2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අන්තර්ජාලයේ කැරකෙන කොරෝනා යන්තර-මන්තර වෙද්දූ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:31 468

“මචං උඹලගේ පැත්තේ පෙරුම්කායම් ගන්න තැනක් නැද්ද?” මා මිත්‍රයෙක් පසුගියදා විමසුවේය.

හේතුව මා දන්නා නමුත් ඔහුගෙන්ම පිළිතුර ලබාගැනීම සඳහා මොකටදැයි ඇසුවෙමි.

“පොඩි උන්ගේ අතේ ගැටගහන්න. මෙහේ කොහෙවත් නෑ හොයාගන්න. රුපියල් 500ටත් විකුණලා.” මිත්‍රයා කීය.

මම නැවතත් “මොකටදැයි” පෙරළා විමසුවෙමි.

“කොරෝනාවලට හොඳයිලු මචං... උඹත් පොඩි එකාට අරන් පලයන්. විෂබීජ මැරෙනවා...” මිත්‍රයා යුරේකා කියමින් කෑ ගසා පාරේ දිවූ ආකිමිඩිස් ලෙස කීවේය.

“කවුද කිව්වේ...?” යළිත් මම ඇසුවෙමි.

“එෆ්.බී. එකේ තිබ්බා දාලා. ඒකෙන් පස්සේ කොහෙවත් පෙරුම්කායම් නෑ හොයාගන්න” යැයි මිතුරා කියවාගෙන යන්නට විය.

කොරෝනාවලට පෙරුම්කායම් හොඳ යැයි මගේ මිත්‍රයාට කියා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොවේ. පෙරුම්කායම් ගැන වගේ වගක් නොදැන සිටි මගේ මිත්‍රයා ඒ ගැන දැනුවත් වී තිබුණේ නූතන පච නිෂ්පාදනගාරයක් වන මුහුණු පොත හරහාය. මිත්‍රයා රැල්ලට පෙරුම්කායම් බැන්දත් විෂබීජවලට හොඳ “වෛරස් ගාඩ්” එකක් ලෙස එදා අපේ අම්මලා ආච්චිලා යොදාගත්තේ මෙකී පෙරුම්කායම්ය. අපේ අතේ මැණික් කටුවේ හෝ වැලමිටයි උරහිසයි අතරේ හෝ පෙරුම්කායම් පොට්ටනියක් කුඩා කළ අපේ ශරීරයේ වැරදුණේ නැත. එහෙත් පෙරුම්කායම් කොරෝනා වලට ඔරොත්තු දෙනවාද? එතන ප්‍රශ්නයක් ඇත. එසේ නම් චීනයට පෙරුම්කායම් ලබාදී දහස් ගණනක් එදා අපට බේරාගන්නට තිබුණි. කෙසේ වෙතත් එය සිදුවූයේ නැත.

නව කෝවිඩ් - 19 වෛරසය මේ ලිපිය ලියන මොහොත වනවිට රටවල් 170ක් පුරා පැතිර ගොස් ඇත. ලෝකයේ ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට වෛරසය වැළදී ඇති අතර ඒ අය අතර ලංකාවද ඇතුළත්ය. වාසනාවට ලංකාවෙන් මරණ වාර්තා නොවුණත් ලෝකයේ මරණ සංඛ්‍යාව 9000කට ආසන්නය. එයිනුත් ඉතාලියේ මරණ වේගය දවසින් දවස ඉහළ යන්නේ බලා සිටියදීමය.

මේ සියල්ල සිදුවන අතරතුර ලෝකයේ විවිධ රටවල්වල ජීවත්වන වෛද්‍යවරු දිවා රෑ වෙහෙසෙමින් නොයෙකුත් ඖෂධ සොයාගනිමින් ඒවා අත්හදා බලමින් සිටිති. එහෙත් තවමත් නිශ්චිත බෙහෙතක් නැත. ඒ නිසා මේ වෛරසය බෝවීම වළක්වා ගැනීම හැර එය මර්දනය කළ බෙහෙතක් නැත.

එහෙත් කොරෝනා මේ ලෝකයට පය ගැහූදා සිට ලංකාවේ ගොඩ වෙද්දු, කපු මහත්වරු, මෑණිවරු, ෆේස්බුක් මහාචාර්යවරු රටේ නැති වෛද්‍ය උපදෙස් දෙන්නට පටන් ගෙන ඇත. ඒ උපදෙස් ලක්ෂ ගණන් ජීවත්වන මුහුණු පොතේ,  යූ ටියුබයේ, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් පැතිරී ඇත. ඒ කොරෝනා වෛරසයටත් වඩා වේගයෙනි. මේ කියන්නේ එකී වෛරස් ගැනය.

වෛරසයෙන් බේරෙන්න සුර සහ යන්ත්‍ර

මේ දිනවල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බොහෝ දෙනා මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් ඇත. මෙච්චර වාරයක් මතුරන ලද සුරයක් පැළඳවූ පසුව ඔබ කොරෝනා වලින් ආරක්ෂිතයි, මේ යන්ත්‍රය ළඟ තබාගත් පසු වෛරසයෙන් ආරක්ෂිතයි. වැනි බොරු බේගල් හුවමාරු වෙමින් ඇත. එහෙත් ඇත්තටම දේව බලයෙන් මේ වෛරසය මර්දනය කළ හැකිද? නැත. එසේනම් ඉතාලියේ මහා දේවස්ථාන, පන්සල්, මක්කම වැනි ස්ථාන වසා දමන්නේ නැත. පූජකවරු මාස්ක් පළඳින්නේ නැත. ඒ සියල්ල හෙළි කරන්නේ ඇදහිලි විශ්වාස තුළින් මෙයට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති බවය.

රාවණා බලයෙන් බෙහෙත්

මේ තවත් දැන්වීමකි. රාවණා සමයේ භාවිතා කළ හෙළ ඖෂධවලින් රෝග සුවකරන බව රාවණා අදහන්නෝ මේ දිනවල ප්‍රචාරය කරති. කිසිම පුරාවෘත්ත හෙළිවීමක් නැති රාවණාගේ බෙහෙත් කියා ඔබ කොරෝනාවලින් ආරක්ෂා වීමට දෙයක් බීමෙන් සුගතියක් වන්නේ නැත. සිදුවන්නේ කොහේ හෝ ලෙඩක් සැදී විඳවන්නටය. ඒ නිසා එක් එක් ගොඩ වෙදුන් මායාකාරයන් කියන බෙහෙත් නොගන්නා ලෙස පැවසිය යුතුය. එසේම කොරෝනා වෛරසයට රාවණාගේ හෙළ ඔසු හොඳ බවත් කවුරුත් තවම සොයාගෙන නැත. අඩුම වශයෙන් රාවණා හිටියාද කියා තහවුරුවීද නැත.

අව්වේ සිටීමෙන් වෛරසය මියයයි

මේ දිනවල වැස්ස නිසා පරිසරය තරමක් සිසිල් වී ඇත. එහෙත් පසුගිය දින කිහිපයේ උෂ්ණත්වය ඉහළ ගිය අතර මේ අතරතුර සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ප්‍රචාරය වුණේ වැඩි උෂ්ණත්වය තුළ වෛරසය මියයන බවය. ඒ නිසා අව්වේ සිටීම හොඳ යැයි ගොඩ වෙද්දු කීහ. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිවූ දෙයට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔවුන් සඳහන් කළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 දී වයිරසය විනාස වන බවයි. එහෙත් අපට දරන්නට බැරි ගිනි අව්වේ සිටගෙන සිටීමෙන් එය සිදුවන්නේ නැත. එසේ කිරීමෙන් පළක්ද නැත.

සුදුලූනු තම්බා වතුර බීම සහ කැඳ බීම

සූදුලූනු යනු විෂබීජ නසන ආහාරයකි. එහෙත් කොරෝනාවලට සුදුලූනු වතුර හොඳ යැයි කවුරුත් තහවුරු කරගෙන නැත. වෛද්‍ය පරීක්ෂණවලින් එවැනි දෙයක් තහවුරු වීද නැත. එහෙත් මේ මුහුණු පොතේ එහා මෙහා වන පෝස්ට්වල සඳහන් වන්නේ එවැනි දෙයකි. ඔබ අනවශ්‍ය ලෙස දිනපතා සුදුලූනු ආහාරයට ගතහොත් ඔබට බඩේ දැවිල්ල අවම වශයෙන් සතියකින් එකතු විය හැක. ඒ නිසා අනවශ්‍ය ලෙස සුදුලූනු කෑම කොරෝනාවලට බෙහෙතක් නොවන්නේය.

