2020 මාර්තු 07 වන සෙනසුරාදා

පුස්සන් ගැන ලියන චරිත කතා වැහි වැහැලා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

සම්මානනීය පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ

චන්ද්‍ර ශ්‍රී රණසිංහ සිව් වරක් හොඳම පරිවර්තනය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත් පරිවර්තකයෙකි. ජනශ්‍රැති, මානව විද්‍යා හා ශාස්ත්‍රීය කෘති රාශියක් ඔහු පරිවර්තනය කර තිබේ. වැද්දෝ, සිංහල සමාජයේ කුල ක්‍රමය, ලංකාවේ ගැමි ජනකතා වැනි විශිෂ්ට කෘති ඒ අතර වේ. චන්ද්‍ර ශ්‍රී රණසිංහගේ අලුත්ම පරිවර්තනය. ඩී.එච්. ලෝරන්ස්ගේ චරිතය පාදක කරගෙන බ්‍රෙන්ඩා මැඩොක්ස් ලියූ The Married Man ය. එය සුරස පොතක් වශයෙන් නිකුත් වී තිබේ.

ශාස්ත්‍රීය කෘති පරිවර්තනය කිරීමෙන් නමක් දිනා සිටින ඔබගේ අලුත්ම පරිවර්තන කෘතියේ ඩී.එච්. ලෝරන්ස්ගේ චරිතාපදානයයි. එයා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?

සුප්‍රකට ඉංග්‍රීසි නවකතා කිහිපයකම කතුවරයා වන ඩී.එච්. ලෝරන්ස්ගේ චරිතය අපූර්ව සිද්ධිවලින් ගහන ආන්දෝලනාත්මක එකක්. තම ජීවන සමය තුළ ඔහුගේ නවකතා තහනමට පවා ලක්වූවත් ඔහුගේ මරණින් මතු පසු කාලයේදී ඒවා අගය කළ යුතු සාහිත්‍ය ගුණයෙන් යුත් කෘති බවට පිළිගැනුණා. ඔහු අනුස්මරණය කිරීමට බ්‍රිතාන්‍ය රජය ඔහු උගත් පාසල පවා ඔහුගේ නමින් නම් කළා. ලෝරන්ස්ගේ චරිතයේ ගැබ් වූ ඒ අපූර්ව විචිත්‍රත්වයට අමතරව අප රටේද ඔහුගේ කෘති පරිශීලනය කරන පාඨකයන් විශාල පිරිසක් සිටීමත් ඔහුගේ ජීවිතයේ අප්‍රකට තොරතුරැ රුසක් ගැබ්වූ මෙම කෘතිය පරිවර්තනය කිරීමට මා දිරිගැන්වූ තවත් සාධකයක් වුණා.

ලෝරන්ස්ගේ නවකතා මෙන්ම ඔහුගේ ජීවිතය ද සංකීර්ණ සිද්ධීන්ගෙන් ගහණ බව ඒ කෘතිය වීමසීමේ දී පෙනී යනවා. මේ පිළිබඳ ඔබගේ මතය කුමක් ද?

ලෝරන්ස්ගේ ජීවිතය මුල් සමයේ සිටම අද්භූත මෙන්ම අපූර්ව සිද්ධීන් මැදින් ඇදී ගිය සංකීර්ණ එකක්. කුඩා අවදියේ දී නිව්මෝනියාව වැළඳීමෙන් ඔහු මරු කටින් බේරී ඇත්තේ අනූනවයෙන්, ඉන් අනතුරැව මරණය දක්වාම ඔහු දිවිගෙවා ඇත්තේ පෙණහලු රෝගියෙකු වශයෙන්. මව්පියන් අතර පැවති ගැටුම් මැද ඔහු බාල කාලයේදී ගෙවා ඇත්තේ කටුක ජීවිතයක්. සහජයෙන් ලද බුද්ධි ප්‍රභාවෙන් යුතු ඔහු පසු කලෙක ගුරැවරයෙකු වශයෙන් ජීවිතය අරඹනවා. අසාර්ථක විවාහ කිහිපයකට මැදිවූ ඔහු අන්තිමේදී තම බිරිඳ බවට පත්කර ගන්නේ තමාට වඩා සය වසරකින් වැඩිමහල් දරු තිදෙනෙකුගේ මවකවූ තම ගුරුවරයාගේම බිරිඳයි.වංශවත් ජර්මන් කාන්තාවක වූ ඇය තම දාර්ශනික අදහස් මගින් ලෝරන්ස්ගේ නවකතාවල චරිතවලට ප්‍රබල බලපෑමක් කරනවා. තම සහෝදරයා අසභ්‍ය ගණයේ ලේඛකයෙක් බවට පත්කළේ ඔහුගේ බිරිඳ විසින් බවට ඔහුගේ වැඩිමහල් සොයුරු ජෝර්ජ් නගන චෝදනාවෙන් එය වඩාත් තහවුරු වෙනවා.

