2020 මාර්තු 14 වන සෙනසුරාදා

ලොව පුරා ආර්ථිකයට රතු එළියක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වූ සූර්යා තමාට මිත්‍ර රාශි භවනක් වූ බ්‍රහස්පතිට අයත් මීන රාශියට 2020 මාර්තු මස 14 වැනි ශනි දින දවල් 11 පසු වී විනාඩි 5ට පිවිස අප්‍රේල් මස 13 වැනි සඳු දින රාත්‍රී 8 පසුවී විනාඩි 23 දක්වාම ගමන් කරනු ඇත. රවි මීන රාශියෙහි ගමන් කරන මෙම වකවානුව තුළ භූමිය ආශ්‍රිතව සියලු කටයුතු කිරීම නැවැත්විය යුතුය. නිවාස ඉදිකිරීම්, පදිංචි වීම්, ව්‍යාපාරික ස්ථාන ආරම්භයට ශුභ නොවන කෝණ මාසයක් නිර්මාණය වනු ඇත.

රවි මීන රාශිගත වීම තුළින් අප රටට ඇති කරන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී යම් යම් හේතු මත අතිරේක වියදමක් රජයට දැරීමට සිදුවන බව සඳහන් කළ යුතුය.

මෙම වකවානුව තුළ රජයට එතරම් යහපත් ඵල අත් නොවන අතර විසඳිය නොහැකි ප්‍රශ්නවලට මුහුණදීමට රජයට සිදුවනවා ඇත. භූමිය ආශ්‍රිතවද සිදුවන විපත්වල වර්ධනයක් ද පෙන්නුම් කරයි. රට තුළ ප්‍රසිද්ධ උසස් ප්‍රභූවරැන්ට අයහපත් වන මාරක කාලයක් ද වේ. රජයේ හෝ පෞද්ගලික අංශයේ ගබඩාවක් හදිසි ගිනි ගැනීමකට ලක්වනු ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී

බලවත් රාජ්‍ය නායකයන්ට මහජන අප්‍රසාදය හා දෝෂාරෝපණ එල්ලවන කාලයක් වේ. නාවික කටයුතුවල නිරත අයට මෙන්ම නාවික හමුදාවට ද අයහපත් වන අතර රාජ්‍ය ප්‍රධානියකුට මාරක ද පෙන්නුම් කරයි. ජාතික ආර්ථිකය පහළ බසින කාලයක් වන අතර යාත්‍රාවක් හදිසි ගිනි ගැනීමකට හෝ පිපිරීමකට ලක්වීමකටද බොහෝ ඉඩ ඇත.

මේෂ - සතුරන් මර්දනය වේ

විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර ඔබට එරෙහි සතුරැ බලවේග මර්දනය කරගත හැකි කාලයක් වේ. ඇස්වල පීඩාවක් මතුවන කාලයක් ද වේ.

වෘෂභ - අතපසුවීම් බහුලයි

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර ද අත්වන කාලයක් වේ. ඔබගේ යම් යම් කටයුතුවල අතපසුවීම් සිදුවන බැවින් අවධානයෙන් යුක්තව කටයුතු කරන්න.

මිථුන - ප්‍රධානියෙක් වෙයි

තනි මතයට අනුව කටයුතු කරන කාලයක් වෙයි. ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වන අතර රැකියාවේ පැවති ප්‍රශ්න මගහැරී යයි. අනෙකුත් සේවකයන් අතර ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමට ද හැකිවන කාලයක් වේ.

කටක - සිතට සහනය

උත්සහවන්තව කටයුතු කරන කාලයක් වන අතර දේශපාලනයේ නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. සිතේ සහනය අත්වන කාලයක් ද වේ. සාර්ථක කෙටි ගමන් ද යෙදෙන සමයකි.

සිංහ - ලේ විෂවීම් රෝග

ඔබගේ උත්සාහයේ තරමට ඔබට ඵල ලබාගත නොහැකි වන කාලයක් වන අතර ඔබගේ කලත්‍රයාගෙන් ඔබට යම්කිසි දෙයක් ලබාගත යුතු නම් එම දේ ලබාගත හැකි වන්නාවූත් කාලයක් වේ. ලේ විෂ වීමෙන් රෝග පීඩාවක් ඇතිවනු ඇත.

කන්‍යා - සමගියට බාධා

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර පවුල් දිවියේ ද සමගියට බාධාවීම් ඇති වනවා ඇත. සැඟවුණු සතුරු පීඩා වර්ධනය වන අතර සෙම් ආශ්‍රිත පීඩාවක් ගෙන දෙන කාලයකි.

තුලා - අක්ෂි පීඩා

ඔබට පැවති සතුරු උපද්‍රව පරාජය කර ගත හැකි කාලයක් වෙයි. හදිසි ශරීර පීඩා ඇතිවන සමයක් බාධා සැලකිය යුතුය. ඔබගේ උත්සාහයේ තරමට ඵල අත්කර ගත නොහැකි වන අතර ඇස්වල පීඩා ද ගෙන දෙනවා ඇත.

වෘශ්චික - දේශපාලනයට හොඳයි

ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ බාධා ඇතිවීම් ද ප්‍රමාද ගති ද ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ශූභ ඵල ගෙනදෙන අතර විසිතුරැ දේවල් මිලදී ගන්නාවූත් කාලයක් ද වේ.

ධනු - ප්‍රශ්න මගහැරේ

පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු කාලයක් වේ. බාහිර ප්‍රශ්න තමා වෙත එන කාලයක් ද වනු ඇත. සිතේ සහනය අඩුවන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න ද මගහැරී යන කාලයක් ද වනු ඇත.

මකර - සාර්ථක කෙටි ගමන්

සන්නිවේදන හා තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර සාර්ථක කෙටි ගමන් යෙදෙන කාලයක් ද වේ. යම් යම් කටයුතු අතපසුවීම් ඇතිවන කාලයක් වන බැවින් අවධානයෙන් යුක්තව සිටින්න.

කුම්භ - ආර්ථික අපහසුතා

ඔබගේ උත්සාහය මත ඔබට ලබාගත හැකි ඵලය අඩුවන කාලයක් වන අතර ආර්ථික අතපසුතා ද ඇතිවනවා ඇත-. මෙම වකවානුව තුළ අවිවාහක ඔබට ඉදිරිපත් වන මංගල යෝජනාවලට ඉක්මන් තීරණ ගෙන ස්ථිර කරගැනීම් නොකළ යුතු බව සැලකිය යුතුය.

මීන - උසස් වීම් හිමි වේ

විශාල වශයෙන් මුදල් යොදවමින් කටයුතු නොකළ යුතු කාලයක් වන අතර විශාල පාඩු ඇතිවිය හැකි සමයකි. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර උසස්වීම් ලැබිය හැකි කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල