2020 මාර්තු 07 වන සෙනසුරාදා

නිතරම අලවෙන නොරොච්චෝලේ ගැන ඇත්තද මේ කතා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 298

මෙගාවොට් 300ක් කිව්වාට ලැබුණේ 220ද?
හදිසි මිලදී ගැනීම් අත යට ගනුදෙනුද?
හතළිස් වතාවකට වඩා කැඩුණා කියන කතාව හරිද?
ඇත්තටම වුණේ කඩාකප්පල් වැඩක්ද නැත්නම් බිඳ වැටීමක්ද?

 

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය රුපියල් කෝටි 69ක් වැයකොට මාස තුනක් පුරා අලුත්වැඩියා කටයුතු සිදුකොට යළි  විදුලි උත්පාදනය යළි ආරම්භ කර දින 10කට පසු අකර්මණ්‍ය වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල කතාබහක් ඇති විය. මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය මත විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටී තිබේ. මෙවැනි වාතාවරණයක් තුළ ඉදිරියේ කපා හැරීමකින් තොරව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128ක විදුලිය ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මිලට ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉල්ලා තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවිය. මේ වනවිට සමස්ත විදුලි අවශ්‍යතාව දෛනිකව ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවසේ. ලංකා විදුලිබල මණ්ඩල දත්තවලට අනුව මේ දිනවල විදුලි නිෂ්පාදනය සිදුවන්නේ මේ අයුරිනි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් 41.92%ක්ද, විදුලිබල මණ්ඩලය සතු ඩීසල් බලාගාරවලින් 14.75%ක්ද, පෞද්ගලික ඩීසල් බලාගාරවලින් 26.54%ද ජල විදුලියෙන් 15.11%ද, සුළං බලයෙන් 0.99% වශයෙනි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මෙගාවොට් 300 බැගින් උපදවන ඒකක තුනකින් සමන්විතය. එහි පළමු අදියරය 2011 ක්‍රියාත්මක වූ අතර දෙවැනි අදියරය 2014 ක්‍රියාත්මක විය. ඒ අනුව එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු විදුලි ධාරිතාව මෙගාවොට් 900කි. මෙරට විදුලි අවශ්‍යතාවෙන් 34%ක් පමණ නොරොච්චෝලේ බලාගාරයෙන් ලබා ගැනේ. මෙරට විදුලි පද්ධතියට අමිල මෙහෙයක් ඉටු කරන නොරොච්චෝලේ බලාගාරය එය ආරම්භ කළ දින සිට මේව විට අවස්ථා 40කදී පමණ ක්‍රියා විරහිතවී ඇතැයි වාර්තා වේ. නොරොච්චෝලේ බිඳ වැටීම සම්බන්ධයෙන් මහජනතාව තුළ විවිධ මත පවතී. මෙය හිතාමතාම කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි ඇතැමෙක් පවසන අතර තවත් පිරිසකගේ මතය වී ඇත්තේ තාක්ෂණික දෝෂ මත මෙවැනි බිඳවැටීම් සිදුවිය හැකි බවටය.

නොරොච්චෝලේ යළි බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එහි අලුත්වැඩියා කටයුතු අවසන්ව යළි ක්‍රියාත්මක කළ අවස්ථාවේ  නැවත බිඳ වැටීමක් ඇති වුවද එය වහා යථා තත්ත්වයට පත් කෙරුණු  බවයි. නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන සමයේ සිටම විවිධ අක්‍රමිකතා සිදු වූ බව පැවසෙන අතර ඒ සඳහා යොදා ගන්නා ගල්අඟුරු ආනයනය කිරීමේදීද විශාල දූෂණ සිදු වූ බවට පසුගිය කාලයේ වාර්තා විය. එමෙන්ම ජනන සැලැස්ම අනුව කිසිදු බලාගාරයක් පසුගිය සමයේ ඉදි නොවූ හෙයින් ජල විදුලිය උත්පාදනය කළ නොහැකි අවස්ථාවන්හි ඇති එකම විකල්පය පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ලබා ගැනීම පමණි. අමාත්‍යවරයා පවසන පරිදි මෙම හදිසි මිලදී ගැනීම් ඉදිරි මාස හයක කාලයකට දීර්ඝ කර තිබේ. වැඩි මිලට විදුලිය මිලට ගැනීමේදී එම බර පැටවෙන්නේ විදුලි පාරිභෝගිකයා මතය. 

