2020 මාර්තු 07 වන සෙනසුරාදා

“සතා”ගේ කතාව

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 342

ඕවර පනහේ තරග තුනෙන්ම ජය ලබා බටහිර ඉන්දීය කොදෙව්වන් පරදාලන්නට පසුගිය සතියේ අපි සමත් වීමු. කාලයකට පෙර 1975 ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වය යටතේ ඔවුන් මෙරටට එනවිට අපට ඔවුන් පෙනුණේ පතාක යෝධයන් ලෙසයි. ඇත්තෙන්ම ඔවුහු එවකට යෝධයෝ වූහ. 1975 සහ 1979 ලෝක කුසලාන දෙකම ඔවුහු එකල ජය ගත්හ. එහෙත් 1975දීත් ලොයිඩ්, රිචඩ්ස්, කලිචරන්, ෆෙඩ්රික්ස් ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් පිල සිව්දින තරගයකදී 119ට සියල්ලන් දවාලන්නට අපේ පිල සමත්විය.

1948 – 1960 අතර කාලයේත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ නම් දැරූ පතාක යෝධයෝ තිදෙනෙක් කොදෙව් පිලේ උන්හ. ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් හැඳින්වූයේ 3W’s (ත්‍රී ඩබ්ලිව්ස්) කියාය. එවර්ටන් වීක්ස් (Everton Weeks) ක්ලයිඩ් වොල්කොට් (Clyde Walcott) ෆ්‍රෑන්ක් වොරල් (Frank Worell) ඒ තිදෙනාය. තිදෙනාගෙම වාසගම් W අකුරෙන් පටන්ගත්ත නිසා ඔවුනට ඒ නම ලැබුණේය. ඇත්තෙන්ම ඔවුන් වාසය කළේත් බාබේඩෝස් දිවයිනේ එකිනෙකාගේ නිවෙස්වලට පයින් යන දුරිනි.
ක්‍රිකට් උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් තිදෙනාටම නයිට් පදවි පිරිනැමුණේය. බාබේඩෝස්හි පිහිටි බටහිර ඉන්දීය කොදෙව් විශ්ව විද්‍යාලයේ ඕවල් පිටිය නම් කොට ඇත්තේ 3W’s ඕවල් නමිනි. එතැන ඔවුන් තිදෙනාගේ උඩුකය රූප ඇඹූ ස්මාරකයකි.
ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ අපේ ක්‍රීඩකයන් අපේ අභිමානය රැකගෙන ඇත්තේද අද පමණක් නොව, නවසිය හැත්තෑ පහේ පමණක් ද නොව, එතැන් ක්‍රිකට් ලොව ජය කෙහෙළි නැංවූ සමයේ පවා අපේ ක්‍රිකට් නම්බුව රැකගත් ක්‍රිකට් තරුවක් අපට උන්නේය. හේ මහාදේවන් සතාසිවම්ය. සතාසිවම්ව ක්‍රිකට් ලෝලීන් හැඳින්වූයේ (සතා) යන ආදරණීය නාමයෙනි. එවකට හිටපු ඉන්දියානු නායක, අතිශය දක්ෂ දඟ පන්දු යවන්නකු වූ ගුලාම් අහමඩ්, සතා ගැන කීවේ මෙසේය.

“මම බ්‍රැඩ්මන්, හාර්වේ, හට්න්, ඩෙනිස් කොම්ප්ටන්, කිත් මිලර් සහ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමේ අති භයංකරය තුන් කට්ටුව වූ වීක්ස්, වොරල් හා වෝල්කොට් යන මේ සැමදෙනාට පන්දු යවා ඇත්තෙමි. මා පන්දු යවා ඇති අසීරුම පිතිකරුවා කවුරුන්දැයි ඔබ ඇසුවහොත් මා එකහෙලා කියන්නේ එකම නමකි. ඒ ලංකාවේ සතාසිවම්ය.”

