2020 ජුනි 13 වන සෙනසුරාදා

බෝවන රෝග වැළඳේදැයි කේන්ද්‍රයෙන් බලාගනිමු

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

මේ දිනවල රටම කතා වෙන්නේ කොරෝනා හා ඩෙංගු වැනි මාරාන්තික රෝග පිළිබඳවය. බෝවන රෝග පිළිබඳ අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයෝ බියෙන් පසුවූහ. අදද බෝවන රෝගවලින් පරිස්සම් වීම පිළිබඳ විවිධ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කෙරෙහි උනන්දු වනු දැකිය හැකිය. කොතරම් පරිස්සම් වුවද සමහරැන්ට විවිධ රෝග ආසාදනය වෙයි. සමහර අයට රෝගීන් ඇසුරැ කළද රෝග බෝ නොවන තත්ත්වයක් පවතී. කෙසේ වුවද යමෙකුට බෝවන රෝගයක් ආසාදනය වුවහොත් ඔහු හෝ ඇය ඇසුරු කරන බොහෝ දෙනකුට එය බෝවීමට ඉඩ ඇත. මේ නිසා එක් අයකු රෝගයෙන් පරිස්සම් වුවහොත් එයින් බොහෝ දෙනකුට බෝවීම ද වළක්වාගත හැකිය.

කොරෝනා වැනි ලෝක ව්‍යසනයක් වන මාරාන්තික රෝග කුමන කේන්ද්‍රයක් හිමි කෙනකුට වැළඳේ ද යන්න පරික්ෂා කර බැලීම වැදගත්ය. ජන්මියකුගේ ජන්ම කේන්ද්‍රයක් විශ්ලේෂණය කර බැලීමෙන් ඔහුට ස්වකීය ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දරුණු බෝවන රෝගයක් වැළඳෙන්න ඉඩ තිබෙනවාදැයි සොයාබැලීමට පුළුවන. මාරාන්තික බෝවන රෝගයක් වැළඳී එයින් තදින්ම පීඩාවට පත්වන්නේද යන්න ග්‍රහ තත්ත්වයට නතු වන බව පෙනේ.

රාත්‍රී සහ කුජ - ශනි ලග්නගතව සිටීම යම් කේන්ද්‍රයක මෙවන් රෝගයක් ඇතිවීම ඉස්මතු කර පෙන්වන පිහිටීමක් වෙයි. ලග්නාධිපති හා රාහුගේ යෝගවීමත් එම තත්ත්වය උත්සන්න වීමට හේතු වෙනවා ඇත. මෙහිදී රාහු හා ලග්නාධිපති අටවැන්නේ වීම සුවිශේෂී වෙයි. කේන්ද්‍රයක ලග්නයේ සිටින රවි ග්‍රහයා කුජ විසින් දකිනු ලැබීම ද ලග්නයේ කුජ සිටින විට රවි හා ශනි යන ග්‍රහයන් දෙදෙනාම එකට දිස්වන්නේ නම්ද, සෙනසුරැ තවත් පාපී ග්‍රහයකු සමඟ දෙවැන්නේ සිටින විට තුන්වන පාපියකු විසින් දකිනු ලැබීමද මෙවැනි බෝවන රෝග වැළඳීමේ අපදාවලට ලක්වීමට ඉඩ ඇති බව කිව යුතුය. මෙය ජන්මියාට නොදැනෙන ලෙස ඉක්මනින් සිදුවන දෙයකි.

කිසියම් කේන්ද්‍රයක දෙවැන්නාධිපතියා සෙනසුරැ සමඟ සිටීමත් හෝ සෙනසුරැ විසින් දකිනු ලැබීම ද වසංගත රෝග වැළඳීමට හේතුවන පිහිටීමක් වෙයි. බාධක ග්‍රහයා සතුරැ රාශිගත වීමත්, එම යෝගය කේන්ද්‍රයේ තෙවැන්නේ පිහිටීමත්, එය තවත් පාපියකු විසින් දකිනු ලැබීමත් මෙයට හේතු වනවා ඇත. විශේෂයෙන්ම රවි ග්‍රහයා පාප ග්‍රහයකු සමඟ යෝගව සිටියදී තවත් පාපියකු දැකීමද මෙවැනි විනාශකාරී රෝග වැළඳීමට හේතුවෙයි. ඇතැම් ජන්මියන්ගේ කේන්ද්‍රවල මෙම ග්‍රහ පිහිටීම් එකක් හෝ කිහිපයක් බහුල වශයෙන් දකින්නට හැකි වේ. 

මෙම කොරෝනා වැනි වසංගත බෝවීමට ප්‍රධානම හේතුවක් වන්නේ ලග්නාධිපතියා 6 අධිපතියා සමඟ යෝග වීමයි. එම යෝගය සඳුට පෙනුණොත් හෝ බාධක ශනි සමඟ 1 හා 6 අධිපති යෝගවීම නිසාද මෙවැනි රෝග බෝවනවා ඇත.
මෙවැනි ග්‍රහ පිහිටීම් ඕනෑම කෙනකුගේ කේන්ද්‍රය පරික්ෂා කිරීමෙන් අවබෝධ කර ගැනීමට අපහසු නැත. යම් කෙනකුගේ කේන්ද්‍රවල මෙම ග්‍රහ පිහිටීම් තිබේනම් එවැනි අය ඒ පිළිබඳ දැඩි අවධානයකින් සිටිනවා නම් මෙවැනි අහිතකර තත්ත්වයක් වළක්වා ගැනීමට හැකිවේ. යම් කේන්ද්‍රයක මෙවැනි පිහිටීම්වලින් එකක් හෝ තිබේනම් එවැනි අය බෝවන රෝග ඇති ස්ථානවලට නොයෑමෙන්, එවැනි රෝගීන් ඇසුරැ නොකිරීමෙන් රෝග වැළඳීම පාලනය කර ගත හැකිවෙයි. රෝග වැළඳීමට පෙර තම කේන්ද්‍රවල ඉහත කී ග්‍රහ පිහිටීම් තිබේද යන්න පිළිබඳ සුපරික්ෂාකාරීව සිටීම රෝග වැළඳුණාට පසු කේන්ද්‍ර බැලීමට වඩා වැදගත් බව පෙන්වා දිය යුතුය.

(විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි)