2020 ජුනි 13 වන සෙනසුරාදා

හිටපු ඇමතිගේ වලව් කතා

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 537

වලව්වලින් තොරව සිරි ලංකාවේ දේශපාලනය ගැන කතා කළ නොහැකිය. ලොකු ලොකු වලව්කාරයෝ පාර්ලිමේන්තුවට යාම සාමාන්‍ය සම්ප්‍රදායක් විය. හොරගොල්ලේ වලව්ව, මහවලතැන්නේ වලව්ව, රත්වත්තේ වලව්ව, බෝතලේ වලව්ව, මැදමුලන වලව්ව යනාදී වශයෙන් ඇති වලව් නාමයන් දේශපාලනයට ඈඳුණේ එසේය. වලව් දේශපාලනය අහෝසි කරමු යැයි රතු සහෝදරවරැන්ට සටන් පාඨයක් ලැබෙන්නේද ඒ හේතුවෙන්මය.

මුකවාඩම් බැඳ සිටිය යුතු මේ කොරෝනා කාලයේ වලව් ගැන කතා කරන්නට සිතුණේ, හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා, ඊයේ පෙරේදා කළ කතාවක් නිසාය. ඔහු, ඕපන් විකට් බැට් කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ඒ නිසාම, නොයෙක් ඇඳුම් බැණුම්වලටද ලක්වේ.

මෙවර, එතුමා, අපේ සිරි ලංකාව පරණ වලව්වකට සමාන කරයි. මේ වලව්ව දැන් තිබෙන්නේ අමාරු තත්ත්වයකය. එහෙත් එහි වැසියෝ දුෂ්කරතා හා දරිද්‍රතාව නොතකා, අතීත වීරක්‍රියා හා පරම්පරා කතා කියමින් වෙසෙති.
දුර සිට බලනවිට වලව්වේ, පරණ මහේශාඛ්‍යභාවය දිස්වෙයි. අලංකාර පියැසි, විසිතුරු ලී කැටයම්, විශාල වැරන්ඩා ආදිය, අතීත සමෘද්ධිය කියාපායි. එහෙත්, ඇතුළට ගිය විට, කාන්දු වන වහලය, වේයෝ, පන්දලම් සහ සළබයා කෑ තිරරෙදි ආදිය ඇස ගැසෙයි. දින කිහිපයක් රුඳී සිටින විට, &සිරිලංකා වලව්වේ* සැබෑ තත්ත්වය අනාවරණය වෙයි.

වලව්වේ එක් පුතෙක්, රැකියා විරහිත, අපේක්ෂා භංගත්වයෙන් යුතුව කල් ගෙවයි. දෙමව්පියන්ට ඔහුට උසස් අධ්‍යාපනයක් ලබාදීමට වත්කමද නැත. අනෙක් පුතා කුඩුවලට ඇබ්බැහි වී ඇත. මැදපෙරදිග ගෘහසේවිකාවක ලෙස සේවය කරන දියණිය විසින් එවන මුදලින් වලව්ව යන්තම් රුකෙයි.

වලව්වක පළහිලව්වක් ගැන මේ අලුත් කතාව කියන්නේ වැඩිය පරණ නැති මුදල් ඇමතිවරයකු විසිනි. එහෙයින් එයද පැරණි ශ්‍රී විභූතිය ගැන සාඩම්බර සිතින් පසුවන, හාමුලා, ළමාතැනීලා, අප්පොලාගේ සිට උන්ගේ වාලුන්ගේද අවධානයට ලක්වීම වටනේය.

හිඟන්නාගේ පාත්තරයක් රුගෙන, ලෝක පොලී මුදලාලිලා මුණගැහෙන්නට ගියවිට, ඔවුන් අපේ වලව්කාරකම් එක පැන්සයකට මායිම් නොකරන බව, මුදල් ඇමතිලා කොයි කවුරුත් හොඳින් දනිති.
මුදල් ඇමැති යනු, කැබිනට්ටුවේ ඇති ඉතා භාරදූර තනතුරකි. එසේම කොතෙක් කළත් හොඳක් නම් අහන්නට ලැබෙන්නේද නැති ජොබ් එකකි. ලෝකයේ කොහෙත් එහෙමය. විශේෂයෙන්ම මුදල් ඇමති සරදමට ලක්වන්නේ, අයවැය කාලයේදීය. එකලට කාටූන්කාරයින්ගේ මෙන්ම අප වැනි උපහාස තීරු ලියන්නන්ගේද, ප්‍රියතම චරිතයක් වන්නේද මුදල් ඇමතිවරයාය.

