2020 ජුලි 18 වන සෙනසුරාදා

තුනෙන් දෙකයි - ඇමැතිකමයි

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

කන්තෝරුවල නිව් නෝමල්සිය සෙට්ල් වෙන්නට පටන් ගත්තා පමණි. දෙවැනි කොරෝනා රැල්ලක් ගැන සැක සංකා පහළ වන්නට විය. ඒ පිළිබඳ කතාබහ අතරේ, ඡන්ද උණුසුමද වැඩිවෙයි.

එක් එක් කාර්යාංශවල අය මුණගැසෙන කැන්ටිම, පුංචි පාර්ලිමේන්තුවක් බඳුය. මහින්ද - ගෝඨා පිලේ උදවිය, සජිත් පිල හා ගැටෙයි. සජිත් පිල රනිල් පිල හා ගැටෙයි. ඒ සියල්ලෝ එක්ව, ජවිපෙට බැටදෙති. ස්වාධීන කණ්ඩායම්ද ඒ මැදට පැන හතර වටේ බැණ වදිති. ඇතැම් මේසයක හිඳින සුළු ජාතිකයෝ තම අයිතිවාසිකම් ගැන දොඩති. පැත්තකට වී මේ සියලු වාද විවාද අසා සිටීම විනෝදජනකය.

අපේ රොබින් සහ පොහොට්ටු පෙරේරා අතර කතාබහක්ද මට අසන්නට ලැබුණේ කැන්ටින් විවේකයකදීය.

පෙරේරා මහත්තයා, පොහොට්ටුවට තුනෙන් දෙක ලැබෙයිද?

ඒක ෂුවර්...

කොහොමද එහෙම කියන්නෙ. ගිය පාරට වඩා ඡන්ද වැටෙයිද?

ඡන්දවලින් වැඩක් නෑ රොබින්. කවුරු දින්නත් අපි තුනෙන් දෙක අරන්, ආණ්ඩුවක් හදනවා. පොහොට්ටුවට පණ දෙන පෙරේරා, තරමක් උස් හඬින් කීවේ වටපිටද බලමිනි.

ඒ කොහොමද? රොබින් නළල රුළි කළේය.

මොන පක්ෂෙන් දින්නත්, අපිට ඕනෙ ගාණ ඒ පක්ෂවලින් අපේ පැත්තට අදිනවා.

සල්ලි දීලා?

ෂී... ෂී.... ඒ කැත වැඩ අපි ළඟ නෑ....

ඒත් මොනා හරි ඩීල් පාරක් දාන්න එපායැ. නිකම්ම පනීයැ?

අපේ පැත්තට එනවා නම් අපි දෙනවා ඇමැතිකම්...

එතකොට හිටපු ඇමැතිවරැන්ට මොනවද දෙන්නෙ? ඒ ගොල්ලො තරහ කරගෙනත් බෑනේ, නේද?

මෙහෙමනෙ රොබින්, ඒ ඇමැතිකම් ඒ ඇමතිලටම දෙනවා. අපි ළඟ තියෙනව අලුත් ඇමැතිකම් වගයක්. පනින අයට දෙන්නේ ඒවා.

පෙරේරාගේ අදහස, පොහොට්ටුවේ ජාතික සංවිධායකවත් දන්නේද යන්න කිව නොහැකිය. එහෙත්, හැම පොහොට්ටු රැස්වීමකටම සහභාගි වන පක්ෂ කාර්යාලය තුළ නිතර ගැවසෙන පෙරේරාගේ දේශපාලන නිගමන, එක්වරම ඉවත දැමීමටද නොහැක. එහෙයින් රොබින් මෙසේ ඇසුවේය.

මොනවද ඒ ඇමැතිකම්?

අපි ඒ ඇමැතිකම් දෙන්නේ, විෂය භාර ඇමතිට සපෝට් එකක් හැටියට. උදාහරණයක් හැටියට කියනවා නම්, ආරක්ෂක ඇමැතිගෙ සහායට පත් කරනවා නාකොටික් බාර ඇමති කෙනෙක්.

ඒක නං හොඳයි තමයි. ආරක්ෂක ඇමතිලා හිටියට නාකොටික් එකේ කුඩු බිස්නස් ගැන දැනගන්ඩ බැරිවුණානෙ.

ඊළඟට අපි දෙනවා, සෞඛ්‍ය ඇමතිගේ සහායට ඇමති ධුරයක්. කොරෝනා මර්දන ඇමැති...

