2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ඇඟිලි පතුරු යනතුරු යතුරු කපන රාසික්

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

“දෙයියන්ගේ පිහිටෙන් වරදක් නෑ රස්සාව. දෑතේ රස්සාවනේ. වෙළෙඳාම් තියන වේලාවලුත් තියනවා නැති වෙලාවලුත් තියනවා. යතුරු පාවිච්චි කරන කාටත් ඉතින් අපිව උවමනා වෙනවානේ.”

මොහොමඩ් රාසික්ගේ උපන් ගම නුවරයි. විවාහයෙන් පසු කොළඹ 02 පදිංචියට ආ රාසික් යතුරු කැපීමේ කලාව ප්‍රගුණ කළේ බිරිඳගේ ඥාති පරපුරෙනි. කොල්ලුපිටියේ ගාලු පාර අසල පදික වේදිකාවේ සිටි රාසික් වසර විසිපහක් පුරා දහසකුත් දෙනා වෙනුවෙන් යතුරු කපා ඇත. උදෑසන බසයේ විත් කොල්ලුපිටියෙන් බැස ලොකු ලොකු කන්තෝරුවල රාජකාරිය යන කාහටත් රාසික්ගේ රුව නෙත ගැටෙයි. මේ වියපත් මිනිසාට ඇත්තේ අපූරු සිනහවකි. එම සිනහව නිසා දෝ එක්තරා උදෑසනක කඩිමුඩියේ පත්තර කන්තෝරුවට යන ගමනේදී අපට ඔහු සමඟ පිළිසඳරක යෙදීමට සිත් පහළ විය. පදිකවේදිකාවේ ඔහු අසලින් වාඩි වූ අපි ඔහු සමඟ දිග කතාවට වැටුණෙමු.

“මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ කොල්ලුපිටියේ ඇතනීස් මාවත ගාව. ඊට පස්සේ මම ආයේ නුවර ගියා. නුවර කටු කැලේ අපේ ගේ ඉස්සරහා දාගෙන මම බිස්නස් කරා. එහේ යතුරු කපන වැඩ වැඩී. රෑට ඇවිල්ලා දොරට තට්ටු කරනවා නින්දක් නෑ. හරි කරදරයි නුවර. මම ආපහු ආවා කොළඹ. හිටපු තැන ඉඳන්ම යතුරු කැපුවා. පස්සේ ඉතින් කොල්ලුපිටියේම එක තැන්වලට මාරු වුණා. දැන් මෙතන්ට වෙලා ඉන්නවා.”

එක්දහස් නවසීය අසූ දෙකේ කොළොඹ විත් කොම්පඤ්ඤවීදියේ මුසා නම් ප්‍රකට යතුරු කපන්නා යටතේ රැකියාව උගත් රාසික් අද දෙදරු පියෙකි. ඔහුගේ පුතා ද රුකියාවක් කරයි. දියණිය ද  විවාහකය. නමුත් රාසික් සිය රුකියාව අතහරින්ට සූදානම් නැත. අතීතයේ තරම් වෙහෙසවී කටයුතු නොකරත් අද ඔහුගේ සේවය කොල්ලුපිටිය අවට බැංකු සහ තවත් ප්‍රකට ආයතන ලබාගනී. ඔවුන් බොහෝවිට රාසික් අමතන්නේ දුරකථයෙනි. එවිට ඔහු තම ආම්පන්න ද රැගෙන අදාළ ස්ථානයට යයි.