එසේම තවත් පිරිසක් දිනපතාම කොළකැඳ පානය කරන්න යැයි යෝජනා කරති. කොළ කැඳ ඖෂධීය ගුණ සහිත පානයක් වුවත් එක දිගට පානය කිරීම වකුගඩු ඇතුළු ශරීරයේ ඇතැම් අභ්‍යන්තර අවයව වලට හොඳ නැත. ඒ බව වෛද්‍යවරුන් පවා සහතික කර ඇත. ඒ නිසා අනවශ්‍ය ලෙස කැඳ බීම තුළින් කොරෝනා මර්දනය කළ හැකි බව අමූලික බොරුවකි.

ගංජා පානය වෛරසයට හොඳයිලු

කංසා පානය වෛරසයට ගුණ යැයි සමහරු පවසා තිබේ. ඒ තුළ වෛරස් නාශකයක් ඇති බවය. එහෙත් එය අසත්‍යයක් බව ඉතාලියේ මරණවලින්ම තහවුරු කර ඇත. එනම් ඉතාලිය යනු කංසා පානයට නීතියෙන් අවසර ලත් නගර ඇති රටකි. එහෙත් අද වනවිට කොරෝනා හැදුණු රටවල මරණ සංඛ්‍යාව වේගවත්ම වී ඇත්තේ මේ ඉතාලියේය. ඒ නිසා එයද එක්තරා බොරුවක් පමණි.

මේ ආකාරයෙන් හෙළ ඔසුවලින් සුව කිරීම්, දේව බලයෙන් සුවකිරීම්, ගස් ගල් වන්දනාවලින් වෛරසය මර්දනය කළ නොහැක. ඒ නිසා ඔබ කිසිවකුත් අනවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලට රෝගය වැළඳුණු පසුවත් ඊට පෙරත් ලක්විය යුතු නැත. එසේ කිරීමෙන් ඔබගේ ප්‍රතිශක්තිකරණය වැඩිවන්නේ නැත. ඒ වෙනුවට සැබෑ වෛරසයට මුහුණ දීමට අවස්ථාවද අහිමිවනු ඇත. විශේෂ ප්‍රතිශක්තියක් ඔබේ ශරීරයේ ගොඩනැගෙන්න්නේ නැත. අනවශ්‍ය ගොඩ වෙදකම් කිරීම කිසිදු ප්‍රතිපලයක් නොමැති බව සීයට සීයකින් තහවුරු වී ඇත.

මෙවැනි මිත්‍යා විශ්වාස සහ ඇදහීම් සත්‍ය නම් ලෝකය පමණක් නොව රටක් වශයෙන් අපට මේ කිසිදු ප්‍රශ්නයක් මතුවන්නේ නැත. කොරෝනා නොව ඕනෑම වෛරසයකින් අපිට ගැලවීමේ ශක්තිය බලය ඒ හරහා ලබාගැනීමට හැකිවනු ඇත. එසේ වුවහොත් ලෝකය තුළ ශ්‍රී ලංකාව පුදුම සහගත රටක් වනු ඇත.

කෙසේ වුවද, ඔබ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ භාවිත කරන කොත්තමල්ලි ටිකක්, වෙනිවැල් ගැට කෑල්ලක් තම්බා වතුර ටිකක් බීම යහපතකි. ඒ සියලු වෛරස් වලින් ආරක්ෂා වීමටය. එසේ නොමැතිව තුන් වේලටම ඒවා බීම තුළින්ද සෙතක් අත් නොවනු ඇත. ඒ නිසා ඔබේ ආරක්ෂාව සැලසෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් පමණි. සමාජ මාධ්‍ය ගොඩවෙදුන් ලබාදෙන වෛද්‍ය උපදෙස් ජීවිතය අමාරැවේ දමා ගැනීමකි.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00