නොරොච්චෝලේ බලාගාරයේ එක් අදියරයකින් මෙගාවොට් 300ක් උත්පාදනය කරන බව පැවසුවද එම ප්‍රමාණය උපදවන ලද්දේ පසුගියදා සිදු කරන ලද  අලුත්වැඩියාවෙන් පසුව බව පැවසේ. එතෙක් ජනනය කර ඇත්තේ මෙගාවොට් 220කි. 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිතියේ ලේකම් රන්ජන් ජයලාල් මහතා,

“මෙගාවොට් 300ක් උපදවනවා කිව්වත් මෙතෙක් ලැබුණේ මෙගාවොට් 220යි.  අලුත්වැඩියා කටයුතු සඳහා කෝටි හැටක් පමණ වැය කර තිබෙනවා. එතරම් මුදලක් වැය කළත් මෙගාවොට් 300ක ධාරිතාවක් උපදවා ගැනීමට දැන් හැකියාව ලැබී ඇති බව ඉහළ නිලධාරීන් කියන්න පුළුවන්. මෙහිදී අප සිතා බැලිය යුතු කරුණ වන්නේ එක් අදියරයකින් මෙගාවොට් 300ක් උපදවන බව පවසා ඉදිකළ බලාගාරයෙන් මෙතෙක් එම ධාරිතාව උත්පාදනය කළ නොහැකි වූයේ මන්ද යන්නයි.  මෙගාවොට් 300 මට්ටමට ගෙන ඒම සඳහා තවත් කෝටි 60ක් පමණ වියදම් කරන්න සිදු වූයේ ඇයි? සත්‍ය කතාව නම් එක්තරා පිරිසක් බාල බලාගාර ගෙනල්ලා ඒවායින් හම්බකර ගත්තා. නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින්. මේ තරමින් හෝ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි ඔවුන්ට ස්තුති කළ යුතුයි. ලක්ෂ ගණන් වැයවන ඇතැම් අමතර කොටස් මෙහිම නිපදවාගෙන මෙම බලාගාර ක්‍රියාත්මක කරන්නේ ඒ අයයි. අපේ රටේ දිනෙන් දින විදුලි අර්බුදය උග්‍රවීමට හේතුව විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයයි. වර්ෂයේ එක්තරා කාලයක ජලය හිඟවී ජල විදුලිය උත්පාදනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවන බව විදුලි බල මණ්ඩලය දන්නෙ නැද්ද? අලුතින් විදුලි ඉල්ලුම වැඩිවන බව ඔවුන් දන්නෙ නැද්ද? ඒත් ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පසුගිය වසරවල පැවැති ඉඩෝර කාලවල හොර ගිවිසුම් ගහලා පෞද්ගලික බලාගාරවලින් අධික මිලට විදුලිය මිලට ගත්තා. විදුලිබල මණ්ඩලයට කිසිදු දැක්මක් හෝ සැලසුමක් නැහැ. ඒකට හේතුව මොකක්ද? මේ ඉඩෝරය නිසා ඇතිවන විදුලිබල හිඟය එක්තරා පිරිසකගේ සාක්කු පුරවන ක්‍රමවේදයක් බවට පත් වී ඇති  නිසයි. ඒ වගේම නොරොච්චෝලේ ඉදිකිරීම සඳහා ඉඩම් මිලදී ගැනීමේ සිට එම ඉඩම්වල පදිංචිව සිටි පුද්ගලයන්ට වෙනත් ස්ථානවල නිවාස ලබා දීමේදීත් බරපතළ වංචා සිදුවුණා. බලාගාරයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මිලට ගැනීම සඳහා චීනයට ගිය පිරිස මෙරටට ගෙනාවේ බාල බලාගාර බව හැමෝම දන්නවා. මෙවැනි බාල බලාගාර ගෙන්වීම සම්බන්ධයෙන් ඇනැවුම් කළ කණ්ඩායම මෙන්ම තාක්ෂණික අගැයුම් කමිටුවත් වගකිව යුතුයි. ඒත් විදුලිබල මණ්ඩලයේ කවුරුත් මේවාට වගකියන්නේ නැහැ.” යනුවෙන් කියා සිටියේය.