අපේ සතාව බටහිර ඉන්දීය කොදෙව් පිලේ W තුන්කට්ටුවටත් ඉහළින් තබමින් සර් ගාර්ෆීල්ඩ් සෝර්බර්ස් කීවේ “මිහිපිට පහළ වූ අද්විතීයම පිතිකරුවා මහාදේවන් සතාසිවම්” යනුවෙනි. තමා දුටු හොඳම පිතිකරුවා මහාදේවන් සතාසිවම්” බව W තුන්කට්ටුවේ ෆ්රෑන්ක් වොරල් ද එකහෙලා කීවේය. මෙකී කියමන් අද වනවිට විකිපීඩියාහි නොමැකෙන ලෙස සටහන්ව ඇත.

මහාදේවන් සතාසිවම් උපත ලැබු‍වේ 1915 ඔක්තෝබර් 18 වැනිදාය. සතාගේ ක්‍රිකට් දිවිය ඇරඹුණේ කොළඹ සාන්ත ජෝෂප් විද්‍යාලයෙනි. ඉන් අනතුරුව කොළඹ වෙස්ලි විද්‍යාලයට ගිය ඔහු තවත් ඉහළ මට්ටමක පිති හරඹයේ දක්ෂතා ප්‍රදර්ශනය කළේය. ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලට එරෙහි තරගයකදී ලකුණු 142ක් ඔහු රුස්කළේ පිති ප්‍රහාර එල්ල කරමිනි.

ටැමිල් යුනියන් පිලට ක්‍රීඩා කොට සමස්ත ලංකා (All Ceylon) පිලට තේරුණු පසුව ඔහුගේ පිති හරඹයේ රස අන්තර්ජාතික ක්‍රිකට් ලෝලීන්ට විඳගන්නට හැකි විය.

නවසිය හතළිස් ගණන් යනු අපට බොහෝ අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට සහභාගී වන්නට ලැබුණු කාලයක් නොවේ. එංගලන්ත හෝ ඕස්ට්‍රේලියානු පිල අළු බඳුන තරගවලට යන එන වාරයේ මෙරට නැවතී තරගවලට සහභාගී වීම හැරුණු කොට ඉතාමත් කලාතුරකින් බටහිර ඉන්දීය කො‍දෙව්වෝද පැමිණියහ. ඒ අතර නිරන්තරයෙන් අප තරගවලට එළඹුණේ ඉන්දියාවත් සමඟයි. දකුණු ඉන්දියාව (තමිල්නාඩු) සමඟ පැවති ගෝපාලන් කුසලාන වාර්ෂික තරගය හැත්තෑ ගණන් දක්වාම නොකඩවා පැවැත්විණි.

සතාගේ අද්විතීය පිතිහරඹ කුසලතාව මනාව පිළිබිඹු වූයේ 1947 දකුණු ඉන්දියාවේ M.A. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දකුණු ඉන්දියාව සමඟ පැවති තරගයේදීය. චිපාවුක් ක්‍රීඩාංගණය නමින් හැඳින්වෙන්නේ ද එම පිටියමය. එහිදී මහදේවන් සතාසිවම් ලකුණු 215ක් රැස් කරමින් ක්‍රීඩා කළ ඉනිම දෙස් විදෙස් රටවල ඔහුගේ ක්‍රීඩා කෞශල්‍යයේ තරමත් ශ්‍රී ලංකාවේ (එවකට Ceylon) නමත් සනිටුහන් වූ ඉනිමක් විය. එවකට (මුම්බායි මිරර්) පුවත්පතේ ප්‍රධාන ක්‍රිකට් විචාරකයා වූ ශ්‍රී රාම් වීරා ඔහු ගැන ලියා තිබුණේ මෙසේය.

