2020 ජුනි 20 වන සෙනසුරාදා

මිනිස්සුන්ට පොත් ගන්න සල්ලි නැහැ

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

ලෝකයටම අලුත් වසංගතයක් වූ නව කොරෝනා බිය ලංකාවට වැඩිපුර දැනෙන්නට පටන් ගත්තේ මාර්තු 19දා සිටයි. ඒ සමඟම රටේ සෑම ක්ෂේත්‍රයක්ම පාහේ කඩා වැටුණි. රටේ පැය 24 පුරා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වීමත් සමඟ මුද්‍රිත මාධ්‍යවලට වැටබැඳුණි. ඒ නිසා ක්‍රියාත්මක වූයේ විද්‍යුත් මාධ්‍ය පමණි. අලුත් පොතක් කියවීමට සොයාගැනීමටවත් තිබුණේ නැත. මේ නිසා වැඩි දෙනෙක් රාක්කවල පුස්කමින් තිබූ පැරණි පොත් නැවත අතට ගත්හ.

පැවැති අවිනිශ්චිත වාතාවරණය නිසා ලෝඛකයන්ට ලිවීමට සුදුසු වටපිටාවක් නොපැවති බව බොහෝ ලේඛකයන් තැබූ ෆේස්බුක් සටහන්වලින් පෙනුණි. පොත් ලිවීම, පොත් ප්‍රකාශනය, පොත් මුද්‍රණය, මිලට ගැනීම ආදී සියලුම අංග නැවතුණි. දැන් යළිත් රට ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට පත්වීමට පටන්ගෙන තිබේ. පොත්හල් විවෘතව පවතී. නමුත් අලුත් කෘති මුද්‍රණයෙන් නිකුත්වීම නම් තවමත් මන්දගාමීය. සාහිත්‍ය සම්මාන ප්‍රදානය, ප්‍රශස්ත කෘති තේරීම ගැන පාඨකයාට නිශ්චිත අදහසක් නැත. 
සාහිත්‍යයේ කොරෝනා අභියෝගය ගැන දැනගැනීමට අපි ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ අදහස් විමසා බැලුවෙමු. මුලින්ම අපි කතා කළේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතාටය.
දැන් ටිකෙන් ටික පොත් සාප්පුවලට පාඨකයන් එන්න පටන් අරන්. ඉදිරියේදී මේ තත්ත්වය සමනය වේවි කියලා හිතනවා. ඒ වගේම පසුගිය ඇඳිරි නීති කාලයේ අන්තර්ජාලය හරහා සිදුකරන ඔන්ලයින් පොත් අලෙවිය සිදුකළා. එම සේවා සපයන කණ්ඩායම් අපෙන් පොත් ලබාගෙන ඔන්ලයින් ක්‍රමයට පාඨකයන්ට ලබාදුන්නා. දිවා කාලයේ ඇඳිරි නීතිය බස්නාහිරට ඉවත් කළ දිනවලත් අපි පැය කිහිපයක් පොත් සාප්පුව විවෘත කර තැබුවා. ඒ කාලයේ දුරබැහැර පාඨකයන්ට ඒමට අපහසුයි. නමුත් කොළඹ අවට ප්‍රදේශවල පාඨකයන් පොත්හලට පැමිණියා. ඒ කාලයේ වැඩිපුර ඉල්ලුමක් තිබුණේ ලංකාව ගැන ලියැවුණු පොත්වලට. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට දින වෙන්කරගෙන තිබෙන්නේ. සැප්.18-27 දිනවලට. සෞඛ්‍ය නීති රීති අනුව එය පැවැත්වීමට ඇති ඉඩපහසුකම් ගැන අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා බලධාරීන් සමඟත් සාකච්ඡා පවත්වනවා.

ස්වර්ණ පුස්තක නවකතා සහ රජත පුස්තක යොවුන් නවකතා, කවි, කෙටිකතා ආදී පොත් සමීක්ෂණය මේ දිනවල කෙරෙනවා. ඉදිරියේදී ඒවායේ ප්‍රශස්ත කෘති ප්‍රකාශයට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වෙනදා ජූනිවල පවත්වන මහනුවර පොත් ප්‍රදර්ශනය අගෝස්තු අග සතියේ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ සෑම දෙයක් පිළිබඳවම සුබවාදීව බැලීමටයි අපි තීරණය කර තිබෙන්නේ.

ජූලි මාසය වනවිට රටේ තත්ත්වය අනුව හා සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පවත්වනවාද යන්න තීරණය කෙරෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. සම්මාන උත්සාවය නොපැවැත්වුවහොත් ජයග්‍රාහී කෘතිවලට අදාළ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය පමණක් සිදුවේ. රජත පුස්තක සම්මාන උත්සවය වෙනුවට අදාළ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය පොත් ප්‍රදර්ශනය ආරම්භ කරන සැප්තැම්බර් 18 දින පැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ.
සේනාරත්න වීරසිංහ මහතා ප්‍රවීණ ලේඛකයෙකි. පොත් ප්‍රකාශකයෙකි. මේ ඔහු පසුගිය මාස තුනේ අත්දැකීම් අපට පැවසූ ආකාරයයි. 

