2020 ජුලි 04 වන සෙනසුරාදා

අතුරු - මිතුරු ජනපතිවරු

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවේ මෝදිට බොහොම කැමතිය. මෝදි ද, ට්‍රම්ප්ට ලැදිය. ඔහු ඉන්දියාවට පැමිණි වෙලාවේ එකම රැස්වීමකට මිලියනයක් පමණ සෙනඟ ගෙන්වීමෙන් මෝදි පෙන්වූයේ ඒ ලැදියාවය.

ට්‍රම්ප් සහ මෝදි හමු වූ විට, ජාත්‍යන්තර ප්‍රශ්න පමණක් නොව පෞද්ගලික දෑ ද කතා කරති. මෑතකදී දුරකතන සංවාද තිරයෙන් හමු වූ අවස්ථාවක ට්‍රම්ප් මෙසේ ඇසීය.

හව්ඩි, මෝදි යාළුවා, මටත් දැන් වයසයි. ඒත් මගේ නෝනා තරැණයි. මං කොයි වෙලේ හරි මැරෙන්ඩ පුළුවන්. මගේ රටේ එවුන් ඉස්සර තරං මට කැමති නෑ. ඒ නිසා මම කැමතියි මගෙන් පස්සෙ මගෙ නෝනව ඔබතුමාට බාර දෙන්න. මොකද කියන්නෙ?

මෝදිගේ ඇඟ සීතල වී ගියේය. මෙලනියා ට්‍රම්ප් යනු බොලිවුඩ් නිළියක් සේ රෑමත් කාන්තාවකි. තම සිතෙහි කැළඹීම වසං කරගත් මෝදි මෙසේ කීය.

හොඳයි. මගේ යැංකි මිත්‍රයා වෙනුවෙන් මම ඒ උදව්ව කරන්නම්.

මෙලනි බාරගත්තට පස්සෙ, මොනවද ඉස්සෙල්ලම කරන්නේ? ට්‍රම්ප්, ඇසක් ඉඟිමරමින් මෝදිගෙන් ඇසුවේය.

මඳක් කල්පනා කළ මෝදි මෙසේ පිළිතුරු දුන්නේය.

මුලින්ම මං මෙලනිට සාරි අඳින්න උගන්නනවා. ඊටපස්සෙ, එයාව හින්දි ක්ලාස් එකකට යවනවා.

ඉන්දියානුවන් සියලු දෑ ඉන්දියානුකරණය කිරීමට හපනුන් බව දත් ට්‍රම්ප් නිහඬ විය.

ඉන්පසු, මෝදි මෙසේ ඇසුවේය.

ට්‍රම්ප් ජී, මටත් උදව්වක් කරනවද?

මොකක්ද මෝදි?

මටත් දැන් වයසයි. ඒ වගේම මටත් මෙහෙ හරියට හතුරො ඉන්නවා. ඒ නිසා, ඔබතුමාට කලින් මං මළොත්, මගේ නෝනව බාරගන්නවද?

මෝදිගේ භාර්යාව, ජසෝදාබෙන් නරේන්ද්‍රබායි, වයස්ගත කාන්තාවකි. එහෙත්, ඉන්දියානු මිත්‍රයාට කළගුණ සැලකීමක් වශයෙන් ඇය බාරගැනීමට ට්‍රම්ප් කැමැත්ත පළ කළේය.

මගේ නෝනව බාරගත්තට පස්සෙ, ඔබතුමා මොනවද එයාට කරන්න යන්නෙ?

මෝදි ද ඇසුවේ අමුතු සිනාවක් පාමිනි.

ට්‍රම්ප් දෙවරක් නොසිතාම පිළිතුරැ දුන්නේය.

මම එයාව කොරන්ටයින් කරල, ඊටපස්සෙ මහලු නිවාසෙකට යවනවා.

මෝදි නිහඬ වූයේ ට්‍රම්ප්ගේ යැංකි චිත්තය ගැන දන්නා හෙයිනි.

මොහොතක් නිහඬව සිටි නායක දෙපල, ඉන්පසු දැන් උද්ගතව ඇති ඉන්දු - චීන හටන ගැන කතාවට බටහ.

මෝදි යාළුවා, ඕන තරම් ආයුධ තියෙද්දි, ඔහෙලගෙ සෝල්ජර්ස්ලා, අර චීනුන්ට අතින් පයින් ගැහුවෙ මොකද? දීල අරින්ඩනෙ තිබුණෙ මිසයිල් එකකින්. ට්‍රම්ප්, සුපුරුදු තග් ස්වරයෙන් විමසීය.

මේකයි ට්‍රම්ප් ජී, අපේ සෙබළු හරිම විනයගරැකයි. වෙඩි තියන්ඩ එපා කියල නියෝග දීල තිබුණු නිසා තමයි ඒගොල්ලො ගුටි කෙළියකට ගියෙ.

