2020 මාර්තු 07 වන සෙනසුරාදා

තලගලේ සිටුවරයා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

ධනපාල හේරත් මහතාගේ තලගලේ සිටුවරයා නවකතාවට ද ප්‍රධාන ක්ෂේත්‍රය වී ඇත්තේ ගම්බද සමාජයයි. වේගයෙන් නවීකරණ වන මේ සමාජයේ මෙතෙක් පැවති ගැමි ජන ජීවිතය, ඔවුන්ගේ පවුල්, ඥාති සම්බන්ධතා, සාම්ප්‍රදායික සිරිත් විරිත් කවරේද යන්න නිර්මාණාත්මක ලෙස රචනා කර ඇති මෙම නවකතාව සරල භාෂා ශෛලියක් භාවිතා කරගෙන තිබෙන බවද මෙහි ලා සඳහන් කළ යුතුය.

කතාව ආරම්භ වන්නේ මහ බමුණු ගමට සමීපව පිහිටා තිබෙන සල්පිලක තොරතුරු සමඟයි. ගමේ එඩිතර හා මිතුරන් අතර ජනප්‍රිය තරුණයකු වූ කව්රාල නැත්නම් අපර නාමයෙන් හඳුන්වන ජුණ්ඩා සල්පිලේ කටයුතු සාර්ථකව මෙහෙයවූ අතර එය ගැමියන්ගේ අගය කිරීමට ද හේතු විය. ගමේ කවුරැත් මෙසේ ජුණ්ඩා නමින් හඳුන්වන තරුණයාට යම් යම් අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වූ ආකාරය අප ලේඛකයා ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ කායික හා මානසික ගති ලක්ෂණ ද සලකුණු කරමිනි.
ගමේ ප්‍රබල පවුලක බඩපිස්සා වූ ජුණ්ඩාගේ පියා වෙදරාළ කෙනෙකි. ඔහුගේ මව මේනුපාච්චිය. අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඔහු කුඹුරැ ගොවිතැන් කරන ලද්දේ තමන්ගේ මිතුරන් ද එක්කර ගනිමිනි. එක් අතකින් ජීවිතයේ භාරදූර බව නොසිතා සෙල්ලක්කාර ජීවිතයකට ඇබ්බැහි වූ ඔහු ඇතුළු යහළුවන් ජල ස්නානය සඳහා ගමේ ජලාශය ආශ්‍රිත අඹගහමුල මංකඩ තෝරාගෙන ඇති අතර දිය නෑමට එන කාන්තාවන් සමඟ උසුළු විසුළු කිරීමට පමණක් නොව දිය යටින් ගොස් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශයට ද යොමුවන බව පෙනේ.

මහබමුණු ගමේ කාගෙත් සිත් දිනාගෙන ජීවත් වුවද ජුණ්ඩා තරැණ හා විවාහක කාන්තාවක් සමඟ ද විවිධාකාරයේ සම්බන්ධතා පවත්වාගෙන ගිය අතර ඒ නිසා ඔහුගේ ජීවිතයට ද අවදානම් අවස්ථා ඇති නොවූවා නොවේ. පළමුව ගමේ කඩයට එන කපුරැහාමි නම් මැදිවියේ පසුවන පුද්ගලයාගේ තරුණ බිරිඳ සමඟ කුළුපගතාවක් ඇති කරගනී. කෙසේ හෝ කිරිමැණිකා (කපුරැහාමිගේ බිරිඳ) තම වසඟයට ගැනීමට ජුණ්ඩා සමත් වේ. මෙහිදී හේරත් ඊට පසුබිම් වූ තත්ත්වයක් ක්‍රමානුකූලව විවරණය කිරීමට වෙර දරා ඇතැයි කිව යුතුයි. එදා අද මෙන් නොව ගමේ කඩය බොහෝ දෙනාගේ කතාබහට පාදක වන එක්තරා අන්දමක සන්නිවේදන මධ්‍යස්ථානයකි. ජුණ්ඩා ද මෙසේ කඩයට පැමිණ ගමේ ඕපදූප කීමත්, වරෙක දාං ඇදීමට හෝ කාඩ් සෙල්ලමට සහභාගී වීමත් දැකිය හැකිය.

තමන්ගේ හිත්ගත් කාන්තාවන් පිළිබඳ යළි යළි සිතන්නට යන ජුණ්ඩාගේ එඩිතර බව කෙසේ වුවද විවාහ නොවී කාමශක්ත ජීවිතය පවත්වාගෙන යාම ගැන ගමේ අනෙකුත් අය නොදන්නවා නොවේ. ජුණ්ඩා නැවතත් රෑපවතී පිළිබඳ හැඟීමෙන් එහි ගිය දවසක රෑපවතී මෙසේ කියයි.

අද පාර වැරදිලා වගෙයි.
අපටත් ආරංචියි පරණ තැන්වලට ආයිමත් බඩගාන විත්තිය
බොරැ වෙන්නේ කොහොමද මට විශ්වාස කෙනෙක් කිව්වේ. (37 පිටුව)

ගම්වල පවත්වාගෙන යන අනියම් සම්බන්ධතා රහසින් පවත්වා ගෙන යා හැක්කේ ටික කලකි. කවදා හෝ ඒවා හෙළි වේ.

අවසාන ප්‍රතිඵලය වන්නේ කිරිමැණිකා ජුණ්ඩාට විවාහ කර ගැනීමට සිදුවීමයි. ඊට හේතුව රන්හාමි කිරිමැණිකා බාරගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.

ජුණ්ඩාගේ ජීවිතය නව මගකට යොමුවන්නේ මින් පසුවයි. ඔහු හා කිරිමැණිකේ එකතුව තම අනාගතය සතු කරගන්නට තැත් කරන්නේ තලගල නම් වූ ගල් තලාව ආශ්‍රිතව පවතින ඉඩමේ ගෙයක් ඉදිකර කුරක්කන් මෙන්ම මුං වගාව ද සරැසාර ලෙස ඉටු කරන්නටයි. ජුණ්ඩා ඇතුළු මිතුරන් ද තලගල ගල් තලාව ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචි වන්නේ ආදර්ශවත් ලෙසයි. 

ජුණ්ඩාගේ චරිතය අපූර්ව ලෙස පාඨකයාට හැඟීමක් දනවන අයුරින් ඉදිරිපත් කිරීමට අප ලේඛකයා සමත් වී තිබේ. එසේම මෙම නවකතාවේ එන අනෙකුත් චරිත ද අවස්ථාවන්ට උචිත ලෙස නිර්මාණය කිරීමට ගෙන ඇති ප්‍රයත්නය ද සලකාහැරිය නොහැක. එදා ගම්වල පැවති චාරිත්‍ර වාරිත්‍ර හා ගතානුගතික ලක්ෂණ ද මේ නවකතාව තුළින් පාඨකයාට අවබෝධ කරගත හැකිය. සත්‍ය වන්නේ අපේ සම්ප්‍රදායික යටගියාව ගෝලීයකරණය ඉදිරියේ අතුරුදහන් වන්නට පෙර මෙසේ නිර්මාණාත්මක හැඩරැවකින් ඉදිරිපත් කිරීම ගැන ධනපාල හේරත් මහතාට ස්තූතිය හිමිවිය යුතුය.

සම්මානනිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00