“එයාලා බැංකුවේ ඉඳන් කෝල් කරනවා. යකඩ කබඩ් එකේ යතුරක් නැතිවෙලා කියනවා. කබඩ් එක ඇරලා යතුර කපන්න කියනවා. ඊට පස්සේ මම ගිහිල්ලා බලලා මගේ ගාණ කතා කරනවා. ඒ කරලා මම කබඩ් එක ඇරලා ලොක් එක ගලවනවා. ඒකේ මද ටික ඔක්කොම මාරු කරලා මං යතුරු කපලා දෙනවා. මොකද නැති වෙච්ච යතුරට ආයේ ඇරෙන්නේ නැති වෙන්න. යතුරක් නැති වෙනවා කියන්නේ කවුරු හරි ඒක හොරකම් කරලා ඒක අරින්න පුළුවන්. යතුරු කපනවා කියන්නේ හරි සියුම් කාරියක්. කෙස් ගස් වගේ ඒකේ කට්ට.”

රාසික් යතුරු කැපීමේ රාජකාරියේ බාරදූරකම අපට පහදා දෙයි. වසර විසිපහක් යනු සුළුපටු කාලයක් නොවේ. රාසික් හට අපට කියන්නට බොහෝ කතා තිබේ. තමන් දත් ශිල්පයෙන් බොහෝ දෙනාට පිහිට වූ හැටි මේ වියපත් මිනිසා අපට කියයි. ලොක්කගේ වහානයේ යතුර නැති කරගන්නා රියදුරන් එදා සරණ පතා අවේ රාසික් ළඟටයි. රැකියාව නැති වෙතැයි බියෙන් තමන්ගේ දරු පවුල් දුක කී එම රියදුරන්ට රාසික් පිළිසරණක් වූයේ මුදල් ද නොගෙනය. එහෙත් ලොකු තැන්වල වැඩවල දී වාහනයක යතුරක් කැපීමට රාසික් රුපියල් හාර පන්දහක් ලබා ගන්නා බවද කියයි. ‍අපගේ කතාව දික් ඇදෙන විට හිටි හැටියේම අප ඇසූ පැනයකට රාසික් අපූරු උත්තරයක් ලබා දුන්නේය. 

“ඕ.. හොර වැඩවලට සෑහෙන්න ඇවිල්ලා තියනවා මං ළඟට. අපෝ... මම සල්ලිවලට ඇබ්බැහි වෙන්නේ නෑ. සල්ලි වලට ආස වෙලා තණ්හාවට මම වැඩ කරන්නේ නෑ. සමහර මිනිස්සු ලියාගෙන මාක් කරගෙන එනවා. සබන් අච්චුවේ ගේනවා. ක්ලේවල ගේනවා. යතුරේ හැඩේ කියනවා. මං ඒ කිසි දෙයක් කරන්නේ නෑ. මම කියනවා මට ඕවා කරන්න තේරෙන්නේ නෑ කියලා. පොලිසියෙන් සී.අයි.ඩී එකෙන් ඇවිල්ලා අහලා තියනවා. දවසක් මම දන්නේ නැතුව සී.අයි.ඩී මහත්තයකුට බැන්නා. “යනෝ ඕයි බම්බුගහන්නේ නැතුව අපිවත් එක්ක අමාරුවේ දාන්නේ නැතිව..” කියලා. පස්සේ තමා දන්නේ එයා සී.අයි.ඩී එක්කෙනෙක් කියලා.”

පදික වේදිකාවේ යතුරු කපන රාසික් හොර යතුරු නොකැපීම පුදුමයක් යැයි යමකුට සිතිය හැකිය. එහෙත් දුක් මහන්සි වී ඉගෙන ගත් රැකියාව නොමනා ලෙස භාවිතා කරන්නන් රාසික් දැඩිව විවේචන කරයි. වෙනතක් තබා බැංකුවල යතුරු කැපීමේ කටයුතුවලට තනිව යන්නේ විශ්වාසය ආරක්ෂා කරගැනීම උදෙසා බව ඔහු අපට පහදා දෙයි. රුකියාවේ දී උපයා ගත් මිල මුදල්වලට වඩා ඔහු උපයා ගත් විශ්වාසය විසල්ය. කොල්ලුපිටියේ රාසික් මොහොමඩ්ගේ සේවාදායක ලයිස්තුව සොයා බලතොත් ඔබටත් එය අවබෝධ වනු ඇත.