චරිතාපදාන සාහිත්‍යය ලෝකයේ බොහෝ රටවල ඉතා ජනප්‍රිය සාහිත්‍යාංගයක් ලෙස පිළිගැනුණත් අපේ රටේ එවැනි තත්ත්වයක් දක්නට නැහැ නේද?

චරිතාංග රචනය වෙනමම ප්‍රගුණ කළයුතු ශික්ෂණයක්. එය බොහෝ විට සිදු කෙරෙන්නේ අදාළ චරිතය පිළිබඳව කෙරෙන පුළුල් හා ගැඹුරු හැදෑරීමකින්. එය එම චරිතය පිළිබඳව මධ්‍යස්ථ බවකින් කළයුතු අධ්‍යයනයක්. එහිදී චරිතයෙහි දැක්වෙන ධනාත්මක අංග පමණක් නොව ඍණාත්මක අංග ද දැක්විය යුතු වෙනවා. එහෙත් බොහෝ චරිතාපදානවල ඉස්මතු කර දැක්වෙන්නේ ධනාත්මක අංග පමණයි. චරිතපදාන සාහිත්‍යාංගයට අප රටේ ද දිගු ඉතිහාසයක් තිබුණත් වැදගත් සේ සැලකිය හැකි ගැඹුරින් යුත් ඒවා මෙකල බිහිවන්නේ විරලවයි. ඒවාට පාත්‍රවීමට තරම් වටිනා පුද්ගලයන් මෙකල විරල වීමත් ඊට එක් හේතුවක් වියහැකියි. ඇතැම් පුද්ගලයන් විසින් මුදල් ගෙවා ලියවා ගන්නා චරිතාපදානයක් දක්නට ලැබුණත් ඒවායේ සාහිත්‍යමය අගයක් ගැබ්ව ඇත්තේ නැහැ.

අපගේ දේශපාලන චරිත ගැන නම් චරිතාපදාන පළවෙනවා. එහෙත් විද්වතුන්, වියත් යතිවරයන් පිළිබඳව පළ වන චරිතාපදාන බිහි වන්නේ විරලව නේද?

මෙයට දියහැකි පිළිතුර කලින් ප්‍රශ්නයේ අගට දී ඇති පිළිතුරට අදාළයි, රටට, ජාතියට, සමයට, සාහිත්‍යයට උදාර සේවයක් කළ ආදර්ශමත් චරිත තිබියදී එබඳු කිසි මෙහෙවරක් නොකළ දේශපාලන වශයෙන් තමන් පුම්බාගත් සමහරුන් පිළිබඳ චරිතාපදාන පළවනු දක්නට ලැබීම අරැමයක් නොවේ. ඒවා සැලකිය යුත්තේ ඔවුන්ගේ මූලිකත්වයෙන්, ඔවුන්ගේ උවමනාව පිට බිහිවන හිස් ප්‍රලාප ලෙසටයි. ඒවායින් පාඨකයාට ගතයුතු කිසි ආදර්ශයක් ඇත්තේ නැහැ. චරිතාපදානවලට පාත්‍ර විය යුත්තේ නිස්සන් මිස පුස්සන් නොවේ.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ පරිවර්තන කෘති සමීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී ඔබගේ නිරීක්ෂණයට යොමු වූ වැදගත් කරුණු මොනවා ද?

ඉංග්‍රීසියෙන් පමණක් නොව වෙනත් විදේශීය භාෂාවලින් ද පරිවර්තික කෘති සෑහෙන සංඛ්‍යාවක් වසරක් පාසා සිංහල භාෂාවට එක් වෙනවා. ඉන් වැඩි හරියක් ප්‍රබන්ධ සාහිත්‍යයට ගැනෙන නවකතා සහ කෙටිකතා. ඒවා විමසීමේදී දක්නට ඇති එක් කරැණක් වන්නේ පරිවර්තනය සඳහා අදාළ කෘතිය තෝරා ගැනීමේදී නිර්ණායකය වී ඇත්තේ අන්තර්ගතයේ ගැබ්ව ඇති උසස් සාහිත්‍ය අගයට වඩා එහි ඇති වෙළෙඳපොළ ඉල්ලුම හා ජනප්‍රියතාව බවයි.