නොරොච්චෝල බලාගාරයේ අර්බුදය කුමක්ද? වරින්වර මේ අයුරින් බිඳවැටීම් සිදුවන්නේ මන්ද යන කරුණු සම්බන්ධයෙන් අප විමසා සිටියේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනුරැද්ධ තිලකරත්න මහතාගෙනි. නොකඩවා විදුලි උත්පාදනය කළ බලාගාරයේ එක් අදියරයක පූර්ණ නඩත්තුවකින් පසු යළි විදුලිය උත්පාදනය ඇරඹි අවස්ථාවේ එහි තෙල් මුද්‍රාවක ඇතිවූ සුළු කාන්දුවක් නිසා යන්ත්‍රය නවතා කඩිනමින් පිළිසකර කළ බව ඔහු සඳහන් කළේය.

“එක්තරා පිරිසක් ප්‍රචාරයක් ගෙන ගියා කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා නොරොච්චෝල විදුලි බලාගාරය අක්‍රිය වුණා කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. ඔයිල් ලීක් එක හදපු ගමන් යළි ක්‍රියාත්මක කළා. මම විදුලි ඉංජිනේරැ වෘත්තිය සමිතියේ සභාපති. එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙනවා නම් මම එය නවත්වන්න මැදිහත් වෙනවා. එවැනි දෙයක් සිදුවුණේ නැහැ. මෙහි නඩත්තු කටයුතු සිදුකරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින්. ඒත් මෙම බලාගාරය හදපු චීන කණ්ඩායමත් බලාගාරයේ ඉන්නවා. යම් යම් අවශ්‍යතාවලදී ඔවුනුත් අපට උපකාර කරනවා කෝටි 60 ගණනක් වැය වූයේ අමතර කොටස්වලටයි. නොරොච්චෝලේ පමණක් නොවෙයි ජලවිදුලි බලාගාරවලත් මෙවැනි බිඳවැටීම් ඇතිවෙනවා. මේ යන්ත්‍ර පැය විසිහතර පුරාම ක්‍රියාත්මකයි. නොරොච්චෝලෙ බලාගාරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1200කට වැඩියි. එවිට බිඳවැටීමක් ඇතිවීමට ඇති අවකාශය වැඩියි. මෙමගින් අපි මෙගාවොට් 900ක් උත්පාදනය කරනවා. මේ දිනවල ජලවිදුලිබලාගාරවලින් උත්පාදනය වන විදුලිය ක්‍රමයෙන් අවම වෙනවා. අද අපට නොකඩා විදුලිය ලබා දීමට හැකිව ඇත්තේ නොරොච්චෝලෙ බලාගාරය නොනවත්වා විදුලිය උත්පාදනය කරන නිසයි. 

