2020 ජුනි 20 වන සෙනසුරාදා

ලේඛකයන්ට කොවිඩ් සහන කෝ?

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

තෝරාගත් කලාකරුවන්ට පමණක් කෝවිඩ් සහන ණය ලබාදීමට විරෝධය පළකරමින් ලංකා ලේඛක සංවිධානය විසින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි ලේකම් කමල් පෙරේරා සහ සභාපති ටෙනිසන් පෙරේරා යන මහත්වරුන්ගේ අත්සනින් යුක්තව නිකුත් කළ නිවේදනය මෙසේය.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් දුෂ්කරතාවලට පත් කලාකරැවන්ට ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණ. මේ අනුව ලංකා ලේඛක සංවිධානය ද සාමාජිකයන්ට එම ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ බැංකුවෙන් උපදෙස් ඉල්ලා සිටියේය. එහිදී අපට දැනගන්නට ලැබුණේ ප්‍රාසාංගික කලාකරුවන් නියෝජනය කරන සංවිධාන කිහිපයක සාමාජිකයන්ට පමණක් එම ණය ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවකි.

තෝරාගත් කලාකරුවන් පිරිසකට පමණක් ණය මුදලක් ලබාදීමට රජය තීරණයක් ගෙන ඇත්නම් ලංකාවේ බහුතරයක් ලේඛක ලේඛිකාවන් නියෝජනය කරන ලේඛක එකමුතුවක් වශයෙන් අපි ප්‍රථමකොටම එම තීරණය හෙළා දකිමු. එසේම කෝවිඩ් වසංගතයෙන් විපතට පත් වූයේ ප්‍රාසාංගික කලාකරුවන් පමණක් නොවන බව බලධාරීන්ට වැටහීමක් නැතිකම පිළිබඳව කනගාටු වෙමු. කලාකරැවන් වෙනුවෙන් ණය මුදලක් හෝ වෙනත් කිසියම් සහනාධාරයක් හෝ ලබා දීමට රජය අදහස් කරන්නේ නම් එය සමස්ත කලාකරුවන් වෙනුවෙන්ම විවෘත විය යුතුය යනු ලංකා ලේඛක සංවිධානයේ අදහසයි.

එසේ හෙයින් ප්‍රාසාංගික කලාකරුවන්ට අමතරව ලේඛන, චිත්‍ර, මූර්ති, කැටයම් හා අත්කම් ඇතුළු ක්ෂේත්‍ර රැසක නිරත කලාකරුවන් හා ශිල්පීන් දහස් ගණනක් රටේ වෙසෙන බව වගකිවයුත්තන්ට සිහිපත් කරදීමට කැමැත්තෙමු. රටේ පොදු ජනතාව සේම මෙම කලාකරුවෝ ද දහසකුත් එකක් ගැටලුවලට මුහුණ පා සිටිති. එබැවින් ණය මුදලක් ලබාගැනීමට කැමති සමස්ත කලාකරුවන්ටම සහන පොලියක් යටතේ එම ණය මුදල ලබාදීමට කටයුතු කිරීම රජයේ වගකීමයි. මේ කරුණු සලකා බලා සෙසු කලාකරුවන්ට ද මෙම ණය මුදල ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට හා අයතනවලට උපදෙස් දෙන මෙන් අපි රජයේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

 

 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00