“1947දී සිහින් සිරුරක් ඇති අයෙක් විකට්ටුවට ආයේය. මනබඳින ක්‍රීඩා විලාසයකින් හෙබි ඔහු තරමක් ඇළයට හිස්වැස්ම ලාගෙන උන්නේද කඩවසම් බවක් පාමිනි. සුදු ලේන්සුවක් කොලරයට යමින් ලාගෙන ඔහු පිටියේ හතර අතේ සියලු දිසාවන්ට පහර එල්ල කොට 215ක් රැස් කළේය. ලක්දිවෙන් පැමිණි විචිත්‍ර වීරයකු වූ මහාදේවන් සතාසිවම් එල්ල කළ පිති ප්‍රහාරය චිපවුක් ක්‍රීඩාංගණයේ මෙතෙක් මා දුටු අනර්ඝතම පිතිකරු ඉනිමයි”

එය එසේම විය. ඔහුගේ එම ඉනිම එකී ක්‍රීඩාංගණයේ වාර්තාගත ඉනිමක් වූයේ එතෙක් එහි යම් පිතිකරුවකු තබා තිබුණු වැඩිම ලකුණු සංඛ්‍යාව වූ 213 වාර්තාව (1939 ජෝ හාර්ඩ්ස්ටාෆ්) ඔහු එදා බිඳලූ බැවිනි. එම ඉනිමට 4 පහරවල් 24ක් අඩංගු වූයේය. ඉනිමට ගතවූයේ විනාඩි 248ක් පමණි. ක්‍රිකට් පොතේ සටහන් වූ පිතිකරුවකු සතු සියලුම පහරවල් (සතා) මැනවින් ප්‍රගුණ කර තිබුණේය. සියලු ඩ්‍රයිව් පහරවලින්, කට් හා පුල් පහරවල්, ඇතැඹුලක් සේ හුරැ වූ ඔහුගේ ලේට් කට් පහර කඩුලු රකින්නාට අණ්ඩර දුන් පහරක් බව කියැවේ.

1950 පොදු රාජ්‍ය මාණ්ඩලීග් පිල සමඟ ඕවල් පිටියේ පැවති තරගයේදී ලංකා පිල 153කට දැවී යද්දී ඔහු 96ක් රැස් කරමින් ශිල්ප දැක්වූයේය. ෆ්රූන්ක් වොරල්ගේ ප්‍රශංසාවට ඔහු බඳුන් වූයේ එදාය. එසේම 1945දී ඉන්දීය පිල සමඟ කොළඹ ඕවල් පිටියේ පැවති තරගයේදී ඔහු රැස් කළ 111 ක්‍රීඩා විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට භාජනය විය.

සතාගේ පළමු පෙළේ ක්‍රිකට් දිවියේදී ඔහු තරග 11කට සහභාගී වී ලකුණු 753ක් රුස් කරගෙන තිබිණි. ශතක හා අර්ධ ශතක 3 බැගින් ඔහු රැස්කර ගත්තේය.

ඔහුගේ පිති හරඹයේ සාමාන්‍ය වූ 41.83, ක්‍රීඩා තරග අඩු එකල සෑහෙන තරමේ මට්ටමකි. අන්තර් සමාජ තරගවලදී ඔහු ශතක 44ක් රුස් කිරීමට තරම් දක්ෂයකු වූයේය.

1948 දී සමස්ත ලංකා පිලේ (All Ceylon) නායකත්වය ඔහුට හිමිවිය. 1949 වසරේ කොළඹ ඕවල් පිටියේ ඔස්ට්‍රේලියාව හා පැවති තරගයේදී සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ කාසියේ වාසිය උරගා බලන්නට පිටිය මැදට ගියේ සතාය. එම අවස්ථාව මිනිස් සිරැරේ උසට සමාන ඡායාරූපයක් දැනුදු පී. සරවනමුත්තු පිටියේ ක්‍රීඩාගාරයේ ඇත.

ඒ කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද මෙන් මුදල් හම්බ කළ හැකි ක්‍රීඩාවක් නොවූයේය. යම් කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූයේ නම් එකළ එසේ කළේ ක්‍රීඩාවට ඇති ආශාව නිසාය. නැතහොත් ජීවිතය වර්ණවත් කරගැනීමේ අංගයක් ලෙසයි. (සතා) ජීවිතය රසවිඳි විනෝදකාමියෙකි. ඔහු බෝල්රූම් නැටුමේ අති දක්ෂයෙකි. පිරිමි, ගැහැනු සැමදෙනා වෙනසක් නැතිව ඔහු බෝල්රූම් නර්තනයේ යෙදෙනු දකින්නට ආසා කළහ. පිතිකරුවකු මනා පරිචයකින් යුතුව දෙපා මෙහෙයවන්නා සේ ඔහුගේ දෙපය බෝල්රූම් නැටුමටද හුරු වූයේය.

සතාගේ විනෝදකාමී දිවිය කිසිම අයුරකින් අද දවසේ තරැණ ක්‍රිකට් ක්‍රීඩකයකු ආදර්ශයකට ගතයුතු දිවියක් නොවූයේය. ඔහු සමාජ ශාලාවන්හි නොමඳව නිශා කාලය ගෙවා දැමුවේය. රෑ පහන් වනතුරු මීවිතෙන් මත්ව පැරණි ක්‍රිකට් රස කතා තෙපලමින් උන් ඔහු පසුවදා ක්‍රිකට් පිටියට බැස ශතකයක් රැස් කළේය. එහෙත් බීමත් ගතිය වැඩිදාට ඔහු උඩ පන්දු අතහැරිය බවත්, පන්දුව හඹා යමින් රැකීම අලසව සිදුකළ බවත් අතැම් සමකාලීනයන් කියා තිබේ. එහෙත් පෙරදා මීවිත රස බැලූ ඔහුගේ පිති හරඹය නම් බොහෝ විට 100න් කෙළවර වූ බව පැරණි අයගේ කියමන්වලින් සහ වාර්තාවලින් පෙනේ. ඔහු මුදල් උපයන රැකියාවක් කළේ නැත. මව සතු මුදල් සහ භාර්යාව සතු මුදල් ඔහු සිය පැවැත්ම සඳහා වියදම් කළේය. බොහෝ විට බිරිඳ සමඟ අඬදබර කර ගත්තේය. ඔහුගෙන් දික්කසාද වීමටද බිරිඳ වරෙක තීරණය කළත් පසුව එම තීරණය ඇය වෙනස් කළාය. ඔහු විවාහ වී සිටියේ මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී විරෝධී නිදහස් සටනේ පුරෝගාමියකු වූ පොන්නම්බලම් රාමනාදන්ගේ මිනිබිරිය සමඟයි. ඇය නමින් පරිපූර්ණම් ආනන්දම් රාජේන්ද්‍ර වූවාය. ඔහුගේ ක්‍රිකට් දිවියට කනකොකා හැඬුවේ තම භාර්යාව මරා දැමූ බවට චෝදනා එල්ලවීමත් සමඟය. ඔහු ගතකළ විනෝදකාමී ජීවිතය ද එසේ ඔහුව සැකයට භාජනය වන්නට එක් හේතුවක් විය.

මියයන්නට මාස කිහිපයකට පෙර සතාසිවම් එංගලන්තයට ගොස් සිටි අවස්ථාවක තමා ගෙවන දුක් කම්කටොලින් පිරි ජීවිතය ගැන ඇය ඔහුට ලියා යැව්වාය. නටමින්, බොමින් ඔහු ගත කරන සෙල්ලක්කාර ජීවිතය ගැන ඈ චෝදනාත්මක ස්වරූපයෙන් එය ලියා තිබිණි. එහි එක් තැනක මෙසේ සඳහන් විය.

