2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

යුරේනස් ෆේස් බුක් තහනම් කරයි!

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

යුරේනස් ග්‍රහයා සොයාගනු ලැබු‍වේ විලියම් හර්චෙල් නැමැති විද්‍යාඥයා විසිනි. අපේ පුරාණ සෘෂිවරුන්ද අතීතයේ මෙම ග්‍රහයා වෙතත් සංස්කෘත නමකින් හැඳින් වූයේය. එසේම එහි බලපෑම ඉදිරියේදී පෘථිවියට දැනෙන්නට පටන් ගන්නා බවත් ඔවුහු ප්‍රකාශ කර සිටියහ. 

මේ අනුව 1871 වර්ෂය තරම් කාලය වනවිට අපගේ නවීන විද්‍යාව අනුව යුරේනස් දැකගැනීමටද හැකිවිය. යුරේනස් වර්ෂ 7ක තරම් කාලයක් එක රාශියක සිටියි. මේ අනුව යුරේනස් මේෂයට ගිෙය් අප්‍රේල් 5 වැනි දිනය. යුරේනස් අවසන් වරට මේෂයේ සිටියේ 1930 දශකයේය. රොකට්, දුම්රිය, කොම්පියුටරය, අන්තර්ජාලය, අජඨාකාශ වාහන, චන්ද්‍රිකා ආදිය යුරේනස්ගෙන් නිවේදනය වෙයි. එමෙන්ම වායුගෝලයේ කැළඹීම් කුණාටු ආදියද මෙයින් කියවේ. ප්‍රසිද්ධිය පෙන්වන ග්‍රහයා බුද වන අතර බුදගේ (Octave) ප්‍රබල තත්ත්වය යුරේනස්ගෙන් නිවේදනය වෙයි. යුරේනස් ප්‍රබලම වායු රාශිය වන කුම්භයට සම අධිපතියාය. අධික ප්‍රසිද්ධිය පෙන්වන්නේ යුරේනස්ගෙනි. යුරේනස් ප්‍රබල තොරතුරු සංනිවේදනය සහ අධ්‍යාපන කාරක ග්‍රහයාද වෙයි. 

බෙදුම්වාදි සංවිධාන හිස ඔසවයි

ඕනෑම අංශයක අධික ප්‍රසිද්ධියක් ලැබීමට නම් කේන්දරයකට යුරේනස්ගේ දායකත්වය අත්‍යවශ්‍යය. නිදසුනක් වශයෙන් ගම්මට්ටමෙන් හෝ පාසැල් මට්ටමෙන් ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු බුද-කුජ යෝගයක් හෝ බුද-ගුරු යෝගයක් පෙන්වනවා නම් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂකමක් දැක්වීමට යුරේනස් යෝගයක් හෝ දෘෂ්ඨියක් අවශ්‍යය. කුමන ක්ෂේත්‍රයකින් හෝ මහා පරිමාණ ප්‍රසිද්ධියක් හෝ සුවිශේෂ දක්ෂතාවක් යුරේනස් නිසා ඇතිවේ. ජාතියක ධීමතා යනුවෙන් හඳුන්වන්නේ යුරේනස්ය. මෙයට සිංහලෙන් තාක්ෂණික වචනයක් නැතත් ධීමතා යනුවෙන් සුවිශේෂ දක්ෂයා යන අරුත කියවේ. විද්‍යාඥයින් නව සොයාගැනීම් කරන්නේද යුරේනස්ගේ පිහිටෙනි. යුරේනස් ප්‍රධාන වශයෙන් විදුලි බලය හා ඉලෙක්ට්‍රොනික්ද නිවේදනය කරයි. එසේම ඉතා හදිසියේ වන සුවිශේෂ සිද්ධීන්ද යුරේනස්ගෙන් කියැවේ. බොහෝ විද්වතුන් යම් යම් දේවල් සොයාගැනීමට සෑහෙන කාලයක් වෙන්කළද අවසානයේදී හදිසියේ ලැබුණු සිදුවීමකින් හෝ තොරතුරකින් ඔවුන්ගේ අපේක්ෂාව ඉටුකර ගෙන ඇත. අයිසෙක් නිව්ටන් ආකර්ෂණ ශක්තිය සොයාගත්තේ ඔහු ඇපල් ගසක් යට සිටියදී වැටුණු ඇපල් ගෙඩිය නිසාවෙනි. මෙවැනි අවස්ථා හා කෙනෙකුගේ චරිත ලක්ෂයේ අසාමාන්‍ය හැසිරීම් රටාව පෙන්වන්නේද යුරේනස්ගෙනි.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රබල වෙයි

තාරකා විද්‍යාව ජ්‍යොතිෂය හා විශිෂ්ට බුද්ධිය ද යුරේනස්ගෙන් නිවේදනයවෙයි. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු, සිනමා නළුවෙකු, සාහිත්‍යධරයෙකු, මහා ධනකුවේරයකු ගත්තද අදාළ භාවවලට සහ භාව අධිපතින්ට යුරේනස්ගෙන් දෘෂ්ඨියක් හෝ සංයෝගයක් ඇතිබව පෙනෙයි. 