සිරිලංකාවේ මුදල් ඇමති ඉතිහාසය 1947 දක්වා අතීතයකට දිව යයි. ප්‍රථම මුදල් ඇමතිවරයා වීමේ ගෞරවය දිනාගත් ජේ.ආර්. ජයවර්ධන, ඉන්පසුවද එම ධුරය හෙබවීය. ඉන්පසුව, ඔලිවර් ගුණතිලක, එම්.ඩී.එච්. ජයවර්ධන, ස්ටැන්ලි ද සොයිසා, එම්.එම්. මුස්තාපා, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, සී.පී. ද සිල්වා, පී.බී.ජි. කළුගල්ල, ටී.බී. ඉලංගරත්න, යූ.බී. වන්නිනායක, රොනී ද මැල්, නයින මරික්කාර්, සරත් අමුණුගම, සී.එන්. චොක්සි, රවි කරුණානායක ආදීහු මුදල් ඇමැතිවරැ ලෙස කටයුතු කළහ.
ජනාධිපතිවරයාට නිල වශයෙන් මුදල් ඇමැතිකමද හිමිවීම පසුකාලයක ඇතිවූ සිරිතකි. මහින්ද රාජපක්ෂ, ඩී.බී. විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මුදල් ඇමැතිවරැ වන්නේ එලෙසිනි.
එක්සත් ජාතික පක්ෂයට මුදල් ඇමැතිවරැ 10ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 9ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 1ක්ද වශයෙන් මුදල් ඇමතිවරු ලැබුණි. 

සිරිලංකාවේ මුදල් ඇමැතිවරු අතරින්, වඩාත්ම පෙරළිකාර ඇමති වූයේ, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ ආචාර්ය එන්.එම්. පෙරේරාය. එකල මෙරට සිටි ලොකු සල්ලිකාරයන්, සඟවා ගෙන සිටි සල්ලි, එළියට ඇදීමට නීති ගෙනාවේ එන්.එම්.ය. අන්තිමේදී පොඩි පොඩි සල්ලිකාරයන්ටත්, පනහේ සීයේ නෝට්ටු අට්ටි, පෙට්ටි පිටින් බැංකු ගානේ ගෙනඒමට සිදුවිය. එහෙත්, අන්තිමේදී සිදුවූයේ, ඇන්.ඇම්.ගෙන් මුදල් ඇමැතිකම උදුරාගෙන, ෆීලික්ස් ඩයස්ට බාරදීමය.
මුදල් නෝට්ටුවල තම අත්සන යෙදීමේ වරප්‍රසාදය හිමිවනුයේ, මහ බැංකු අධිපති හැරුණු විට, මුදල් ඇමතිටය. ඒ නිසා, ඇමතිකම නැති වුවත්, මුදල් නෝට්ටුව භාවිතයේ තිබෙන කල් අත්සන රැකේ.

අසල්වැසි ඉන්දියාවේ අයවැය ලේඛනයේදී කවියක් උපුටා දැක්වීමද අපූරු සිරිතකි. වර්තමාන මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමා, මේ වසරේ පෙබරවාරියේ ඉදිරිපත් කළ අයවැය ලේඛනය කියවීම ඇරැඹුවේ උර්දු කවියකිනි. පසුගිය වසරේද ඇය අයවැය ඇරැඹුවේ උර්දු කවි මන්සූර් හෂ්මිගේ කවියක් කියමිනි. එරට මුදල් ඇමැතිවරුන්ව සිටි අරෑන් ජායිත්ලි, යෂ්වත් සිං, මන්මෝහන් සිං ආදීහුද අයවැය කවි සිරිත අනුගමනය කළෝය.
මුදල් ඇමැතිවරු, දැඩි විවේචනයට ලක්වන්නේ බදු පැනවීම සම්බන්ධයෙනි. ඒ පිළිබඳ සිනා කතාද බොහෝය. මේ ඉන් එකකි.
මානසික රෝගීන්ගේ රෝහලක නේවාසික පුද්ගලයෙක් රුපියල් සීයක් ඉල්ලා, දෙවියන් වහන්සේට ලිපියක් ලියා තැපැල් කළේය. එය දුටු, තැපැල් කාර්යාලයේ නිලධාරියෙක්, රැපියල් පනහක මුදලක් යැවීය. මුදල ලැබුණු මානසික රෝගියා, නැවතත් දෙවියන් වහන්සේට ලිපියක් යැවීය. එහි මෙසේ සඳහන් විය.

ඔබවහන්සේ මා කෙරෙහි දැක්වූ කරැණාව බොහෝ අගය කරනවා. එහෙත් මින්පසු මුදල් එවනවිට වෙනත් ක්‍රමයක් යොදාගන්නවා නම් හොඳයි. ඔබවහන්සේ එවූ රුපියල් සීයෙන්, රුපියල් පනහක්ම ආදායම් බදු වශයෙන් අඩුකරගෙන තිබුණා.
එක්තරා රටක මුදල් ඇමැතිවරයාගේ පුතා විවාහ විය. අලුත් මනමාලියද සමඟ කතාබහක යෙදෙන මොහොතක ඇමතිගේ බිරිඳ (නැන්දම්මා) මෙසේ කීවාය.

අපේ මහත්තයා, ගෙදර පාලනයේදීත් මුදල් ඇමැති. මම තමයි ස්වදේශ කටයුතු (හෝම් මිනිස්ටර්) ඇමැති. අපේ පුතා තමයි ජනතාව. ඔයා කැමැති මොනවගේ ඇමතිකමකටද? අලුත් මනාලිය, සිනාවකින් තොරවම මෙසේ කීවාය.
මම තමයි විපක්ෂය. මම හදන්නෙ ජනතාවත් සමඟ එකතුවෙලා ආණ්ඩුව පෙරළන්න.


කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00