2020 මාර්තු 07 වන සෙනසුරාදා

ලංකාවට ආ අමුතු වසංගත!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1040

ලෝකය මේ දිනවල සසල කරමින් වසංගතයක් බවට පෙරළෙමින් ඇත්තේ කොවිඩ් 19 මාරකයයි. තාමත් ලංකාවට භයානක අනතුරුදායක බවක් පෙන්වූයේ නැතත් මේ රෝගය රටට ඇතුළු වුවහොත් සිදුවිය හැකි ඛේදවාචකය සුළුපටු නොවේ. නමුත් ලංකාවේ වසංගත රෝග පැතිරීමේ ඉතිහාසය සොයා බලන විට මෑතක සිට දරුණු ව්‍යාප්තියක් දක්වන ඩෙංගු වසංගතය හැරුණු විට එබඳු මහා විනාශයන්ට මුල් වී ඇත්තේ රෝග අතළොස්සකි. නමුත් ඒවායින් සිදුවූ හානියේ නම් අඩුවක් නැත.

අපේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පෙරැළිකාර නවකතාව යුග පෙරැළියක සාක්ෂි කැටි කොටගත් ඓතිහාසික විවරණයකි. එහි එන ජිනදාසගේ චරිතය රටේ පැතිර ගිය මහා වසංගතයක් ගැන සාක්ෂි සටහන් කරයි. සිංහලේ වෙළෙඳාමට යන ජිනදාස එකල පැතිරෙන උණ වසංගතයක ගොදුරක් බවට පත්වෙයි. මේ වසංගතය සෑබෑ ලෙසම මෙරට දහස් ගණනකගේ දිවි බිලිගත් මාරකයකි. ඒ මැලේරියා වසංගතයයි.

එක්දාස් නවසිය තිහ දශකයේ ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහෙමින් වසංගත රෝගයක් වූ මැලේරියාව රට පුරා පැතිර ගියේය. එය එකල සමාජ දේශපාලනික හා ආර්ථික වශයෙන් මහා අලකලංචියක් රට තුළ ඇති කළේය. ඒ කෙබඳු අලකලංචියක් ද යන වග එකල පත්තර විස්තර බැලූ විට පෙනී යයි.

‘‘රෝග බය අඩුවීමේ කිසිම ලකුණක් පෙනෙන්නට නැත. ආරෝග්‍ය ශාලාව ලෙඩුන්ගෙන් පිරී තිබේ. හුස්ම කටක් ගැනීමටවත් ඉඩක් නැත. ලෙඩුන්ගෙන් වැඩි දෙනා ගර්භනීහුය. මැලේරියාවෙන් දුර්වල වූ මේ ස්ත්‍රීන් බොහෝ දෙනකුට නියම කාලයට ප්‍රථමයෙන් දරුවෝ ලැබෙති. ශරීර දුර්වලත්වය නිසා රාත්තල් දෙක තුනකට වඩා බර නැති බිළිඳුන් සමූහයක් මේ දුර්භාග්‍ය කාලයෙහි මෙලොවට බිහිවන බව පෙනේ...”

“සමහර ළමයි ආරෝග්‍ය ශාලාවේ ඉස්තෝප්පුවල ද සමහරෙක් මව්වරුන්ගේ ඇඳන් යට ද වැතිර සිටිති. පිරිමි වාට්ටුවල ඇඳන් මතුපිට කෙඳිරිගෑමට පවා ශක්තිය නැතිකමින් හැලහොල්මනක් නැතිව නිදා සිටින පියවරැන්ගේ දර්ශනය ඉතා සංවේගජනකය. ඔවුන්ගෙන් සමහරෙක් අන්තිම හුස්ම හෙළති. නමුත් මේ කිසිවක් නොදත් සදහටම මව්වරුන්ගේ ආශ්‍රයෙන් ඉවත් වූ අහිංසක දරු පැටව් පණ අදින පියවරුන්ගේ ඇඳන් යට එළී තිබෙන පැදුරු උඩ ඒ මේ අත පෙරෙළෙමින් හඬති. අහෝ! මේ දරුවන්ට යන කල දසාව කුමක්ද?...”