දේශපාලනයට හෝ සමාජමය වශයෙන් ගත්තද සමිති සංවිධාන සහ අසම්මත දේශපාලන සංවිධාන, වෘත්තිය සමිතිද, නිවේදනය වෙයි. මහා මැතිවරණවලටත් වඩා පළාත් සභා ප්‍රදේශීය සභා නගර සභා මැතිවරණ ආදිය ද මෙහි වෙයි.
ආණ්ඩුක්‍රම වෙනස්කම්ද සංශෝධන ආදියද යුරේනස් මෙහෙයවයි. එමෙන්ම මානව අයිතිවාසිකම් කාණ්ඩයද වෙනම සංස්කෘතික අංශද නිවේදනය වෙයි. යුරේනස් අප්‍රේල් 5 වෙනිදා මේෂ රාශියට ඇතුළු විය. මේෂ රාශියට ඇතුළු වනවාත් සමගම කේතුගේ නැකතේද ගමන් කිරීමට පටන් ගනී. මෙම සං‍යෝගය රසායන ද්‍රව්‍ය වෙඩිබෙහෙත් ආදිය පෙන්වයි. බෝම්බ පිපිරවීම, යුධ අවි සොයාගැනීම් ආදිය නැවත ආරම්භ විය හැක. කේතුගේ නැකත නිසා පැරැණි සඟවා තිබූ අවි ආයුධ විය හැක. බෙදුම්වාදි සංවිධාන යළිත් නිස ඔසවයි. අසම්මත සංවිධානයක් වශයෙන් ඒකාබද්ධ විපක්ෂයද වඩා බලවත් වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ දැඩි විරෝධතා මතුවෙයි. නීති සම්පාදන ග්‍රහයා වන ගුරුද සැප්තැම්බර් මැද තුලාවට ඇතුළුවීම නිසා යුරේනස් සමඟ සප්තම දෘෂ්ඨියකට මුසුවෙයි. මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැඩි කැළඹීමක් මෙන්ම රටේ ප්‍රබල විරෝධතාද මතුවෙයි. අසල්වැසි රටකින්ද විරෝධතා එල්ලවෙනු ඇත. 
මේ අතර ඉතා වැදගත් පුරාවිද්‍යා සොයාගැනීම්ද පෙන්වයි. ආණ්ඩුවට අවාසි විය හැකි හදිසි දෝළනයක් සහ ඔළු ගෙඩි මාරුවක්ද ඇතිවේ. යුරේනස් අවසන්වරට මේෂයේ සිටි 1930 දශකයේදී ඩොනමෝර් ව්‍යවස්ථා සංශෝධන බොහොමයක් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. අද ඉඩම් බලතල පවරා දීමක් ගැන කතා කරයි. 1933දී ඉඩම් සංවර්ධන පනත ඉදිරිපත්කර ඩී.එස්. සේනානායක ඉඩම් බෙදීම ආරම්භ කළේද මේ වකවානුවේය. 1934දී මින්නේරිය ව්‍යාපාරය ඇරඹිණි. 1935දී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැර 1936දී නැවත මැතිවරණයක් පැවැත්විය. ලෝක යුද්ධයකට අපට අනියමින් දායක වීමට සිදුවූයේද 1939දී බව අමතකළ නොහැක. 

ප්‍රවාහන අංශයේ ලොකු දියුණුවක්

ශ්‍රී ලංකාවේ නිදහස් කේන්දරයේ යුරේනස් ගමන් කරන්නේ මේෂයේ හෙවත් 3නේය. තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය අන්තර්ජාලය ආදියද මෙම ග්‍රහයාගෙන් පෙන්වන නිසා මේවායේ සීඝ්‍ර වෙනස්කම් මෙන්ම ප්‍රගතියක්ද පෙන්වනු ඇත. මුහුණුපොත හෙවත් ෆෙස්බුක් වලට වැට බැඳීමටද ඉඩකඩක් ඇත. දුම්රිය ගමනාගමනයේද දැනෙන වෙනසක් ඇතිවිය හැකිය. දුම්රිය අධිකාරියක් වීමටද ඉඩක් ඇත. විදුලිබලයෙන් දිවෙන දුම්රිය හෝ මෝටර් රථ වෑන් ආදිය නිර්මාණයටද ඉඩ ඇත. ආණ්ඩුවට අභියෝගයක් වන නිදහස් පෙරළිකාර සංවිධාන නිර්මාණය වේ.

♦ ජ්‍යොතිෂවේදී පානදුරේ රොහාන් වීරරත්න
  දුම්රියපොළ පාර, සිතුමිණ 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00