2020 මාර්තු 14 වන සෙනසුරාදා

සෙනසුරු දසාව ලැබූ ජල ගැලුම් නිම්නයේ පුරාවස්තු

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතරෙන් එකකි. 1984 අගෝස්තු 7දා පිහිටුවන ලද එය මහවැලි ගංගාවේ පිටාර නිම්නය දෙපස සෝමවතිය වනෝද්‍යානයට යාබදව පිහිටුවා තිබේ. මෙම වනෝද්‍යානය පොළොන්නරැව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර විශාලත්වය හෙක්ටයාර් 17350 කි. මහවැලි ගංගාවේ ජල පෝෂක ප්‍රදේශය හා පිටාර තැනිතලාව ආරක්ෂාව කිරීම මෙය පිහිටුවීමේ එක් අරමුණකි. පසුගිය කාලය පුරාම මෙම වනෝද්‍යානය විනාශයට පත් විය. එහෙත් වනජීවී බලධාරීන් හෝ මැති ඇමැතිවරු ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගත් බවක් පෙනෙන්නේ නැත.

පිටාර තැන්නේ පිහිටා විල්ලු ආරක්ෂා කරනු වෙනුවට ඒවා වගාවන්ට යොදාගැනීම ගැන නිතර වාර්තා වේ. ඒ සඳහා දේශපාලන හස්තවල බලපෑම ද තිබෙන බව වාර්තා වේ. ඕනෑගම, අලිමුල්ල, වෙහෙරගොඩයාය ආදී ප්‍රදේශවල අක්කර විශාල ගණනක් නීති විරෝධී ලෙස වී වගාවට යොදාගෙන තිබේ. දිවුලානවිලට අයත් මාණික්කම්පට්ටිය එලෙස අස්වැද්දූ තවත් ප්‍රදේශයකි.

පසුගියදා වාර්තා වූයේ ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ පිහිටා තිබූ අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබක් පිරිසක් විසින් ඩෝසර් කර කුඹුරැ වගාවට යොදාගැනීමක් පිළිබඳවයි. ඒ ලංකාගම සිංහරාජගම වෙට්ටකාඩු ප්‍රදේශයෙනි. ඕනෑගම මැදමළුව මහා විහාරාධිපති නිකපිටියේ චන්දිම හිමියෝ පවසන්නේ මෙම ප්‍රදේශය විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බවත් ඉපැරණි ආරාම, දාගැබ් රාශියක් පවතින බවත්ය.

එම පූජනීය ස්ථාන විනාශ කර නිදන් හාරලා. වගා කිරීමට සකස් කර තිබෙන භූමියේ තිබෙන පැරණි දාගැබ අසල තිබී පැරණි කාසි, ගඩොල්, ඖෂධ ඇඹරැම් ගලක්, සඳකඩ පහණක කොටසක් හමුවුණා. උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ තිබෙන විශාල කුඹුක් ගස් වැනසීමට ගස් මුලට ගිනි තබා තිබීම සුලබ දැකුමකි. අනවසර කුඹුරැ ගොවීන්, දඩයම්කරුවන් සහ නිදන් හොරු මේ ප්‍රදේශයේ රජ කරන බව පරිසරවේදීහු පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මහවැලි ගඟේ ජලය වෙට්ටකාඩු අමුණෙන් ලබාගෙන ඒ ජලයෙන් කුඹුරැ වගා කරන අනවසර වගාකරැවන් විසින් කුඹුක් ගස් විනාශ කර දැව බවට පත්කිරීම දිගු කලක පටන් සිදුකෙරෙන බවයි. 

ප්‍රේරණ කලාපයේ සිදුකරන දාගැබ්, පුරාවිද්‍යා නටබුන් විනාශය ගැන යහපාලන රජයට දැනුම් දුන්නා. වර්තමාන රජයේ බලධාරීන්ටත් පැවසුවා. ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග අරන් නෑ. චන්දිම හිමියෝ පවසති. මේ පිළිබඳව සුංගාවිල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් පැවසුවේ උසස් නිලධාරීන් දැනුවත් කර නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි. 

මෙම වනෝද්‍යානය පුරාණ රාජධානි සමයේ දී සැදැහැවත් බෞද්ධ ජනතාවක් ජීවත් වූ භූමි ප්‍රදේශයක් බව එහි බහුලව හමුවන නටබුන්වලින් පැහැදිලි වේ. සෝමවතිය මෙන්ම මෙම වනෝද්‍යානය ද සංචාරකයන් සඳහා විවෘත කර නොමැත. එය ඉහළ ජෛව විවිධත්වයකින් සහ සංවේදී පරිසර පද්ධති රුසකින් යුක්තය. විල්ලු 33කින් උද්‍යානය සමන්විත වේ. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත, පුරාවස්තු ආඥා පනත ආදී අණපනත් පැවතුණද, අතීත උරුමය විනාශ කරන්නන්ට ඒවා අදාළ වන බවක් නොපෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන්ට මේ විනාශය වැළැක්වීම අතිශයින් අපහසුය. සීමිත වනජීවී නිලධාරීන්ට වන විනාශය වැළැක්වීම අර්බුදකාරී ගැටලුවකි. මේ සඳහා ගත් පියවර පිළිබඳව අප විමසුවේ පොළොන්නරැව සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඕ.ආර්. ජයතිලකගෙනි.