“මුදල් වැයකොට බිත්ති හතරකින් නිවසක් ඉදිකළ හැකිමුත් එය නිවහනක් කරන්නට සතුටින් දිවි ගෙවන ආදරණීය බිරිඳක්ද සිටිය යුතුය”

1951 ඔක්තෝබර් 9 වැනි අඟහරුවාදා බම්බලපිටියේ සාන්ත ඕල්මන් පෙදෙසේ, (ජයමංගලම් නිවසේ) ගරාජයේ උඩුබැල්ලෙන් අතට හොවා ගෙල මත තැබූ වංගෙඩියක් සමඟ ඇගේ මිනිය හමුවිය. ඇගේ දැරිවියන් දෙදෙනා ඈ ගැන යාබද නිවසේ කාන්තාවට සැලකළ විට එම කාන්තාව මෙම දර්ශනය මුලින්ම දුටුවාය. පේරාදෙණියේ අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්ය ද සේරම්ගේ මතය වූයේ කවුරු හෝ ඈ සිටගෙන සිටියදී පිටුපසින් පැමිණ ගෙල මිරිකා මරා දමා ඇති බවයි. සතාසිවම් හා එම නිවසේ දින 11කට පෙර සේවයට පැමිණි විලියම් නැමැති 19 හැවිරිදි සේවකයාව අත්අඩංගුවට ගැනිණි. විලියම්ව පසුව රජයේ පළමු සාක්ෂිකරුවා බවට පත්කොට නිදහස් කෙරිණි.

තම ක්‍රිකට් ජීවිතයේ හොඳම අවධියේ දින 200කට වඩා රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳී ඉන්නට මහාදේවන් සතාසිවම්ට සිදුවිය.

ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන කාලයේ ගාර්ෆීල්ඩ් සෝබර්ස් හා ෆ්රූන්ක් වොරල් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ක්‍රීඩකයෝ ඔහු බලන්නට ආවෝය.

සතාසිවම්ගේ සමීප මිතුරකු වූ සුප්‍රසිද්ධ සිවිල් සේවක ඇල්ෆ්‍රඩ් මොරගොඩ ඔහුව බලන්නට ගිය වේලේ අන් අය තමා ගැන මොනවා සිතන්නේදැයි සතා, මොරගොඩ මහතාගෙන් විමසුවේය. සතා වැරදිකරුයැයි තමාගේ බිරිඳ සිතන බව මොරගොඩ මහතා නොවලහා කීවේය. ඔහු පිටව යද්දී සතා මෙසේ කී බව වාර්තා වේ.

“එයාට කියපන් ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ එයා කියලා”

සතා වෙනුවෙන් උසාවියේ කතා කළේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. මහාචාර්ය ද සේරම්ගේ ගුරු වූ අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥ සර්. සිඩ්නි ස්මිත් ද නඩුවේ කටයුතු සඳහා ගෙන්වාගනු ලැබීය.

මහාචාර්ය සිඩ්නි ස්මිත් පසු කලෙක ලියූ තම චරිතාපදානයේ සතාසිවම් නඩුව ගැන කියන්නට පිටු කිහිපයක්ම වෙන් කර තිබුණේය. මෙය මිනීමැරුමක් වග එහි කියා සිටින ඔහු මිනීමරැවා විලියම් බව සඳහන් කරයි. ඔහුගේ මතයට අනුව මිනීමැරුම සිදු වී ඇත්තේ පෙ.ව. 11.30ටයි.

නඩුවෙන් සතාසිවම් නිදහස් වූයේය. ඒ වනවිටත් එකල ජනමාධ්‍යවලින් සතාට විරුද්ධව දැඩි ප්‍රහාර එල්ලකොට තිබුණි. සතා නඩුවෙන් දිනුවාට ඊළඟට පැමිණි මහ මැතිවරණයේදී ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැල්ලවත්ත ගල්කිස්ස ආසනය පැරදුණේය. සතාගේ නඩුව වෙනුවෙන් පෙනී සිටීම ඊට හේතු විය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා දෙහිවල ඕබන් (සයිඩ්) පටුමගේ මැතිවරණ කටයුතුවල යෙදෙද්දී එක් කාන්තාවක් ඔහුට මෙසේ කීවාය.

“මෙහෙම බැලුවොත් අපි කාටවත් ඇඳේදිවත් ආරස්සාවක් නෑ”

“මැඩම් ඒක තමන්ගේ මහත්තයට කරන්න ඕන චෝදනාවක්” කොල්වින්ගේ පිළිතුර විය.

1984 කොළඹ නව නගර ශාලාවේ පැවති වෛද්‍ය නීති සභාවේ දේශනයකදී විලියම් ඇයව මැරූ බව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පරිවේෂණීය සාක්ෂිවලින් පෙනෙන ආකාරය අවධාරණය කළේය.

සතාසිවම් නඩුව ගැන අභිරුචියෙන් කියවූ ඇතැම් පාඨකයන් (සතා) නිදහස් වීම ගැන සතුටු නොවූවද ඔහුගේ ක්‍රිකට් ලෝලීහු සතා නිදහස් වූ දා ඔල්වර නැගුවෝය. එහෙත් ශ්‍රී ලංකාවේ ජීවත් වීම ඔහුට රුචි නොවූයේය. ඔහු මැලේසියාවටත්, ඉන්පසු සිංගප්පූරුවටත් ගොස් එම දෙරටේම ක්‍රිකට් පිලේ නායකත්වය ඉසිලුවේය. රටවල් තුනක ක්‍රිකට් නායකත්වය දැරූ එකම ශ්‍රී ලාංකිකයා ඔහුය. එය ද ඔහු තැබූ වාර්තාවකි.

හැට ගණන්වල මුලදී ඔහු නැවත මෙරටට පැමිණ කොළඹ BRC පිටියේ පැවති ඩොනමන් ඇන්ඩ්‍රි කුසලාන තරගයකට සහභාගී වී පිති හරඹයේ යෙදෙමින් උන්නේය. එවේලේ පනස් ගණන් අගභාගයේ සාන්ත තෝමසුන්ගේ පිලේ දක්ෂ පන්දු යවන්නකු වූ ඩෙනිස් ෆර්ඩිනන්ස් ඔහුට බවුන්සර පන්දුවක් එව්වේය.

“මට බවුන්සර් එවන්න එපා පුතා. මම නාකි මිනිහෙක්” සතා කීවේය.

ඩෙනිස් ඊළඟට ද එව්වේ බවුන්සරයකි. එවර සතා එල්ල කළ හූක් පහරෙන් බැට කෑ පන්දුව ඉහළින් පියඹා පතිත වූයේ BRC පිටියේ අයිනක ඇති ගස් වැල්වල අතු අතරේය. පන්දුව එන එල්ලයටම ගොස් ඔහු අති නිවැරදි ලෙස එම පහර එල්ල කොට තිබිණි.

තමාගේ නම්බුව රට තුළදී ආරක්ෂා කරගන්නට බැරි වුණත් ක්‍රිකට් ක්‍රීඩා කොට රටේ නම්බුව රැක දුන් මහාදේවන් සතාසිවම් 1977 ජූලි 9 වැනිදා අවුරැදු 61ක් ආයු වළඳා සදහටම දෙනෙත් පියාගත්තේය.

ඉහළ පහළ යාම් වරින් වර සිදු වුවද රටේ අභිමානය රැකගත හැකි තරම් පදනමක් අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් පුරා පැරැන්නන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවට දී තිබේ. කොදෙව්වන් වැනි පතාකයන් ඉදිරියේ වැටී සිටි අප ජයගත්තේ ඒ නිසාය.

 සමන් පුෂ්ප ලියනගේ
   (ඡායාරූපය - අන්තර්ජාලයෙනි)