2020 මාර්තු 14 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයට රටේ ඉහළම ලොක්කන් වගකිව යුතුයි

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 140

2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් වගකිවයුතු බව ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇතැයි එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා මොණරාගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත පාස්කු ඉරැදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය වසරේ මැයි මාසයේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි.  එම කාරක සභාව මගින් පාර්ශ්ව රැසකින් කරුණු සටහන් කරගන්නා ලද අතර එහි අවසන් වාර්තාව පසුගිය ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි. මේ පිළිබඳව කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ තම වාර්තාවෙන් එම ප්‍රහාරය සිදුවීමට බලපෑ අඩුපාඩු සියල්ල පෙන්වා දී ඇති බවයි. “මෙම බුද්ධි තොරතුරු ලැබී ඇත්තේ අප්‍රේල් මාසයේ මුල් සතියේ. එම අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පියවර ගත්තා නම් මෙම හානිය වළක්වා ගැනීමට අවකාශ තිබුණා” යැයි ඔහු කියා සිටියේය. “මෙයට හිටපු ජනාධිපති, අගමැති හා ආරක්ෂක අංශ සම්පූර්ණයෙන්ම වගකිව යුතුබව වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් හිටපු ජනාධිපතිවරයා වෙතින් අඩුපාඩු ගණනාවක් සිදුවී තිබෙනවා. හිටපු අගමැතිවරයාත් යම් දුරකට මෙයට වගකිව යුතුයි. එතුමාගෙන් සාක්ෂි සටහන් කරගත් අවස්ථාවේ කියා සිටියා පහුගිය කාලය පුරාම එතුමාට ආරක්ෂක මණ්ඩල රුස්වීම්වලට ආරාධනා නොකළ බව. මේ බව අපේ වාර්තාවේ පැහැදිලිව වාර්තා කර තිබෙනවා. විශේෂ කාරක සභාවක් පත්කිරීමේ අරමුණ එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි. වැරදිකරැවන්ට නඩු පැවරීමේ බලයක් අපට නැහැ.”

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා දෙකක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. ඉන් පළමුවැන්න පාර්ලිමේන්තුව මගින් පත්කළ තේරීම් කාරක සභා වාර්තාවය. දෙවැන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තා දෙකය. මින් පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20 වැනි දිනද දෙවැනි අතුරු වාර්තාව පසුගිය මාර්තු මාසයේද ජනාධිපතිවරයා වෙත ලබාදී තිබිණි... එහි අවසන් වාර්තාව ඉදිරි පරීක්ෂණවලින් අනතුරුව ඉදිරිපත් කිරීමට නියමිතය. 

2019 අප්‍රේල් 21 දින උදෑසන 8.45ට කොච්චිකඩේ සහ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අවසන් වූයේ දෙමටගොඩ නිවාස සංකීර්ණයේ පස්වරු 2.25ට සිදු වූ පිපිරීමත් සමගය. කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව 277 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මරණයට පත්වූවන් අතර විදේශිකයන් 40ක් සහ දරුවන් 45 දෙනෙකු සිටි බව වාර්තා විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 8ක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ සඳහන් කර තිබිණි.
ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, ආගමික අන්තාවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව, අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම හා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම, වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව, මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමුකළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර, දේශපාලකයන් / ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම, නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ එම නිර්දේශ විය.

මේ අතර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් පිළිබඳව සිදුවන විමර්ශන සම්බන්ධයෙන් තමන් කිසිදු අයුරකින් සෑහීමට පත් නොවන බව අගදරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් විවිධ අවස්ථාවල ප්‍රකාශ කළේය. “සැකසහිත තුර්කි ජාතිකයන් පිරිසක් මෙරටට පැමිණීමේ සිද්ධියක් පිළිබඳව එදා අප හඬ නැඟුවත් විදේශ අමාත්‍යංශය භාරව සිටි උදවිය එදා එම වගකීම පැහැර හැරියා. එම පුද්ගලයන් නව පක්‍ෂ පිහිටුවා යළිත් ඡන්දයට මුහුණ දෙන්නට සැරසෙනවා” යැයි උන්වහන්සේ පසුගියදා ප්‍රකාශ කළහ. “දැන් අලුත් අලුත් අයගේ නම් එළියට එනවා. තුර්කි තානාපතිවරයා මුලින්ම මේ පිළිබඳව කළ එළිදරව්ව යට ගහන්න උත්සාහ කර තිබෙනවා. එයිනුත් ඇතැම් නම් දැන් එළියට එනවා. ඒ අය සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කළ යුතුයි. එහෙත් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගන්න බව පැහැදිලියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා ඒ පිළිබඳව නිහඬයි. මට දැනගන්න ලැබුණා විවිධ ආකාරයට පොලිසියේ නිලධාරීන් මාරු කරන බවට. විශේෂයෙන්ම මෙම පරීක්ෂණවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්. ඒ සම්බන්ධයෙන් මගේ විරෝධය පළ කරනවා. රටේ හිටපු ලොකුම නායකයත් මේ සම්බන්ධයෙන් කිසිවක් නොකළ බව ප්‍රකාශ වෙනවා. මේ සම්බන්ධව දැන දැනත් ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවුණු රටේ ලොකුම නායකයන්ගේ නම් දැන් එළියට එනවා. ඉහළම පුටුවේ සිටි පුද්ගලයා වුවත් නිද්‍රෝපගතව සිටියා නම් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතුයි. මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට නම සඳහන් පුද්ගලයෙක් එක්තරා අපේක්ෂකයකු සමග එකට සිටිනවා. එවැනි පුද්ගලයන් ඈත්කර ජනතාව ඉදිරියට එන ලෙසට මම සෑම පක්ෂයකින්ම ඉල්ලා සිටිනවා. වෙනත් සිදුවීම් යට ගැහුවා වගේ මේ සිදුවීම යටගහන්න අපි ඉඩ තියන්නෙ නැහැ. අපි පාරට බහිනවා. පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ කොමිෂන් සභා වාර්තාව වගේම අතුරු කමිටු වාර්තා සියල්ලම රටේ ජනතාව හමුවේ ජනාධිපතිතුමා ප‍්‍රකාශයට පත්කළ යුතුව තිබෙනවා.” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.

2016 සහ 2017 යන වසරවල මෙරටට පැමිණි සැකයට තුඩුදුන් තුර්කි ජාතිකයන් 158 දෙනා අතරින් 14 දෙනකු මෙතෙක් රටින් බැහැරව නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වී තිබේ. මේ බව අනාවරණ වූයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර පාලක තුෂාර කුමාර රූපරත්න මහතා එම කොමිසම හමුවේ ඉදිරිපත් කළ සාක්ෂිවලිනි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා