2017 මාර්තු 31 වන සිකුරාදා

“එන්න වික්ටර්... අපි නව රාගයක් වයමු...”

 2017 මාර්තු 31 වන සිකුරාදා, පෙ.ව. 09:46 130

නෙල්සන් මැන්ඩෙලා වයස අසූවක් වෙද්දී පනස් තුන් වියැති ගැහැනියක් විවාහ කරගත්තේය. පැබ්ලෝ පිකාසෝ අවුරුදු හැත්තෑ දෙකේදී විසිහය වියැති තරුණියක හා විවාහ විය. ක්ලින්ට් ඉස්ට්වුඩ් හැටහය වැනි වියේදී තිස් එක් වියැති යුවතියක සරණට ගත්තේය. සිල්වෙස්ටර් ස්ටැලෝන්, හියු හොප්නර්, පෝල් මැකාති, රූපට් මර්ඩොක් වැනි ජාත්‍යන්තර කීර්තියට පත් මිනිසුන්ද මහලු වයසේදී ළාබාල තරුණියන් විවාහ කරගත්හ. චාලි චැප්ලින් අවුරුදු පනස් හතරේදී දහ අට වියැති ඕනා ඕනයිල් හා විවාහ විය. බර්ට්‍රන්ඩ් රසල් අවුරුදු අසූවේ දී සිය සිව්වැනි විවාහය කරගත්තේ, තමාට "පරිපූර්ණ ප්‍රේමය" හමුවීමේ උද්දාමයෙන් කවියක්ද ලියමිනි. බීතෝවන්-ඇනා විවාහයද මේ ගොඩටම එකතු කර ගත යුත්තකි. මේ බොහෝ විවාහයන් දෙවෙනි, තුන්වැනි හෝ සිව්වැනි විවාහයන්ය. 

ඒ කිසිම අවස්ථාවකදී, පළමු විවාහයේ දූ පුතුන් "මගේ තාත්තා මළා" යැයි ප්‍රකාශ නිකුත් කළ වගක් අප අසා නැත. බීතෝවන් ගේ, චැප්ලින් ගේ, ඉස්ට්වුඩ්ගේ රසිකයන් සදාචාරයේ මුගුරු දණ්ඩ ඔසවාගෙන ඔවුන්ට පහර දුන් වගක්ද අප අසා නැත. ප්‍රේමයට වර්ණ සමූහයක් ඇති වගත්, එකී වර්ණ ජීවිතේ විවිධ යාමයන්හි මුණගැසිය හැකි වගත් එකී රසිකයන් දැන සිටින්නට ඇත. වික්ටර් රත්නායක නම් විශිෂ්ට ගායන ශිල්පියා අවාසනාවන්තයෙකු වන්නේ අන්න එතැනදීය. ඔහුගේ ගීතාවලිය යනු, ප්‍රේමයේ ඉසියුම් ඉසව් දැක බලා ගනිමින් ඇවිද යා හැකි රස සවාරියකි. ඒ සවාරියේදී තරු අත් අකුරින් ලියන ලද පෙම්පත්ද, සීත හිමව්වේ හිමගිරි අරණේ සීතල දිය දහරාද, කටු තුඩු මත සැතපෙන්නට පිළිණ දෙන පෙම්සිත් ද අපට හමුවණු ඇත. ප්‍රේමාන්විත කලා ශිල්පියෙකුට ජීවිතයේ විවිධ රස කලාපයන් ප්‍රත්‍යක්ෂ කරගන්නට කිසිවෙකුගෙන් තහංචියක්ද නැත. එනිසාම වික්ටර් වරක් මෙසේ ගැයුවේය. "නිමා වෙවී හිදිනට නැත වේලා කාලය යයි ඉගිලී සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා මීවිත උතුරා යයි..." හැම තත්ත්පරයකම ජීවිතයේ රස පෙරා ගන්නට වන අවංක වුවමනාව මිස, නරකෙසක් දුටු පමණින් වල් වදින්නට පතන මඛාදේව පන්නයේ දෘෂ්ඨියක් මෙහි නැත. 