මෙබඳු විස්තර එදා පත්තර පිටු පුරා වාර්තා කර තිබුණි. එබඳු එක් වාර්තාවකට අනුව සති හයක් තුළ ළමයින් 3,500 ක් මියගොස් තිබුණි. තවත් වාර්තාවකට අනුව කුරුණෑගල 5,500 ක් මියගොස් තිබුණි.

“නගරය හැර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය දෙමාසය තුළ මරණ 5,500 ක් සිදුව තිබේ. මරණ සංඛ්‍යාව මෙසේයි.

                                             නොවැම්බර්           දෙසැම්බර් 

වෑඋඩ විල්ලිහත්පත්තුව                387                       1400
කටුගම්පොළ හත්පත්තුව               255                      1100
වන්නි හත්පත්තුව                         152                       382
දේවමැදි හත්පත්තුව                      212                       592
දඹදෙනි හත්පත්තුව                       464                       722..”

මේ අන්දමේ වාර්තා එකල බහුල විය. මැලේරියා වසංගතය සමඟ සටන් කිරීමට ලංකා රක්ෂක භට හමුදාවේ සේවය දිගටම කැමති බව යුද හමුදා නායක නිලධාරීන් විසින් ආණ්ඩුවට දන්වන ලද නමුත් සෞඛ්‍ය පාලකයන් එය බාරගෙන නැති බවත් වාර්තා වේ. යුද හමුදාවත් මැලේරියා වසංගතයට එක්වීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වීමත් වෛද්‍ය නිලධාරීන් එයට එදිරිවීම ගැන පුවත්පත් වාර්තාකරුවෝ අප්‍රසාදයෙන් කරුණු දැක්වූහ. ගංගාවල මදුරුවන් උපදනා ස්ථානයන් මහත් භීතියට හේතුවන පරිදි වැඩි වී ගෙන එන බැවින් මදුරු පිලවුන් සහිත දිය කඩිතිවල තෙල් ඉසීමේ වැඩට හමුදාව යොදාගැනීම මැනවැයි ඔවුහු විශ්වාසය පළ කළහ. එකල මැලේරියා මර්දන ව්‍යාපාරයේ ශාස්ත්‍රීය උපදේශක ලෙප්ටිනන්ට් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්. ක්ලෙමිෂා, වෛද්‍ය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ දොස්තර බ්‍රියර් ක්ලිප්, උප අධ්‍යක්ෂ දොස්තර ඇස්.ටී. ගුණසේකර, මැලේරියා නාශක ව්‍යාපාරයේ සුපිරිඩැන්ඩන්ට් දොස්තර කේ.ජේ. රස්ටම්ජ් සහ විශේෂ ප්‍රතිෂ්ඨාධාර කොමසාරිස් එච්.ඊ. නිව්න්හැම් යන මහත්වරුන්ය. පත්තර විස්තර අද මෙන්ම රට තුළ කෙතරම් ගින්නක් අවුළුවාලන්නට සමත් වූවාද යත් වෛද්‍ය සුපිරිටෙන්ඩන්ට්වරයා ප්‍රවෘත්ති පත්‍රවලට කිසිදු තොරතුරක් නොදෙන ලෙස කාර්යාලීය මණ්ඩලයට චක්‍රලේඛ පවා යවා ඇත.

