2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ලංකාවේ ගිනි රස්නේ

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 206

ලක් පොළෝ තලය අසාමාන්‍ය ලෙස උණුසුම් විම නිසා මේ වනවිට බොහෝ දෙනා පීඩාවට පත්වෙමින් සිටිති. දැඩි සූර්ය රශ්මියෙන් රටම දැවෙමින් පවතින්නේ ඉතිහාසයේ සිදු නොවූ විරූ ආකාරයටය. දිවයිනේ පවතින සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩිවීමක් මේ දිනවල පෙන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 70 දශකයකට පෙර අතීත අත්දැකීම් සිහිපත් කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පවසන්නේ මෙය අබුද්දස්ස කාලයට සිදුවන්නක් ලෙසටය.

රටේ මේ දිනවල හටගෙන ඇති දැඩි නියගය දිස්ත්‍රික් ගණනාවකට දැඩි බලපෑම් ඇතිකර තිබේ. ඇතැම් ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය නැත. තව ප්‍රදේශවල කුඹුරු දැවී ගොස් ඇත. තවත් ප්‍රදේශවලට වැස්ස නැතිකම නිසා වගාවන් මෙන්ම ඔවුන්ගේ දෛනික කටයුතු ද ඇණහිට ඇත. මේ හැරෙන්නට රටේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව විදුලිය උත්පාදන ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ. දේශපාලන උණුසුම නිසා බොහෝ දෙනකුගේ අවධානය මේ කෙරෙන් දුරස් වෙමින් පවතින බවද දැකගත හැකිය.

වසර පහකට හෝ හයකට වරක් නියඟයකට මුහුණ දෙන්නට සිදුවීම ශ්‍රී ලංකාවේ දේශගුණික රටාවේ එක්තරා ලක්ෂණයකි. එහෙත් මේ වනවිට සෑම වසරකම පාහේ දැඩි නියං කාලයක් එළඹෙයි. එවැනි නියං කාලවලට මුහුණදීමට පෙර සූදානමක් නැත. එහි ප්‍රතිඵල ලෙස තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශ ද ජල හිඟයකට මුහුණ දෙයි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් රටේ බොහෝ ප්‍රදේශ කාන්තාර බවට පත්වනු ඇත. ඉතියෝපියාවට සිදුවූයේ ද මේ ටිකමය. දේශපාලන අර්බුදවලට හා ත්‍රස්තවාදී ගැටුම්වලට මුහුණ දුන් ඉතියෝපියාව පරිසරය සම්පූර්ණයෙන්ම අමතක කර දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් එය සිදු විය.

කාසල්රී, මාවුස්සා කැලේ, කොත්මලේ, වික්ටෝරියා හා රන්ටැඹේ හා ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යන්නට පටන්ගෙන තිබේ. කාලගුණ විද්‍යාඥයෝ මෙයට හේතු දෙකක් දක්වති. එක ජලාශවල ජලපෝෂක ප්‍රදේශ සීඝ්‍රයෙන් විනාශ වීමය. දෙක මෝසම් වැසි ප්‍රමාද වීමය. විශේෂයෙන් ඊසාන දිග මෝසම සක්‍රීය නොවූ බව ඔවුහු පෙන්වා දෙති. ජලාශවල රොන් මඩ පිරී තිබීම ද මීට හේතුවක් ලෙස දැක්විය හැකිය. රොන් මඩ නිසා විශාල ජල ධාරිතාවන් රඳවා තබා ගැනීමේ හැකියාව මේ ජලාශ වෙතින් ගිලිහී ගොස් ඇත. පළමුව මේවා පිළිබඳ විධිමත් නිරීක්ෂණයක් කළ යුතුය. දෙවනුව කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් ක්‍රියාත්මක කළ යුතුය.

දැඩි නියඟයත් සමඟ රට පුරා බොහෝ ජනතාව මහත් දුෂ්කරතාවකට පත්ව සිටින බවද අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති. මෙම වියළි දේශගුණික තත්ත්වය අද වෙද්දී බහුලව දකින්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයත්, අන්තර්මැද දේශගුණික කලාපයත් යන දෙක අතරේය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 20%ක් තෙත් කලාපයට අයත් වන අතර වියළි කලාපයට 60%ක් ද මැද දේශගුණික තත්ත්වය 20%ක් ද වේ. මෙම උණුසුම් කාලගුණික තත්ත්වය මෙරට භූමි ප්‍රදේශයෙන් 70%කට වැඩි ප්‍රමාණයකට බලපා තිබේ.