ඒකත් හොඳයි... අපේ ගෙදර පොඩි අය හිතං ඉන්නෙ ලංකාවේ සෞඛ්‍ය ඇමැතිකම කරන්නෙත් හමුදාපතියි කියලා.

අපි ළඟ තව ඇමැතිකමක් තියෙනවා... අධ්‍යාපන ඇමැතිගෙ සහායට පත් කරනවා, නවකවදය නැති කිරීමේ ඇමැති කෙනෙක්ව.

නියමයි. අධ්‍යාපන ඇමතිලා හිටියට කැම්පස් ළමයින්ගෙ ඇඟට ටයර් පෙරළන එකවත් නවත්තන්ඩ බැරිවුණානෙ. වෙන මොනවද පොහොට්ටුවෙ තියෙන අලුත් ඇමැතිකම්?

අපේ ක්‍රීඩා ඇමතිට සහායට, ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇමති ධුරයක් පිහිටුවනවා. අපි බලයට ආවට පස්සේ හැම ආසනයකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ඇමතිට හොඳට වැඩ තියෙයි.

ඒකත් නියම අයිඩියා එක. එතකොට අයි.පී.එල්. තරගාවලියත් එස්.එල්.පී.එල්. කර ගත්තෑකිනෙ.

අපි මුදල් අමාත්‍යංශයට සම්බන්ධව, තවත් ඇමති ධුරයක් හදනවා. මුද්‍රණ කටයුතු අමාත්‍ය කියලා.

මුදල් අමාත්‍යංශයට කොහොමද මුද්‍රණ කටයුතු සම්බන්ධ වෙන්නෙ?

ඕනම ආර්ථික අර්බුදයකදී මුදල් මුද්‍රණය බාර වෙන්නෙ ඒ ඇමතිතුමාට. කාටවත් ණය වෙන්නෙ නැතුව මිලියන ගාණක් වුණත් මුද්‍රණය කරගන්න පුළුවන් එතකොට.

ඒකත් හොඳයි කියමුකො. රජයේ මුද්‍රණාලයටම ඒකත් බාර දුන්නම වැඩේ කෙරෙයි, නියමෙට.

අපි තවත් අලුත්ම අමාත්‍යංශයක් පිහිටුවනවා. සත්තම් අමාත්‍යංශය කියල.

ඒ මොකක්ද අප්පේ?* රොබින්ගේ ඇස් උඩ ගියේය

හරියට ජොබ් එක කරන්නෙ නැති රජයේ නිලධාරීන්ට සත්තම දාන්නෙ, ඒ ඇමතිතුමා තමයි.

ඔව්. එතකොට අනික් අයගෙන් කාලෙ ඉතිරි වෙනවනෙ. සිරි ලංකාව වගේ රටකට සත්තම් ඇමති කෙනෙක්ගෙ අඩුව තිබුණා තමයි.

මඳ විරාමයක් ගත්, පොහොට්ටු පෙරේරා තමා අවට රුස්වී සිටින පිරිස දැක ආඩම්බර සිනාවක් පෑවේය.

ඔය ඇමතිකම් ටික විතරක් මදි නේද, බලය අල්ලගන්න? කවුදෝ ඇසීය.

තව තියෙනවා... අලුත්ම ඇමති තනතුරක් තියෙනවා. එයාට කියන්නෙ තුනෙන් දෙකේ ඇමති කියලා.

ඒ මොනවටද?

එතුමට තියෙන්නෙ, තුනෙන් දෙකේ බලය ආරක්ෂා කර ගැනීම. අපේ පැත්තට පැනපු ගෙම්බො රංචුවට ආපහු පනින්න දෙන්නෙ නැතුව, සැප දීලා බලාගන්න එක. පිරිසෙන් සිනා හඬක් නැගුණි.

පෙරේරා මහත්තයෝ, බැරි වෙලාවත් සජිත් මහත්තයා හරි රනිල් මහත්තයා හරි දිනුවොත්, ඔය ඇමතිකම්වලට මොකද වෙන්නෙ.රොබින් ඇසීය

මොකුත් වෙන්නෙ නෑ.... අපේ කට්ටිය, මේ ලිස්ට් එකට ඒ පැත්තෙන් ඇප්රෑවල් එක අරගෙන, ඒ පැත්තට පනිනවා...

පිරිස හඬ නගා සිනාසෙන්නට වූහ. සිරිලංකාවේ දේශපාලනය තරම් විහිළුවක් ලොව තවත් තිබේද?

කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00