1930 මුල් කාලයේ හා 1934 පසු කාලයේ ලංකාවේ මැලේරියා වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වුණි. එය ඉතිහාසයේ දරුණුතම මැලේරියා වසංගතයයි. තරුණ, මහලු, බාල වැසියෝ දහස් ගණනින් මිය ගියෝය. සෞඛ්‍ය පහසුකම් සැලසීම, ආහාර ඇඳුම් පැළඳුම් සැපයීම හා ආර්ථික පුනරුත්ථාපනය කිරීම ආදී කටයුතු ජයතිලක වෙත පැවරිණි. එවකට ඔහු ස්වදේශීය කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. එකල පිහිටවූ මැලේරියා අනාථාධාර අරමුදලට ආධාර ලබාගැනීම සඳහා මැලේරියා මර්දන කොඩි දිනයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳ නිවේදනයක් ස්වදේශ කටයුතු භාර ඇමැති ඩී.බී. ජයතිලක මහතා නිකුත් කර ඇත. මේ කාල පරිච්ඡේදයේ දී සර් ඩී.බී. ජයතිලක මහතා ද මැලේරියා උණ වැළඳී අධික ලෙස දුර්වල වී ඔහුගේ සාහිත්‍යමය කටයුතුවලට පවා බාධා ඇති වූ බව සඳහන්ය. එහෙත් විවේකය නොතකා කයිරෝහි පැවැත්වූ සම්මේලනයට සහභාගී වූ ඔහුට යළිත් මැලේරියාව වැළඳුණි. එසේ තිබියදී ඔහු පෞද්ගලිකව රෝගීන් බලන්නට ගියේය.

1934 වසරේ දෙසැම්බර් මුල් දෙසතියේ බෝම්බයක් පිපිරුණා සේ රාජ්‍ය මන්ත්‍රණ සභාව දෙදරුම් කා ගිය ප්‍රවෘත්තිය වූයේ මැලේරියා උණ පැතිර යාම බව මහාචාර්ය තිස්ස කාරියවසම් තම කෘතියක කියා ඇත. මරදානේ පන්සල පාරේ ආනන්ද ගිරි හි සූරියමල් ව්‍යාපාරය මේ අවස්ථාවේ ජනතා සේවයට සම්බන්ධ වන ආකාරය සලකා බැලීමට එක් වූහ. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුලසුනේ සිටියදී සූරියමල් ව්‍යාපාරය ඉටු කළ යුතු කාර්යයන් එදා මෙසේ ගොනු කර ගත්හ. මැලේරියාවෙන් තදින් පීඩා විඳින ප්‍රදේශවල සහන කටයුතු කිරීම, එවැනි ගම්වල නිවෙසකට රුපියල් 250 ක් වටිනා ආහාර ලබාදීම. එදා වැඩ කටයුතු භාරගත් පිරිස මෙසේය. රොබින් එල්. රත්නම්, ඊ.එච්. ද අල්විස් මෙනෙවිය, එස්. ද එස්. කල්දේරා මහත්මිය, පිලිප් රෝයි, වී.එච්. ගුණරත්න, ආතර් සී. වීරසේකර, වී. ගමගේ මෙනෙවිය, වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ සහ ටෙරන්ස් එන්. ද සිල්වා, මැලේරියා රෝගීන්ට සහනයක් ගෙන ඒමට කැරොල් ගායනයක් අර්නස්ට් ද සොයිසා මහත්මිය සහ ජේ.සී.එම්. ප්‍රනාන්දු සංවිධානය කොට ඇත. මැලේරියා සහන අරමුදල රුපියල් 18856.89 ක් විය. එකල මේ මැලේරියා වසංගතයෙන් මියගිය ලාංකිකයන්ගේ  ගණන එක් ලක්ෂ විසිපන්දාහකැයි අනාවරණය වී ඇත. මැලේරියාවට ගොදුරු වූ තුන් කෝරළයේ ජනතාවට කෑම බීම සහ බෙහෙත් ද රැගෙන ඇන්.එම්. ඇතුළු පිරිස ගෙයක් පාසා ගියහ. කඳු හෙල් පල්ලම් ආදී බාධාවන් පමණක් නොව මුදලි මුහන්දිරම්වරුන්ගේ රුවුම් ගෙරවුම් ද මැඩගෙන ගෙයක් ගෙයක් පාසා ගොස් තමනට සාත්තු සප්පායම් කළ කඩවසම් තරුණයා කෙරෙහි සිත් බැඳගත් තුන් කෝරළයේ ජනතාව ඇන්.ඇම්. හැඳින්වූයේ ‘පරිප්පු මහත්තයා’ යන ආදරණීය නමිනි.

