ හැදුණා. දැන් කවුරැත් අපේ ගේ පළාතේ එන්නෙත් නෑ. අවුරැදු කෑමත් නෑ. තෑගිත් නෑ. ගමන් බිමනුත් නෑ.”

ඇක්මන් බාස්, කොවුලකු මෙන් සිවුරුහම් බාමින් පිටවී ගියේය.

♦ කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00