2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

රුසියන් රුසියෝ

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

 

පසුගිය දිනෙක මට රුසියාවේ සංචාරයක යෙදෙන්නට අවස්ථාව ලැබුණි. ඊට පෙරද කීපවරක්ම සෝවියට් දේශයටත්, ඉන් පසුව රුසියාවටත් ගොස් ඇති මම, එහි ගිය හැමවිටකම, රුසියානු සාහිත්‍යයේ මට හමුවී ඇති චරිත සොයමින් ජනතාව අතර සැරිසරන්නෙමි. එබඳු ගමන්වලදී බොහෝ විට සිදුවූයේ, සාහිත්‍ය චරිත හමුවීම වෙනුවට වෙනත් අත්දැකීම් ලැබීමය.

මෙවර සංචාරයේදී මට හමුවූ, පත්තර සගයකු වූ පැසිනෝව් අපූරු කතාවක් කීවේය.

මම ඒ කතාව එතැනින්ම නැවතීමි.

රුසියානු කොමියුනිස්ට් පක්ෂය මගින් ප්‍රව්දු හා ඉස්ටෙස්වියා යනුවෙන් පුවත්පත් දෙකක් පළ කරන බවත්, සියලුදෙනා ඒ දෙකම මිලදී ගන්නා බවත් මගේ මිතුරා කීය.

එකම පක්ෂෙන් පත්තර දෙකක් ගහන්නෙ මොකද?
මම ඇසුවෙමි.

ප්‍රව්දා කියන්නෙ සත්‍යය. ඉස්ටෙස්වියා කියන්නෙ ප්‍රවෘත්ති. මිනිස්සු ඉස්ටෙස්වියා අරන් බලන්නෙ ඒකෙවත් සත්‍යය තියෙනවද බලන්න. ප්‍රව්දා අරන් බලන්නෙ ඒකෙවත් ප්‍රවෘත්ති තියෙනවද බලන්න.

ඇයි රුසියාවේ මාධ්‍ය නිදහස නැද්ද?

මා ඒසේ විමසූ කල, පැසිනෝව් අපූරු කතාවක් කීවේය.

එක්තරා මාධ්‍යවේදියෙක්, කතා කරන ගිරවකු ඇති කළේය. මාධ්‍යවේදියා වැඩ ඇරී නිවෙසට ගිය පසු වොඩ්කා වීදුරුවක් දෙකක් පානය කොට, ගිරවා සමඟ කතාබස් කරමින් සිටීම සිරිතකි. මේ නිසා ගිරවාද මාධ්‍යවේදියාගේ කියුම් තෙපළීමට සමත්ය. එක් දිනක්, මාධ්‍යවේදියා සවසට එන විට ගිරවා අතුරුදන් වී සිටියේය. ඔහු වහාම අසලම තිබෙන පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැමුවේය. එය ලියන අතර පොලිස් නිලධාරියා, මාධ්‍යවේදියාගෙන් මෙසේ ඇසුවේය.

ඔබේ ගිරවාට හොඳින් කතා කරන්න පුළුවන්ද?

ඔව්. ඒත් එයා කියන කිසිම දෙයක් මගේ අදහස් නෙවෙයි... කරුණාකරල ඒක ලියාගන්න.

පැසිනෝව්ගේ ඒ කතාවෙන් පසු, මාධ්‍ය නිදහස පිළිබඳව විමසීමද අත්හලෙමි.

මොස්කව් දුම්රියපොළ අසල සිටින මහලු කාන්තාවක් සිඟමන් යදිමින් ජීවිකාව ගත කළාය. ඇය කිසියම් උපකාරයක් ලබන හැමවිටකම, අහස ලෙස බලා දෙවියන්ට ස්තූති වේවා යැයි කීමට පුරුදුව සිටියාය. එක් දිනක් පොලිස් භටයෙක් ඇය වෙත පැමිණ මෙසේ කීවේය.

අම්මේ හැමදේකටම දෙවියන්ට ස්තූති කරන්න එපා. පූටින්ට ස්තූති වේවා කියන්න. එයානෙ අපේ නායකයා. අපිට හැමදෙයක්ම ලැබෙන්නෙ එයා නිසා.

ඒ ඇසූ මහලු කත මොහොතක් කල්පනා කළාය.

එතකොට, මට කවදාවත් දෙවියන්ට ස්තූති කරන්න වෙන්නෙ නැද්ද?

මොකද නැත්තෙ. ලොක්ක මැරුණුදාට!

එසේ කියූ පොලිස් භටයා, වහා එතැනින් පිටවුණේය.

විදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා පැවති මාධ්‍ය හමුවකදී, රුසියානු අභ්‍යවකාශ පර් යේෂණ  ජයග්‍රහණ පිළිබඳ වාර්තා චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය කෙරුණි. එය අවසානයේ පැවති කොක්ටේල් සාදයේදී මම පැසිනෝව්ගෙන් මෙසේ ඇසුවෙමි.

ඇයි රුසියාවෙන් හඳට මිනිස්සු යැව්වෙ නැත්තෙ?

මොකද නැත්තෙ. යවපු කිසිම කෙනෙක් ආපහු ආවෙ නෑ. අ‍ෙමරිකන් රොකට්වල නැගලා, එහෙට පැන ගත්තා. ඊට පස්සෙ තමයි, මිනිස්සු යවන එක නැවැත්තුවේ.

පැසිනෝව් වටපිට බලමින් සිනාසුණේය.

රුසියානු කොමියුනිස්ට් පක්ෂය පිළිබඳව එරට ඇති ජනප්‍රිය විහිළු කතාවක් මෙසේය.

පක්ෂයට බැඳෙන්නට අයැදුම්පතක් ඉදිරිපත් කළ, රජයේ සේවකයකු සම්මුඛ පරීක්ෂණයකට කැඳවුණි. මධ්‍යම කාරක සභිකයෙක්, සේවකයාගෙන් ප්‍රශ්න කරන්නට විය.

ඔබ දුම්පානය කරනවාද?
ඔව්.
පූටින් සහෝදරයා දුම්පානය කරන්නෙ නෑ.
හොඳයි. එහෙනම් මාත් ඒක නවත්තන්නම්.
ඔබ මත්පැන් පානය කරනවද?
ඔව්.
පූටින් සහෝදරයා මත්පැන් විරෝධියි.
එහෙනම් මාත් ඒක නවත්තන්නං.
ඔබ ස්ත්‍රීලෝලියෙක්ද?
නැතුවම නෙවෙයි.
පූටින් සහෝදරයා අනාචාරයට විරුද්ධයි.
හොඳයි මම ගෑනු ආශ්‍රයත් නවත්තන්නම්.
ඔබ පක්ෂයට ජීවිතය කැප කිරීමට පොරොන්දු වෙනවාද?
ඔව්. ඔව්. අර සේරම නැවත්තුවට පස්සෙ මට ජීවිතෙන් ඇති වැඩක් නෑනෙ.

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00