එකල පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්. පෙරේරා, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ යන පිරිස කූඩැල්ලන් කඩ කඩා ගෙයක් ගෙයක් ගාණේ ගොස් හාල්, පරිප්පු, මාමයිට්, සීනි, තේ කොළ බෙදා දුන්හ. ගෙවල්වල හිටපු ලෙඩුන්ට කැඳ උයා දුන්හ. ඒ දවස්වල ඒ කණ්ඩායමට නතර වෙන්නට තැනක් තිබුණේ ද නැත. හැමදාම උදේට පැමිණ ගම්වල ඇවිද ලෙඩුන්ට සාත්තු සප්පායම් කර නැවත හැන්දෑවට පිටව ගොස් පහුදා උදේම ආපසු එන ඔවුනට සමහර දවස්වල කුසගින්නේම සිටින්නට වූ බව වාර්තාගතය.

මැලේරියාව සාදන්නේ ප්ලස්මොඩියම් ෆැල්සිපරුම් (Plasmodium falciparum) නමැති පරපෝෂිතයෙකි. මෙම මාරාන්තික පරපෝෂිතයාගේ වාහකයා වන්නේ ඇනෝෆිලිස් (Anopheles) මදුරුවාගේ ගැහැනු සතාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්ෂිකව ලොව පුරා මිලියන 200ට වැඩි පුද්ගලයන් පිරිසකට මැලේරියාව වැළඳේ. ඒ අනුව 2016 දී පවා මැලේරියාව හේතුවෙන් මිලියන භාගයක් පමණ මියගොස් තිබේ. ඛේදවාචකය නම් මියගිය අයගෙන් බහුතරය වයස අවුරුදු පහට අඩු දරුවන් වීමය.

අපට අසන්නට ඇති සුබ ආරංචිය නම් වසර 2000 පමණ වන විටද රෝගීන් ලක්ෂ 2 ක් තරම් සංඛ්‍යාවක් වාර්තා වුණු නමුත් මර්දන ව්‍යාපාරය අනුගමනය කරන ලද සාර්ථක සෞඛ්‍ය උපක්‍රම සහ දැනුම්වත් කිරීම් නිසා, වසර 2012 සිට මේ වන තෙක් කිසිදු රෝගියකු ලංකාවෙන් හමු නොවීමය. ඒ නිසා ලංකාව මැලේරියාව තුරන් කළ රටවල් අතරට ඇතුළත් කර ඇත.

වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් හා ඔහු දියණිය ක්‍රිස්ටීන් විල්සන් ලියන ලද ඓතිහාසික කාරණා ඇතුළත් ‘වීර දිවයින’ Brave island නවකතාවේ කබ්රාල් නම් අපූරු චරිතයක් හමුවෙයි. ඔහු ඒ කාලයේ උතුරැ නැගෙනහිර පුරා පැතිර යන වසංගතයකින් බේරී සිටින්නේ රණවරා මල් පානයට පින් සිදුවන්නටය. මේ වසංගතය කොළරාවයි. ලන්දේසි පාලන යුගයේ මුල පැතිර ගිය මේ වසංගතය මුළු නැගෙනහිරම පාළුවට හැර දමයි. කොළරාව යනු Vibrio cholerae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ‍ආන්ත්‍රික රෝගයකි. අප රටේ ද දැනුම් දිය යුතු රෝග යටතට ගැනෙන ප්‍රධාන වසංගතයකි. මේ වන විටත් ලෝකය පුරා වසරකට මිලියන 3-5 ත් අතර ගොදුරු වන 130,000 ක් පමණ බිලිගන්නා උවදුරකි. මෑතකදී 2010 දී පවා වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කළ මෙය දියුණු රටවලින් වාර්තා නොවේ. ශතක දෙකකට ආසන්න කාලයේ ලොව පුරා හත් වතාවක් වසංගතයක් ලෙස පැතිර යමින් මිලියන ගණනක් බිලිගත් රෝගයකි මේ.