නඩත්තු කටයුතු සඳහා බලාගාරය ක්‍රියා විරහිත කරනු ලබන්නේ කිසියම් සැලසුමකට අනුවයි. එසේ නොමැති වුවහොත් බලාගාරයට හානි සිදුවිය හැකියි. නියමිත සැතපුම් ගණනක් ධාවනය කළ පසු අපි වාහනයක නඩත්තු කටයුතු සිදුකරන අයුරින් බලාගාරයකත් නඩත්තු කටයුතු සැලසුම් කළ දිනයක සිදු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් කිසිවක් නොදැන බලාගාරය බිඳ වැටී ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මේ නඩත්තු කටයුතු සඳහා නවතා දැමීම වැරදි ලෙස වටහා ගැනීම නිසයි. නඩත්තු කටයුතු සිදුකොට යළි පණ ගැන්වූ පසු තෙල් ලීක් එකක් ආවා. එය දින එකහමාරකින් ප්‍රකෘති තත්ත්වයට පත් කළා.” යනුවෙන් සඳහන් කළේය.

මෙවැනි ඉඩෝර සමයක යම් හෙයකින් නොරොච්චෝල බලාගාරයේ පූර්ණ විදුලි උත්පාදනය බිඳවැටුණහොත් නොකඩවා විදුලිය ලබා දීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් තිබේදැයි අප විමසූ විට තිලකරත්න මහතා ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉතා කැපවීමෙන් කටයුතු කරන බවය. එහෙයින් එවැනි අර්බුදයක් ඇති නොවෙනු ඇතැයි සඳහන් කළ ඔහු ඉඩෝර කාලයට ඇතිවන විදුලි අර්බුදයට පිළියම් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් කිරීමට සිදුවන බවද වැඩිදුරටත් සඳහන් කළේය. නොරොච්චෝල බලාගාරය හතළිස් වතාවකට වැඩියෙන් ඇන හිට ඇත්තේ මන්දැයි අප ඇසූ පැනයට ඔහු කියා සිටියේ විවිධ හේතු මත යන්ත්‍ර ස්වයංක්‍රීයව නතර වන බවයි. 

“ඒක වෙන්නේ යන්ත්‍රයේ ආරක්ෂාවට. නොරොච්චෝල සිට සම්ප්‍රේෂණ මාර්ග දෙකක් තිබෙනවා. එකක් නොරොච්චෝලෙ සිට වේයන්ගොඩට. අනික නොරොච්චෝලෙ සිට අනුරාධපුරයට. කිලෝවොට් දෙලක්ෂ විසිදහසක අධි වෝල්ටීයතාවක් මේවායේ ගමන් කරනවා. මෙම විදුලි රැහැන් මාර්ගය යට විවිධ ක්‍රියාකාරකම් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙම මාර්ග කුඹුරුවලට ඉහළින් ගමන් කරනවා. ගොවීන් ගොයම් කැපීමෙන් පසු මෙම රැහැන් මාර්ගය යට පිදුරු ගිනි තියනවා. එම උෂ්ණත්වය රැහැන්වලට බලපෑමක් එල්ල කරන විට ජනන යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක රැහැන් මත මොණරු ලගිනවා. එවැනි අවස්ථාවලදීත්, අකුණු නිසාත් ක්‍රියාවිරහිත වනවා. මෙවැනි හේතු නිසයි හතළිස් වාරයකට වඩා බිඳ වැටී ඇතැයි පැවසෙන්නේ. ඇත්තටම එය බිඳ වැටීමක් නොවෙයි. බලාගාරයේ ආරක්ෂාවට ස්වයංක්‍රීයව විසන්ධිවීමක් පමණයි. යන්ත්‍රවල පවතින ජලය අධික උණුසුමකින් යුතු බැවින් විසන්ධි වීමකදී එම ජලය වෙනත් මාර්ගයකින් පිටකළ යුතුයි. එලෙස පිටවන ජලය නිසා එහි ඇති ඩයප්‍රමය පැලී යනවා. අධික උෂ්ණත්වය නිසා එම ඩයප්‍රමය විගසින් මාරැ කළ නොහැකියි. උෂ්ණත්වය පහළ බසින තෙක් බලා සිටිය යුතුයි. ඒ සඳහා දින කිහිපයක් ගතවෙනවා. එතකොට බොහෝ අය සිතන්නේ බලාගාරයේ බිඳවැටීමක් ලෙසයි.”

අපගේ විදුලි ඉල්ලුම උපරිමව පවතින්නේ රාත්‍රි 6 සිට 8 අතර කාලයේය. එම කාලය තුළ පැයකට මෙගාවොට් 2500ක් පමණ භාවිත වේ. මෙම තත්ත්වය වැසි සහිත දිනවල අවම වන අතර හා අධික උෂ්ණත්වය පවතින දිනවල ඉහළ යයි. ජලය හිඟ කාලයට මෙම ඉල්ලුම සපුරාලීම අසීරුය. පවතින සියලු ඩීසල් තාප හා ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක කළද එම ඉල්ලුම සපුරාලිය නොහැකිය. එහිදී වරින්වර විදුලි කප්පාදුවක් කිරීමට සිදුවේ. මෙවැනි අවස්ථාවන්හි වැඩි මිලට පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කෙරේ.

මෙලෙස පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීමට සිදුවන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම බලධාරීන්ගේ විවිධ ක්‍රියා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවට චෝදනා එල්ල වේ. ඇතැම් පෞද්ගලික විදුලි සමාගම්වල හිමිකරැවන් වන්නේද විදුලි බල මණ්ඩලයට සම්බන්ධ ඇතැම් පිරිස් බවට චෝදනාවක් පවතී. නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි අදියරයේ මෙගාවොට් 300ක් මෙරට විදුලිබල පද්ධතියට සම්බන්ධ වූයේ  2014දීය.  එයින් පසු වසර පහක කාලයක් තුළ කිසිදු ස්ථාවර බලාගාරයක් අපේ රටේ ඉදිකෙරුණේ නැත. එහෙත් මෙරට විදුලිබල ඉල්ලුම දිනෙන් දින ඉහළ ගියේය. විදුලිබල අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පසුගිය වසර පහක කාලය තුළ විදුලි ඉල්ලුම 27% කින් ඉහළ ගොස් ඇතත් විදුලි නිෂ්පාදනය 02% කින් හෝ ඉහළ ගොස් නොමැත. සෑම දෙවසරකටම වරක් ජනන සැලැස්මක් ඉදිරිපත් කෙරෙන අතර. එය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමත විය යුතුය. එසේ අනුමත වූ බලාගාරද මෙතෙක් ඉදි වී නැත. මේ සඳහා ගල් අඟුරු සහ එල්.එන්.ජී (ස්වභාවික ද්‍රව වායු) බලාගාර ඉදිවිය යුතුය. එහෙත් ඉතා කඩිනමින් එවැනි බලාගාරයක් ඉදිරිකිරීමට වුවද අවම වශයෙන් වසර 4ක් පමණ ගත වේ. 2020 මෙරට බලාගාර පද්ධතියට එක්වීමට තිබූ සාම්පූර් බලාගාරය ඉදිකිරීම 2015 නවතා දැමීම නිසා ගැටලුව තවත් උග්‍ර විය. 
ඉදිරියේ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුවාවී පෞද්ගලික ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබා ගැනීම සඳහා මෙවැනි කටයුතු සිදුවෙනවාද යන සැකයක් මේ වන විට මතුවී තිබේ. මෙලෙස වරින්වර ක්‍රියාවිරහිත වීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ඇතිදැයි සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇතැයි සම මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය. නව රජය වහා ජනන සැලසුම් ක්‍රියාත්මක කොට පාරිභෝගිකයාට නොකඩවා විදුලිය ලබා දීමටත්, අධික මිල ගණන් යටතේ විදුලිය මිලට ගැනීම සඳහා පෞද්ගලික අංශයට ඇදී යන විශාල මුදල අවම කර ගැනීමටත් පියවර ගත යුතුය. එසේ නොමැති නම් මේ සෑම දෙයකින්ම පීඩාවට පත්වන්නේ මෙරට ජනතාවය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00