“මම ඇවිල්ලා පල්ලියට යන මිනිහෙක්. මම ආගම ධර්මයට මුල් තැන දෙන්නේ. ඊට පස්සේ තමා සල්ලි ඔක්කොම. මොනවාත් ගෙනාවෙත් නෑ... මැරෙන කොට  ගෙනියන්නෙත් නෑ. හොඳ නරක විතරයි තියෙන්නේ. අපි කරන දේ හරියට හොඳට කරානම් අපි යන වළට පිනක් හම්බවෙනවා. නැත්නම් අපිට ව‍ළෙත් නිදහසක් නෑ. අපාය වගේ.”

ඉතා සරල ලෙස කතා කරන පැසුණු මිනිසා මේ අපට පවසන්නේ ගැඹුරු දහමක් නෙවේ ද? ඔහුගේ ජීවිතාවබෝධය සැබවින්ම අප මවිත කළේය. වර්තමානයේ රාසික්ගේ මාසික ආදායම රුපියල් තිස්හතළිස් දහසකි. එහෙත් අතීතයේ දී ඊට වඩා දෙතුන් ගුණයකින් ඉහළ බව ඔහු කියයි. 

“ඉස්සර මාසයකට හැත්තෑපන්දහසක්, ලක්ෂයක් හොයපු කාල තිබ්බා. එතොකොට ජොලී කරලා තියෙනවා ඇතිවෙන්න. ඒ කලේ සල්ලි වැඩි වෙනකොට දවස් දෙක තුනක් වෙළෙඳාම් කරන්නේ නෑ. එහේ මෙහේ ගමන් බිමන් යනවා. ම්ම්ම්..  ඒ කාලේ ඉවරයි දැන්... ගෙදර වියදම හොයාගන්න මේක කරන්නේ. දැන් හරි අමාරුයි. යතුරුත් ගාණ වැඩි. බිස්නසුත් අඩුයි.”

වේලාව කෙමෙන් ගෙවී පදික වේදිකාවෙන් නැගිට අප කන්තෝරුව බලා යා යුතුය. රාසික් ද උදෑසන සිය රාජකාරි ආරම්භ කළ යුතුව තිබේ. කවුරුන් හෝ පැමිණ සිය අකරතැබ්බයෙන් ගැලවීමට තවත් නොබෝ වේලාවකින් මේ වියපත් මිනිසා කැඳවාගෙන යනු ඇත. වාසනාවේ යතුර කපා ගත නොහැකි වූ නමුදු මනුෂ්‍යත්වයේ යතුර කපා ගත් රාසික් මොහොමඩ් අදත් කාට හෝ සරණ වනු ඇත. අවසානයේ ඔහු කී කතාවකින් මෙම සටහන මෙසේ නිමා කරමු.

“මට යතුරු කපන්න මැෂින් ඔක්කොම තියනවා. ඒ වුණාට මට දාගන්න තැනක් නෑ. පේමන්ට් එකේ තමයි මම ඉන්නේ. කඩයක් අරන් කරන්න බෑ. ලක්ෂ ගණන් ඉල්ලනවා. මට මේතැන ඇරෙන්න වෙන කොහොවත් ගිහිල්ලා කරන්නත් බෑ. ඒ නිසා දැන් මට පුළුවන් විදිහට දවසේ වියදම හොයා ගන්නවා. අපිට හරියට ඉන්න තැනක් දෙනවා නම් කරත්තයක් දෙනවා නම් වටිනවා. කරත්තයක් තිබ්බා නම් මට බිස්නස් එක වැඩි. මට මැෂිමක් දාගෙන වැඩ කරන්න පුළුවන්. කරත්තයක් තිබ්බා නම් දවසට දෙදහක් තුන් දහක් හොයන්න පුළුවන්කමක් තියෙනවා.”

සටහන සේයා රූ - චමිඳු නිසල් ද සිල්වා