වසර 1918 කාලයේ දී ලොව පුරා අද මෙන්ම වෛරස රෝගයක් පැතිර ගියේය. මේ වසංගතය 2009 දී හිස එසැවූ ඌරු උණට නෑකම් කියන්නකි. එයින් ලෝකය පුරා මිලියන 30ත් 100ත් අතර මිනිසුන් ගණනක් මරණයට පත් වූ බව වාර්තාගතය. එකල පැවති පළමුවැනි ලෝක සංග්‍රාමයෙන් මියගිය ගණන මිලියන 20 ක් පමණ වූ නිසා එය ඉතා බරපතළ අවදානයක් දිනා ගත්තේය. මෙය එකල හැඳින්වුණේ ස්පාඤ්ඤ උණ නමිනි. මෙය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකි. එදා මෙරට ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරියා වූ ජී.ජේ. රදර්ෆර්ඩ්ගේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි මෙම ඉන්ෆ්ලුවන්සාව වැළඳුණු මෙරට පළමු රෝගීන් හඳුනාගනු ලබන්නේ 1918 ජූනි මාසයේදීය. ඒ රෝගීන් වරායේ යාත්‍රා ආශ්‍රිතව සේවය කරන්නවුන්ය. ඒ නිසා වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිසි බව නිගමනය කර ඇත. මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇත්තේ සැප්තැම්බරයේ සිටය. වසර අග මේ අගය ඉහළම අඩියකට පැමිණ ඇත. ඒ සමයේ රෙජිස්ට්‍රාර් ජනරාල් වාර්තාව ඇතුළු සංඛ්‍යාලේඛන අනුව මරණ ගණන 41 – 916 – 91600 තරම් ඉහළය. ඇත්තටම ‍මෙම ඉන්ෆ්ලුවන්සාව නිසා කොපමණ පිරිසක් මියගියේ ද යන්න අපැහැදිලිය. මේ රෝගයට ලක්ව මියගිය වැඩි දෙනා ගැන වාර්තා වී ඇත්තේ නිව්මෝනියාව සහ වෙනත් සංකූලතා  ලෙස  වීම එයට  හේතුව විය හැකිය.. එමෙන්ම එදවස දුෂ්කර පෙදෙස්වල සිදු වූ මරණ වාර්තා වී ඇත්තේ අඩුවෙනි. කෙසේ වෙතත් ඒ කාලයේ ප්‍රකාශිත සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නේ 1918 හා 1919 වර්ෂවල මරණ අනුපාතිකය "ලංකාවේ තනි වසරක් තුළ සිදුවූ ඉහළම" කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. එය 1917ට සාපේක්ෂව 170 ගුණයක වැඩි වීමකි. 1919 දීද එය ඉහළ ගොස් තිබේ. ලැන්ග්ෆොර්ඩ් සහ ස්ටෝරේට අනුව 50,000 කි. ජොන්සන්ට අනුව 91,600 කි. 1921 ජන සංගණන වාර්තාවට අනුව මරණ ප්‍රමාණය 57,000 ක් පමණ විය. එය එකල මෙරට සිටි ජනගහණයෙන් සියයට 1කට වඩා අධිකය.

වසූරිය ද එක්තරා සමයක රට කැළඹූ එබඳු මාරකයකි. එහිදී අති වේදනාකාරී සැරව ගෙඩිවලින් සිරුරම වැසී යයි. මේ කරැමක්කාර ලෙඩෙන් විසි වැනි සියවසේ මුල ලෝකය පුරා මිලියන 300කට වැඩි පිරිසක් මියගිය බව වාර්තාගතය. ලංකාවේ ලන්දේසි යුගයේ පැතිර ගිය මේ වසංගතය ගැන ඓතිහාසික කතාවට ලංකාවේ පළමු අපෝස්තුළුවරයා වන ජුසේවාස් පියතුමන් ද සම්බන්ධය. 1697 සැප්තැම්බර් මාසය වන විට නුවර පළාතේ වසූරිය වසංගතය පැතිර ගොස් තිබේ. එකල බෙහෙත් නොමැති මාරාන්තික රෝගයක් වූ වසූරිය වැළඳෙන අය සඳහා තිබූ එකම පිහිට අකමැත්තෙන් වූවත් අදාළ රෝගියා කැලේට ඇද දැමීමය. එකල තමුන්ටත් බෝවෙයි කියන බයට වසූරිය හැදිච්ච ගෙයක් අහළ පහළකින්වත් මිනිස්සු ගියේ නැති බව වාර්තාගතය. කැලේදී එක්කො ලෙඩාව සත්තු කා දමන අතර නැතිනම් ලෙඩා බඩගින්නෙම රෝගයෙන් දුක් විඳ මැරී යයි. කන්ද උඩරටට ඇතිව තිබුණේ එබඳු බොහෝ දුක්ඛිත තත්ත්වයකි. වසංගතය දරුණු වෙද්දී තැන තැන මිනිස්සු වැටී මැරෙන තත්ත්වයටම නුවර පත් වුණාලු. ඒ සමයෙහි රජු පවා තාවකාලිකව කන්ද උඩරට අතහැර ගොස් තිබුණි. ජුසේවාස් පියතුමා ගැන සඳහන එන්නේ එවන් සමයකදීය.