මෙරට වර්ෂාපතන රටාවේ ව්‍යාප්තිය අනුව මෙය සංවහන වර්ෂා ඇතිවන කාලයක් ලෙස හැඳින්විය හැකිය. දේශගුණික තත්ත්වය හමුවේ ඊසාන දිග මෝසම් කාලයට සරිලන වර්ෂාපතනයක් මෙරටට නොලැබිණි. පසුගිය කාලයේ ඊසානදිග මෝසම සක්‍රීය වී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි ලැබුණ ද එය ප්‍රමාණවත් ලෙස ලැබුණු වර්ෂාවක් ලෙස හැඳින්විය නොහැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සුළඟේ වේගය අඩුවීම සහ වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවීම මෙම අධික උෂ්ණත්වයට ප්‍රධාන හේතුව බවයි. මේ තත්ත්වය ලබන මැයි මාසය දක්වා පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ. ආර්. අබේසිංහ
මේ දිනවල රටේ සමහර ප්‍රදේශවලට පවතින අධික උණුසුමට හේතුව තමයි මේ දිනවල වායුගෝලයේ සුළං අඩුවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අධික වීම. පසුගිය කාලයේ දත්ත සලකා බැලූවිට මෙම තත්ත්වය ලබන මැයි මාසය වෙනකම් පවතියි කියන විශ්වාසය තියෙනවා. කෙසේ වෙතත් මැයි මාසයේ සිට නිරිත දිග මෝසම සක්‍රීය වූ විට මෙම තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන්න පුළුවන්. ඒ වගේම තමයි කිසි දවසක නොවූ විරූ ආකාරයෙන් එකිනෙකට විරුද්ධ කාලගුණ වෙනස්වීම් අප රටට බලපා තියෙන්නේ. ලෝකයේ තියෙන අනෙකුත් දේශගුණ විපර්යාසවල බලපෑමටත් අපේ රට අසු වී තිබෙන නිසා. කෙසේ වෙතත් අපේ රටේත්, ලෝකයේත් බොහෝ පිරිස් කරන පරිසරය විනාශ කරන ඇතැම් ක්‍රියාකාරකම් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මෙවැනි තත්ත්වයක් යටතේ ජල ගැටලුව. ඒ නිසා බොහෝදෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා මේ උණුසුම පහව යනතෙක්. ඒ වගේම තමයි මැයි මාසය අවස් වනවිට මෙම තත්ත්වය පහව යයි කියලා අපි විශ්වාස කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක
දිවයිනේ මේ දිනවල බොහෝ පළාත්වල තියෙන්නේ වියළි කාලගුණික තත්ත්වයක්. මේ හේතුව නිසා එම පළාත්වල බොහෝවිට පවතින්නේ තිබෙන උෂ්ණත්වයට වඩා දැඩි උණුසුම් තත්ත්වයක්. නමුත් අතරින් පතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබෙන තත්ත්වයන් තියෙනවා. මේ උෂ්ණත්ව තත්ත්වය පහළ යන්න නම් දිවයිනට අන්තර් මෝසම් වැසි ඇද හැලිය යුතුයි.

ඒ තත්ත්වය අපිට බොහෝවිට බලාපොරොත්තු වන්න පුළුවන් මාර්තු මැද සිට අප්‍රේල් දක්වා කාලය තුළ. මාර්තු මාසයේ මේ වර්ෂාව දිවයිනට ලැබුණොත් මේ අධික උෂ්ණත්වය පහව යයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලනවා අධික රස්නය මගින් ආරක්ෂා වෙන්න කියලා. ඒ වගේම ජලයත් අඛණ්ඩව පාවිච්චි කරන්න කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ
දිවයිනට බලපා තිබෙන අධික පෑවිල්ල සහිත නියං තත්ත්වය නිසා දිස්ත්‍රික් 04ක පවුල් 3862ක පුද්ගලයන් 15666ක් පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ කාලය තුළ ජනතාවට තිබෙන ප්‍රශ්නය තමයි ජල ප්‍රශ්නය. මොකද මේ දැඩි නියගය පවතින ප්‍රදේශවල මේ වනවිට ජලය නැහැ. ළිං, වැව් අමුණු මෙන්ම ජලාශවල ජලය හිඳී ගොස් තිබෙනවා. මෙලෙස විපතට පත්වූ ප්‍රදේශවල ජනතාවට පානීය ජලය බෙදාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කටයුතු කර තිබෙනවා.
► සටහන - හසිත් අංජන