චිත්‍රපට නැරඹීම, පොත් කියවීම වගේ නිවසේ සිට කළහැකි දේ තමයි පසුගිය කාලයේ කිරීමට අවස්ථාව ලැබුණේ. මේක හුදෙකලා සංස්කෘතික ක්‍රියාකාරකමක්. මිනිසුන්ට අවශ්‍ය වුණා මේ තැතිගැන්ම කුමක්ද කියලා හොයාගන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මිනිසුන්ට මේ වගේ තැතිගැන්මක් ඇතිවූ ප්‍රථම අවස්ථාව තමයි මේක. මේ කාලයේ පැරණි කෘති කියවීමට වැඩි දෙනෙක් පෙළඹුණා. ඒවා එතරම් සංකීර්ණ නෑනේ. පැරණි නවකතා, ජාතක පොත, සද්ධර්මරත්නාවලිය වගේ පොත්. අර්බුදයක් අතරතුරදී තවදුරටත් මනස සංකීර්ණ කරන පොත්වලට මිනිසුන් කැමැති නෑ. පශ්චාත් නූතනවාදය වගේ සංකල්ප දැන් ගැලපෙන්නේ නෑ. ඒවා බොරැ කියන එක මිනිසුන්ට තේරුණා.
විවිධ සාහිත්‍ය වාදවල එල්බගෙන සිටි ලෝකයේම පාඨක ප්‍රජාවට අවශ්‍ය වුණේ සිතට යම්කිසි රසවින්දනයක් ලැබෙන පොතක් බව සැබෑවකි. විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වයිරසයේ අවදානම ගැන කියද්දී සංකීර්ණ සාහිත්‍ය මතවාදවලට වේදිකාවක් නැති විය. හැල්මේ දුවන තරගයේ නිෂ්ඵලත්වය මිනිසාට අවබෝධ විය.

ඇඳිරි නීතිය තිබුණත්, නැතත් පොත් කියවන පාඨකයා කොහොමත් කියවනවා. නවකතාවක්, වෙනත් පොතක් රසවිඳිනවා. ඇඳිරි නීති සමයේ පිට පළාත්වල ඇඳිරි නීති නැති ප්‍රදේශවලට තැපැල් මගින් පොත් ගෙන්වා ගැනීම සිදුවුණා. ඊට පසු පුස්තකාල කිහිපයකින් පැමිණ පොත් ගත්තා. පසුගිය කාලයේ වුණත් අපි අකර්මණ්‍ය වුණේ නෑ. දවල්ට අඳිරි නීතිය ඉවත් කළ විට අපි මරදානේ පොත් සාප්පුව පැය කිහිපයක් විවෘත කළා. එලෙස අප සමඟ අදහස් දැක්වූයේ මරදාන දයාවංශ ජයකොඩි සමාගමේ අධිපති දයාවංශ ජයකොඩි මහතාය.  වැඩිදුරටත් කතා කළ ඔහු මෙසේද පැවසුවේය.

මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට හැකි නම් එය ගොඩක් වටිනවා. ලේඛක-පාඨක හැමෝම එකතු වන තැනක් ඒක. අපි සුපුරුදු විදිහට ප්‍රකාශන පළකරනවා. මොනවත් අපි නවත්තලා නෑ. කිසිදේකින් අධෛර්යමත් වීමට හොඳ නෑ.
නුගේගොඩ සරසවි ප්‍රකාශකයන් ලංකාව පුරාම පොත්හල් ජාලයක් සහිත ආයතනයකි. පසුගිය කාලයේ පොත් ප්‍රකාශනයේ හැසිරීම ගැන අපට අදහස් දැක්වූයේ සරසවි ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාලි පෙරේරා මහතාය.

මුල් සතිවලදී ලොකු පසුබෑමක් තිබුණා. දුර පළාත්වල පොත්හල් අපි විවෘත කළත් මිනිසුන් මුදල් නෝට්ටු ඇල්ලීමට බියක් දැක්වූවා. නෝට්ටු හරහා රෝගය බෝවීමට ඉඩ ඇති බව සිතුව නිසා. ඒ වගේම බොහෝදෙනාට පොත් මිලදී ගැනීමට තරම් ආදායමක් තිබුණේ නෑ. දැන් ටික ටික ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. පසුගිය කාලේ වැඩි කාලයක් බස්නාහිර පළාතම ඇඳිරි නීතිය දාලා වහලා තිබුණේ. අපේ වැඩිම පොත්හල් සංඛ්‍යාවක් තිබෙන්නේ බස්නාහිර පළාතේ. ඒ වගේම වැඩිම මිලදී ගැනීමේ ශක්තියක් තිබෙන පාඨකයන් ඉන්නෙත් බස්නාහිර. මේ නිසා මාස දෙකක් විතර බස්නාහිර එක දිගට වහල තිබුණාම ව්‍යාපාර කඩාවැටෙනවා. පාසල් වසා තැබීමත් ඒකට යම් ආකාරයකින් බලපෑවා.
ඉදිරි සතියේදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් (දැනට රාත්‍රියට පවතින) ඉවත්වනු ඇත. කොරෝනා සමඟ ජීවත්වෙමින් සාහිත්‍යය ඇසුරු කිරීමට ලෝකයට සිදුවනු ඇත.

- කුසුම්සිරි