ජුසේවාස් පියතුමාත් අනෙක් පියතුමන්ලා දෙදෙනාත් නුවර ඉතිරිව සිටි ලෙඩ්ඩුන්ට සාත්තු කිරීමේ ස්වෙච්ඡා සේවය අරඹා තිබේ. ලෙඩ්ඩුන්ට කැඳ පෙවීම, තුවාල සෝදා පවිත්‍ර කිරීම මෙන්ම මියගිය අය වැළලීම වැනි කටයුතු කෙරී ඇත්තේ ඔවුන් අතිනි. දවසේ පැය කිහිපයක් පමණක් නින්ද ලබමින් අපමණ කැපවීමකින් කළ සේවය අවසන ජුසේවාස් පියතුමාට ද වසංගතය වැළඳී ඇත. නමුත් වාසනාවකට එතුමා මියගියේ නැත. එතුමාට සුවය ලැබූවද ඉන්පසු ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා පසුව නිතර නිතර ලෙඩරෝග වැළඳෙන තත්ත්වයට එතුමා පත් වූ බව සඳහන්ය.

වසූරිය මිනිසාට පමණක්ම ආවේණික වූ වැරියොලා මේජර් හා වැරියොලා මයිනර් (Variola major and Variola minor) නම් වූ වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි. වසූරිය කැළැල් මේ රෝගයට ආවේණික ලක්ෂණයකි. එය වැලියෝලා මයිනර් ප්‍රභේදය ආසාදනය වූවන් තුළ ඉතිරිවන ලකුණකි. ඊට ආවේණික කැළැල් ජීවත් වන්නන්ගේ 65% - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇතිවන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇතිවන ආසාදනයන් දක්නට ඇත. වඩාත් භයානක වැලියොලා මේජර් මාදිලියේ රෝගයයි. මෙමගින් 30% සිට 35% දක්වා මරණ සිදුව ඇත. වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ බුද්ධ වර්ෂ 10000 පමණ ඈතක සිට යැයි සැලකේ. රෝගය නිසා 18 වැනි සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයන් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වැනි ස්ථානය ගත් හේතුව එයයි. ආසාදිතයන්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50%කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි.

විසිවැනි සියවසේ දී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා ලොව මිලියන 300 - 500 ත් අතර ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් රෝගීන් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනව වැනි හා විසිවැනි ශතවර්ෂය පුරා ක්‍රියාත්මක කළ සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයට 1980 දී වසූරිය ලොව තුළින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේ වන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය ලෙස සැලකෙන්නේ වසූරියයි.

මෑත කාලයේ අපට අත්විඳින්නට ලැබෙන භයානකම වසංගතය ඩෙංගුය. 2019 වසරේ ඩෙංගු රෝගීන් 103362 ක් වාර්තා වී තිබේ. මේ නිසා අප අසල ඇති දැඩි අවධානය දිනිය යුතු වසංගතය ලෙස ඩෙංගු හැඳින්විය හැකිය.

 

 සුගත් පී. කුලතුංගආරච්චි