2020 ජුලි 18 වන සෙනසුරාදා

අපිට ස්වයං වින්දන ආතල් ගන්න සිදුවෙලා

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ

නවකතා, කෙටිකතා, කවි මෙන්ම යොවුන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ද තම වපසරිය පුළුල් කර සිටින සාහිත්‍යවේදියෙක් වන අනුරසිරි හෙට්ටිගේගේ මැරීන් ඩ්‍රයිව් කෙටිකතා පොත පසුගියදා රජත පුස්තක ප්‍රශස්ත කෘතියක් ලෙස නම් කෙරැණි. ඔහුගේ කෙටිකතා කලාව පිළිබඳව දේශය සමඟ කළ සංවාදයකි, මේ.

මැරීන් ඩ්‍රයිව් කෙටිකතා සංග්‍රහය ගැන යමක් කිව්වොත්?

මැරීන් ඩ්‍රයිව් කියන්නෙ මගේ නමින් ජනගත වුණු හතරවැනි කෙටිකතා සංග්‍රහයයි. කෙටිකතාව පිළිබඳ මගේ අවබෝධයේ දිගුවක් ලෙස මේ නිර්මාණ සංග්‍රහය හඳුන්වන්න මං කැමතියි. මං  හැමවිටම උත්සාහ කරන්නෙ තවත් එක් කෙටිකතාවක් වෙනුවට නවතාවකින් යුතු නිර්මාණයක් ඉදිරිපත් කිරීමටයි. මේ කෙටිකතා සංග්‍රහයේ නිර්මාණ හයක් තියෙනවා. ඒ නිර්මාණ සියල්ලම අත්දැකීම් ඉක්මවා ගිය පරිකල්පනයකට නතු කරමින් කළ නිර්මාණයි. ඇත්තටම මං කැමති මේ නිර්මාණවලට කතා කියනවට වඩා ප්‍රබන්ධ කියනවටයි. මේ හැම ප්‍රබන්ධයකදීම බලවත් එක් සිදුවීමක් හෝ කිහිපයක් පාඨකයාට සම්මුඛ කෙරෙනවා. ඒ සිදුවීම් ඇසුරැ කරගෙන තමයි චරිත හැසිරෙන්නෙ. මට අවශ්‍ය වුණේ පාඨකයාට අවශ්‍ය ආකාරයට කතාවක් ගොඩනංවා ගැනීමට අවස්ථාවක් දීමටයි.

සිංහල කෙටිකතාවේ වර්තමානය ඔබ දකින්නේ කෙසේද?

මට අනුව නම් අතීත කෙටිකතාකරැවන්ට වඩා නූතන කෙටිකතාකරැවන් ඉදිරිගාමීයි. ඔවුන්ට අත්දැකීමක් අවශ්‍ය වෙන්නෙ අතීත චරිතයක් උත්කර්ශයට නංවන්න නෙමෙයි, ඒ ඇසුරෙන් වර්තමානය පුපුරැවා හරින්න. ඒක කෙටිකතාවේ විකාශනය එක්කම වෙනස්වන සමාජ ගතිකයන් විසින් ලේඛකයන් වෙත ආරෝපණය කෙරෙන්නක්. අපට පාසලේ දී පුරුදු පුහුණු කරලා තිබුණු කෙටිකතාව අහිංසකයි. දුක හිතෙන සිදුවීම්වලට මුහුණදෙන චරිත එහිදී හමුවෙනවා. ඒත් නූතනම කෙටිකතාවේ චරිත නෙවෙයි වැදගත්, සිදුවීම්. අපි ඉන්නේ තත්ත්පරෙන් ලක්ෂයෙන් පංගුවක් තුළ වෙනස් වෙමින් යළි වෙනස්වන ලෝකයක. නූතන පාඨකයා මේ තත්ත්වය වටහාගත යුතුයි.

කෙටිකතාව අර්ථකථනය කිරීම පිළිබඳ කතිකාව අතීතයේ කිසියම් තැනක නැවතිලා තියෙන බවක් පේනවා. ඒක එහෙම වුණත් මං කියන්නෙ සිංහල කෙටිකතාවේ වර්තමානය යහපත් කියලයි. කෙටිකතාව වෙනුවෙන්ම ගොනුවුණු විශේෂිත පාඨක පිරිසක් අපේ නිර්මාණ වටා සිටිනවා. සම්මානිත කෙටිකතාවකින් පිටපත් තුන් හාරදහසක් අලෙවි කර ගන්න පහසුවෙන්ම පුළුවන්. ඒ නිසා කෙටිකතාවේ වර්තමානය හොඳයි කියලා කියන්න අමාරැ නැහැ.

ප්‍රවීණයන් මිස නවකයන් කෙටිකතාව කෙරෙහි දක්වන නැඹුරුව මදියි නේද? ඔබලා අතින් බැට්න් එක ගන්න තරුණයන් උදාසීන ඇයි?

තරැණයන් උදාසීනයි කියන එක මට පිළිගන්න බැහැ. ගොඩගේ අත්පිටපත් තරගයට වාර්ෂිකව ඉදිරිපත් වන කෙටිකතා අත්පිටපත් අතරින් වැඩිම ප්‍රමාණය යොමු කරන්නේ තරැණ ලේඛකයන්. ඒ අතරින් හැම වසරකම අඩුම තරමේ නිර්මාණකරැවන් දෙන්නෙක්වත් සමාජ කතිකාව තුළට ඇතුළු වෙනවා. සුසන්ත මූණමල්පෙ, සඳුනි ප්‍රාර්ථනා තෙන්නකෝන්, අමාලි අනුපමා මල්ලවආරච්චි එවැනි තරුණ ආයෝජන. අප සමඟ සම පියවරින් අඩි තියන ඉසුරු චාමර සෝමවීර, කාංචනා අමිලානි සහ ප්‍රාදේශීය හුදෙකලාව තුළ සැඟව සිටින තවත් කිහිප දෙනෙක්ම සිටිනවා. ඒ අය දුර දිවීමට පුහුණු වෙනවා. ඒ වගේම ඔවුන් පිළිබඳ කෙටිකතා පරිසරයේ යහපත් විචාර ද බිහිවෙලා තියෙනවා. ඉඳහිට වුවත් කලා විචාර සටහන්වල ඔවුන් ගැන සඳහන් කෙරෙනවා. ප්‍රාසාංගික පරිසරයට අදාළ වෛවර්ණ මුහුණු තරම් ආලෝකයක් නැති නිසා ඒ චරිත අවධානයට ලක්වෙන්නෙ නැති තරම්. මේ අය අතරින් කිහිප දෙනෙක්ම කෙටිකතා තාක්ෂණය සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඉහළයි. අනිල් හේරත් සහ කාංචනා අමිලානි ඒ අතරින් විශේෂයි.

සමහර විචාරකයන්ගේ අදහස අපේ නවකතාවට වඩා කෙටිකතාව දියුණුයි කියලයි. ඊට ඔබ එකඟද?

මං සලකන්නෙ එය ප්‍රලාපයක් විදිහටයි. මන්ද, මේ මොහොතේ සජීවීව පවතින නවකතාව වගේම කෙටිකතාවත් පූර්ණ වශයෙන් විශිෂ්ටත්වය අත්පත් කරගෙන තියෙනවද නැද්ද කියන්නවත් අපි දන්නෙ නැහැ. මොකක්ද ඒකට භාවිත කරන නිර්ණායකය? චිරන්තන සිංහල සාහිත්‍ය ඇසුරේද?, නැතිනම් කලාපීය සාහිත්‍ය ඇසුරේද? එහෙමත් නැත්නම් ලෝක සාහිත්‍ය ඇසුරේද? අපේ කෘතිවලට අපේම සම්මාන ඇගයීම් නම් ඉහළින්ම තියෙනවා තමයි. එයින් අප ලබන්නෙ ස්වයං වින්දනයක්. හැමෝම වාගේ සම්මානයක් සමඟ ලැබෙන ආතල් එක නිසා ඉක්මනින්ම ඊළඟ නිර්මාණයට හේත්තු වෙනවා. විවේකී පරිකල්පනයකට ඉඩක් නැති තරම්. අපි ලියන්නෙ සම්මානවලට නෙමෙයි කිව්වට නිර්දේශයක් ලද හැටියේම පෝලිමේ මුලට ගිහින් අපිම හිටගන්නවා. පොත් සැණකෙළියෙදී සුපර් ස්ටාර් මොඩල් එකෙන් අපේම තාලේ සාහිත්‍ය වින්දනයකුත් ගන්නවා. ඒ ඇරෙන්න අපි ගන්න සම්මානයෙන් සාහිත්‍යයේ විශිෂ්ටතාව මැනෙන්නෙ නැහැ.