සංකීර්ණ මානව ගැටලුවක් ඉදිරිපත් කෙරෙන විශ්ව සාහිත්‍යයට අයත් සම්භාව්‍ය කෘතියක් එයට හානියක් සිදු නොවන පරිදි තවත් බසකින් ඉදිරිපත් කිරීමට නම් අදාළ භාෂා දෙක ගැනම පිරිපුන් දැනුමක් පරිවර්තකයාට තිබිය යුතුය. එහෙත් දැනට බිහිවන බොහෝ පරිවර්තන විමසීමේදී පෙනී යන එක් කරුණක් වන්නේ පරිවර්තනයේ ඒකා බද්ධතාව (cohesion) ඇතැම් තැනක ගිලිහී ගොස් ඇති බවය. අනිත් කැපී පෙනෙන දුර්වලතාව වන්නේ පරිවර්තන භාෂාවයි.

සිංහල මටසිලිටි, සුනම්‍ය භාෂාවක්. එකදිගට කියවීමට සිත් දෙන එකක්. ඒ වුණත් මෙකල එළිදැක්වෙන පරිවර්තන වැඩි හරියක දකින්න තියෙන්නේ සිංහලයට ආගන්තුක, කෘත්‍රීම බස් වහරක්. අපට හුරැ උපමා, රූපක, ගැමි වහර වැනි භාෂා ප්‍රයෝග පිළිබඳ හොඳ හුරුවක් පරිවර්තයකුට තිබෙන්න ඕන. ඒ වුණත් බොහොමයක් පරිවර්තනවල දකින්න තියෙන්නේ ඕජෝ ගුණයෙන්, ජීවයෙන් තොර බස් වහරක්. පරිවර්තකයාගේ දක්ෂතාව වන්න ඕනේ මුල් කෘතියේ අන්තර්ගතය ඒ ආකාරයෙන්ම රැකගනිමින් ඒ අතරම එය පරිවර්තනයක් බව නොහැඟෙන ආකාරයට පාඨකයාට ඉදිරිපත් කිරීමයි.

අද ලේඛකයන් විශාල පිරිසක් පරිවර්තන කාර්යයට යොමුව සිටිනවා. පරිවර්තනය කරන්නන් වාලේ පරිවර්තනයට බැසීමෙන් මුල් කෘතියට සිදු වන්නේ හානියක් නොවේද? එකල පරිවර්තන කාර්යයේ යෙදුණ කේ.ජී. කරුණාතිලක, සිරිල් සී, පෙරේරා, ඒ.පී. ගුණරත්න ආදී පරිණත ලේඛකයන් පරිවර්තන කලාවට කළ මෙහෙවර ගැන ඔබගේ අදහස මොකක්ද?

කරැණාතිලක, සිරිල් පෙරේරා, ඒ.පී. ගුණරත්න වැනි අය ජලයේ ගැඹුර ගැන මැනවින් දැනගෙන ගඟට පැන ගඟෙන් පරතෙරටම පීනලා නම රැන්දූ අය. ඔවුන් ගැන පාඨකයන්ගේ මනසේ ඉහළම ගෞරවයක් තාම රැඳී පවතිනවා. එහෙත් වත්මනේදී බොහෝ දෙනා පරිවර්තන කලාවට බහින්නේ ගඟේ ගැඹුර ගැන අවබෝධයක් නැතිව. ඔවුන් වැඩි දෙනෙක් ගඟ තුළම ගිලී යනවා. එගොඩට පිහිනීමේ හැකියාව තියෙන්නේ ඉන් කිහිපදෙනකුට පමණයි. 

එහෙත් පාඨ ග්‍රන්ථ, ශාස්ත්‍රීය කෘති වැනි පරිවර්තනවලදී ඔවුන්ගේ නිරුවත හෙළිවන අවස්ථා බොහෝවිට දක්නට ලැබනෙවා. මෙයට දැක්විය හැකි නිදසුන් අතුරින් එක් නිදසුනක් වන්නේ හෙන්රි පාකර්ගේ Ancient Ceylon කෘතියේ සිංහල පරිවර්තනයයි. එහි සිංහල පරිවර්තනයේ දී මුල් කෘතියේ තිබූ වැදගත් පරිච්ඡේද කිහිපයක් අත්හැර දමා තිබෙනවා. එහෙත් අද පරිවර්තන කලාව ඕන කෙනෙකුට හිතූ හිතූ විදියට පිනුම් ගැසිය හැකි කෙළිමඬලක් බවට පත්ව තිබෙනවා. පරිවර්තන කලාවේ ගුණාත්මකභාවය අතින් සැලකීමේදී මෙය හොඳ තත්ත්වයක් නොවේ.

කුසුම්සිරි


 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00