පිස්සුනෙ යාළුවා. දැන් බලනව අපේ රටේ ප්‍රාන්තයක පොලිස්කාරයෙක්, කල්ලෙක්ගෙ බෙල්ලට දණිහ හිර කරල මරල දැම්මා. ඒකට ලොකු විරෝධයක් මතු වුණා. ඊටපස්සෙ මම නියෝග කෙරැවා, බෙලි මිරික මිරික ඉන්නෙ නැතුව, මැරයන්ට වෙඩි තබනු කියලා.

ඉතින් ප්‍රශ්නය විසඳුණාද?

මම කරන්නෙ නියෝග දෙන එක. ක්‍රියාත්මක කිරීම ආණ්ඩුකාරයන්ට බාරයි. ඒ මිනිස්සුන්ටත් වැඩක් තියෙන්ඩ එපායැ.

අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් විදිහට, ජනතාවට වෙඩි තියන්ඩ බෑ ට්‍රම්ප් ජී.

ප්‍රජාතන්ත්‍රවාදය වධයක් කර ගන්ඩ එපා මෝදි. මම නං ඕක පාව්චිචි කරන්නෙ ඡන්ද කාලෙදි විතරයි. ඊටපස්සෙ, අනික් හැම වාදයක්ම අත්හදා බලනවා.

අපේ රටෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ඇරැණම, තවත් වාද තුනක් ක්‍රියාත්මක වෙනවා. මෝදි කීය.

හැබෑද? ඒ මොනවද මෝදි?

ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය

බොහොම හොඳයි මෝදි?

හොඳයි? ඇයි එහෙම කියන්නෙ ට්‍රම්ප් ජී?

එකම වාදයකින් විතරක් රටක් ගෙනියන්න බෑ. සෝවියට් රැසියාවට වුණු දේ දන්නවනෙ. ඒගොල්ලන්ට තිබුණෙ කොමියුනිස්ට්වාදය විතරයි.

ඉවත බලා සිනාසුණු මෝදි, ලෝක් සභාවට යාමට තිබෙන බව කියා සංවාදය නිමා කළේය.
                      ⃰⃰     ⃰⃰      ⃰⃰     ⃰⃰      ⃰⃰   
ඩොනල්ඩ් ට්‍රම්ප්, නිතරම මාධ්‍යවේදීන් අමතන්නෙකි. ඔහුට ඇතැම් මාධ්‍යවේදීන් රැස්සන්නේ නැත. ඔහු ඔවුන්ගේ ප්‍රශ්න මඟහැරීමට තැත් කරයි. 

මෑතක පැවති, මාධ්‍ය හමුවකට එවැනි මාධ්‍යවේදියෙක් ද පැමිණ සිටියේය. ඔහු ට්‍රම්ප්ගෙන් මෙසේ ඇසීය.

අමෙරිකාවේ සිටි ජනාධිපතිවරුන් අතුරින්, ශ්‍රේෂ්ඨතමයා කවුද?

මට ඊට පිළිතුරැ දිය නොහැකියි.

හේතුව?

මම ඒ ජනාධිපතිවරැන් ගැන කිසි දෙයක් දන්නේ නැති නිසා.

අඩුම ගණනෙ ඔබ ඒබ්‍රහම් ලින්කන් ගැනවත් දැන සිටිය යුතුයි.

ඔහුගේ කාලයේ, මා නොව, මගේ පියාවත් ඉපදී සිටියේ නෑ.

ඔබ අමෙරිකාවේ ජනපති නොව, ඉන්දියාවේ අගමැති වුණා නම්, මුලින්ම මොනවද කරන්නෙ?

එහෙම නම්, මම මුලින්ම මගේ බිරිඳට සාරිය අඳින්න උගන්නනවා. දෙවනුව, එයාව හින්දි පන්තියකට යවනවා.*

                      ⃰⃰     ⃰⃰      ⃰⃰     ⃰⃰      ⃰⃰   
නරේන්ද්‍ර මෝදිගේ මාධ්‍ය හමුවකදී ද, මෙසේ ප්‍රශ්න කරනු ලැබුණි.

ට්‍රම්ප් වෙනුවට ඔබ අමෙරිකාවේ ජනාධිපති ධූරයට පත්වුණහොත් මුලින්ම කරන්නෙ මොනවාද?

සේරටම කලින්, මම අමෙරිකානු පොලීසියට, ඉන්දියානු බැටන් පොලු ලබා දෙනවා. එතකොට ඔවුන්ට බෙලි මිරිකීමට අවශ්‍ය වෙන්නේ නෑ.

මෝදි ජී, කෝ ජය හෝ! ගෝඩ් බ්ලෙස් යූ මිස්ටර් ට්‍රම්ප්!

කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00