පැරණි ගඩොල් ගොඩැල්ලක් බැකෝ එකකින් හාරලා කියලා ආරංචියක් ආවා. මම ඒක නිරීක්ෂණය කිරීමට ගියා. එම ස්ථානයේ සිද්ධිය ගැන වාර්තාවක් හදලා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට යැව්වා. ඊටපසු සිදුවන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් තම අත්සන යෙදූ ලිපියක් පොලීසියට යැවීමයි. ඉන් අනතුරැව පොලීසියට ඒ ගැන ඉදිරි කටයුතු කිරීමට සිදුවෙනවා.

මෙම ප්‍රදේශවල ඇවිද පුරාවස්තු ගවේෂණය කළ එල්ලාවල මේධානන්ද නාහිමියන්ට අප කතා කළේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දැනගැනීමටයි.

සෝමාවතිය පිහිටා තිබෙන්නේ හීන් ගඟ හා මහවැලි ගඟ අතරේ. හවිටක සරු කියලා සෙල්ලිපිවල සඳහන් වන්නේ මේ ප්‍රදේශය ගැන. එම ප්‍රදේශයේ විල්ලු පිරිලා. හැමතැනම කුඩා දාගැබ් හා නටබුන් පිරිලා. සුංගාවිලට නුදුරින් ටිකක් ලොකු දාගැබක් තිබෙනවා. මේවා ක්‍රි.ව. 2 – 3 සියවස් වනතුරැ සංවර්ධනය වූ නටබුන්.

ගඟෙන් එගොඩ ප්‍රදේශය අයිති වන්නේ රැහුණු රාජ්‍යයට. කන්දකාඩු, තෝනිගල, කුබ්බනාච්චි, ඌරඩිකුලම් නටබුන්, පන්සල්කන්ද මේ ප්‍රදේශයේ නටබුන් තිබෙන ස්ථාන කිහිපයක්. මේ නටබුන් වනගතව තිබෙන්නේ. මේ ප්‍රදේශවල ගව පට්ටි හා දුම්කොළ වගා තිබෙනවා. සමහර මුස්ලිම් අය නටබුන් විනාශ නොකළට ගොවිතැන් කරන විට ඒවා විනාශ කරන බව පේනවා. නටබුන් නොපෙනෙන ලෙස විනාශ කිරීමක් සිදුවෙනවා. වෙට්ටකාඩුවලත් ඒකම තමයි සිදුව තිබෙන්නේ. භයානක විදිහට විනාශය සිදුවෙනවා. දැඩි පියවරක් නොගතහොත් අපේ පැරණි නටබුන් මොනවත් ඉතුරැ කරන එකක් නෑ. මම ගවේෂණය කරන කාලේ හමුවන හැම නටබුන් ස්ථානයක් ගැනම වාර්තා කළා. සමහරවිට රජයේ නිලධාරීන් පවා මේවා ගැන දන්නෙ නෑ. හමුදා කඳවුරැ තිබෙන කාලෙ මේවා විනාශ කිරීමට කවුරැත් ඉදිරිපත් වුණේ නෑ. නමුත් කඳවුරැ ඉවත් කළ පසුව විනාශය යළිත් ආරම්භ වුණා.

අහිංසක ගැමියකු දර ටිකක් කඩාගැනීමට, ජීවත්වීමට මාළුවකු අල්ලාගැනීමට ගිය විට අල්ලාගන්නා වනජීවීය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙට්ටකාඩු විනාශය ගැන තවමත් කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන නැත. ඒ අතර නටබුන් විනාශ කරමින් ගොවිතැන ද සිදුවේ.

මෙය ජල ගැලුම් නිම්න වනෝද්‍යානයට මෙන්ම සෝමවතී වනෝද්‍යානයට ද පොදුය. එමෙන්ම ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ නීති විරෝධී ගවගාල් රාශියක් ද පවතී. ගවයන් බහුලව තණ ආහාරයට ගැනීම නිසා වනයේ දැවැන්තයා වන අලින්ට ආහාර අහේනියක් ඇතිවේ. මේ නිසා අලි ගම්වැදීම සිදුවේ. විල්ලු 33කින් සමන්විත ජල ගැලුම් නිම්නය මෙලෙස විනාශයක මුවදොර සිටින්නේ පරිසරය සුරැකීමට බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම ප්‍රතිඥා දෙන සමයක වීම කනගාටුවකි.

 කුසුම්සිරි විජයවර්ධන

    පසුබිම් පුවත් සේයාරූ: මනම්පිටිය නිමල් ජයරත්න

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00