පළමුව අපි කරන්න ඕන මේ තත්ත්වයෙන් මිදෙන එක. අඩුම තරමේ සම්මාන ලබන කිසිම නවකතාවක් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවද? නැහැ නේද? ඉතා සුළු වශයෙන් කතුවරයාම අතින් වියදම් කරගෙන පරිවර්තනය කර ගන්නවා තමයි. ඒත් ඒවා පිටරටවල අවධානයට යොමු කරන මාර්ගයක් විවර කරල නැහැ. අඩුම තරමේ සාක් කලාපයට පිටපත් 200ක්වත් යැවීමේ සැලැස්මක් නැහැ. ඒක එහෙම වෙන්නෙ අපේ සාහිත්‍ය භාවිතය දුප්පත් නිසාවත්, දුර්වල නිසාවත් නෙමෙයි. අපේ බුද්ධිවාදී කඳවුරේ අකර්මණ්‍යය බව නිසා. ඉන්දියාවේ ප්‍රාදේශීය භාෂාවලින් බිහිවන නිර්මාණ ලෝක සාහිත්‍යයට එකතු වෙන්නෙ ඒ රටේ ඉන්න ද්විභාෂික උගතුන්ගෙ මැදිහත්වීම නිසා. ඒ කාර්යය වෙනුවෙන්ම කැපවුණු ශාස්ත්‍රාලීය වටපිටාවක් එහි තියෙනවා. අඩුම තරමේ අපේ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි අධ්‍යයන අංශවලටවත් මේ පොත් යොමුවෙන්නෙ නැහැ. ඒ අතින් ගත්තාම ඉන්දියානුවන් දියුණු සාහිත්‍යප්‍රේමීන්. නමුත් අපට එහෙම සාහිත්‍යප්‍රේමී බුද්ධිවාදී සහායක් ලැබෙන්නෙ නැහැ. අඩුම තරමේ කල්ලිවාදයෙන් නිදහස් පූර්ණ නිදහස් අදහස් ඇති සාමාජිකයන් සහිත සාහිත්‍ය ඇකඩමියක් බිහිකර ගැනීම පවා හීනයක් වෙච්ච රටක් මේ. 

අද විචාරය කියන්නෙ පිට කසාගැනීමක් පමණයි. නියම විචාර කලාවක් නැතිකම විශාල පාඩුවක් නේද?

නියම විචාර කලාවක් නොපැවතීම වගේම අවිචාරවත් විචාර කලාවක් පැවැතීමත් සාහිත්‍යයට විශාල පාඩුවක්. විචාරය විසින් විනාශ කරන ලද සාහිත්‍ය යුගයක් පවා තියෙන්නෙ ලාංකික පසුතලයේ. ලාංකික විචාර කලාවේ හැටි අවබෝධ කර ගන්න අවශ්‍ය අය ඔවුන් කොළඹ කවියට සිදුකළ නොපණත්කම් ගැන හොයා බලන්නයි කිව්වෙ මහගම සේකර. ඒ නිකමට නෙමෙයි. නව කවියක් හඳුන්වා දීමට මැදිහත්වීම යහපත් විචාරක වගකීමක්. ඒත් සිදුවුණේ අනෙකක්. අප පරිස්සම් විය යුත්තෙ නැතිකම ගැන නෙමෙයි, තියෙන දේ අවිචාර වීම ගැනයි. අද මුහුණුපොතේ ඉන්න කාව්‍ය විචාරකයන් ගැන බලපුවාම අපේ රට කාව්‍ය විචාරකයන්ගෙ පාරාදීසයක් බව තමයි පේන්නෙ. මේ විචාරකයන්ම තමයි ඊළඟ නිමේශයේ නිර්මාණකරුවන් විදිහටත් තවත් මුහුණුවරකින් එන්නෙ.

ඔබ දකින විදිහට මෑතකදී සාහිත්‍ය විචාරයට මැදිහත් වන්නේ කවුද?

කෙටිකතාව පිළිබඳ දිගු කාලයක ඉඳල අවධානයෙන් ඉන්න මහාචාර්ය කුලතිලක කුමාරසිංහත්, ඉන්පසු වඩාත් සමීපව සිංහල කෙටිකතාව නිරීක්ෂණය කරන මහාචාර්ය ලියනගේ අමරකීර්තිත් නූතන ශාස්ත්‍රාලීය විචාර මැදිහත්වීමක් කරමින් ඉන්නවා. බිහිවන නිර්මාණවලට සාපේක්ෂව ප්‍රමාණවත් නැතත්, එය අගනා මැදිහත්වීමක් විදිහටයි මං දකින්නෙ. මෑත ඉතිහාසයේ සාහිත්‍ය විචාර භූමිකාව දැරූ සේන තෝරදෙණිය, ප්‍රේමතිලක පේරුකන්ද වැනි අය පවා දැන් නිහඬයි. පුවත්පත්වල සාහිත්‍ය පිටු සීමාවීමත්, විචාරකයාගේ කාර්යයේ පවතින වෘත්තීයභාවයට වටිනාකමක් නොලැබීමත් කියන කාරණා මේ පසුබෑම යට සැඟව තියෙන යථාවන්. මේ තත්ත්වයෙන් නිදහස් වෙන්න බැරිවෙන තාක් කල් තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියන න්‍යායෙන් ස්වයං වින්දන ආතල් එකේ ඉන්න තමයි අපිට සිද්ධ වෙන්නෙ.

 කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00