"අනඟ තරුණ බඹරු අපි - බඹර වරම අපිට හිමී" යැයි ගයන්නට තරම් කලෙක වික්ටර් ලිබරල් විය. "පණ නම් තණ අග පිනි බිදුවක් වන බවත්, එනිසාම නොපමාව කුසල් රැස් කළ යුතු බවත්" දේශනා කරන ලද සමාජයක මෙවැනි ලිබරල් දෘෂ්ඨියක් ගායනා කිරීම සැබවින්ම නිර්භීතකමකි. එහෙත් ලංකාව යනු එබදු නිර්භීතකම් දිගින් දිගටම නඩත්තු කළ හැකි සමාජයක් නොවේ. අධිපති දෘෂ්ඨිවාදයන් විසින් තල්ලු කරන අගාධවලට ඇද වැටී මෂ්තිෂ්කය කුඩු කරගන්නට සිදුවුණු කලාකරුවන්, චින්තකයන්, දාර්ශනිකයන් මෙහි බහුලය. ඒ වික්ටර්ටද පොදු ඉරණමකි. හැත්තෑව දශකයේදී "අනඟ තරුණ බඹරු අපී" යැයි උදාරම් ගැයූ ශිල්පියෙකු ඉන් දශක තුනකට පසු "දොරමඩලාවට" පැමිණ සාධු සාධු කියන්නේ අන්න ඒ නිසාය. කලාකරුවන් සිටිය යුත්තේ සමාජයට පෙරමුණෙනි. කලාකරුවාගේ සමාජ කාර්යභාරයයි අපි කියන්නේ ඒකටය. ඒ කාර්යභාරය ඉටු කරන්නට නම් කලාකරුවෙක් දැනුමින්, අවබෝධයෙන්, හැදෑරීමෙන් සන්නද්ධ විය යුතුය. අජිත් මුතුකුමාරණගෙන් බලාපොරොත්තු නොවන පෙරටුගාමී කාර්යභාරයක් වික්ටර් රත්නායකලාගෙන් බලාපොරොත්තු වන්නේ අන්න ඒ නිසාය. සමාජයට පෙරටුව යමින් සමාජය යා යුතු අත පෙන්වීමට සමත් මාලිමාව එවැන්නන් අත ඇතැයි සමාජය විශ්වාශ කරති. 

එහෙත් පසුගිය කාලයේ සුලභ දර්ශනය වූයේ කලාකරැවන් සමාජයට පිටුපසින් ගාටන්නට වීමය. මේ සමාජය වනාහී දෛනික ජීවිතයේ ප්‍රශ්නවලට අසපු ගානේ රිංගමින් උත්තර හොයන සමාජයකි. නොඑසේනම් ධනාත්මක චින්තන පොත් පෙරලා පෙරලා උත්තර හොයන සමාජයකි. එහෙමත් නැත්නම් බෝ ගස් ගානේ පඬුරැ ගැට ගහමින් උත්තර හොයන සමාජයකි. දැන හෝ නොදැන වික්ටර් රත්නායකලාද පසුගිය කාලයේ නඩත්තු කරන ලද්දේ මේ පසුගාමීත්වයමය. ඒ පසුගාමීත්වය මොනතරම් සාහසිකදැයි දැන්වත් වැටහිය යුතුය. ප්‍රේමයේ ආත්මීය වුවමනා එපාකම් හුදු "වලත්තකම්" වලට ලඝු කරන සමාජයක වික්ටර් වෙනුවෙන් අත් එසවෙන්නේ අඩුවෙනි. අනිත් අතට වික්ටර්ට එරෙහිව සදාචාරයේත්, සංස්කෘතියේත් ගල් මුගුරැ ඔසවාගෙන හිඳින්නේ පසුගිය කාලයේ ඔහු සමඟ එක පෙළට වැටී සාධුකාර දුන් ජනයාය. එකලද අප ඒ "සාධු ජනයාට"අයත් නොවීමු.එනිසාම අපි වික්ටර්ගේ රසිකයන් මිස බැතිමතුන් නොවීමු. "අනඟ තරැණ බඹරා" වෙනුවෙන් අප මේ මොහොතේ පෙනී සිටින්නේ ඔහු කෙරෙහි ඇති මේ අප්‍රමාණ රසිකත්වයට තවත් යමක්ද එකතු කරමිනි. 

එනම් සියුලු ප්‍රබුද්ධ කලාකරුවන් විසින් පසුගිය සමයේ නඩත්තු කරන ලද පසුගාමීත්වයට එරෙහි විරෝධයද සමඟිනි. වික්ටර්ට තවමත් අවස්ථාව තිබේ. පසුගාමීත්වයේ සාහසිකත්වය ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇතුවාට සැක නැත. පටු සීමා මායිම් සහිත ඉපැරැණි කල්පනාවන් වෙනුවට වඩා සුපසන් මානවීය සංවේදනාවන් වෙනුවෙන් අත් ඔසවන සමාජයක් නිමැවිය යුතුව තිබේ. ඒ සදහා වික්ටර්ගේ ප්‍රේමාන්විත කටහඬට තවමත් අවස්ථාව තිබේ. ඔහු නව රාග තාල ගයන තුරු අප බලා සිටින්නෙමු.

♦ නලින්ද සංජීව