2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

මුක්කුව ගැලවූ ජිනීවා යෝජනා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 225

යහපාලන ආණ්ඩුව විසින් 2015, සහ 2016 යන වසරවල ජිනීවා මානව හිමිකම් කොමිසම සමග එකඟතාවයකට පැමිණ තිබූ  ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ 30/1, සහ 40/1 යන යෝජනා දෙකේ සම අනුග්‍රාහකත්වයෙන් වහාම ඉවත්වීමට පසුගිය සතියේ තීරණය කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මෙම යෝජනාව පසුගිය 19 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි. යෝජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බවට 20 වැනිදා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී පෙබරවාරි 24දා ආරම්භ විය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සමුළුවේදී සලකා බැලේ. එය මාර්තු මස 20 දා තෙක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ විසින් 27දා වාචිකව කරැණු දැක්වීමට නියමිතය. 

26 දා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තමන් යෝජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිලවශයෙන් දැනුම් දුන්නේය. “30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමේදී පසුගිය රජය විසින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම උල්ලංඝනය කළා. කෙටුම්පත් ඉදිරිපත් කිරීමට පෙර සිටම යෝජනාවට සහය දෙන බව දන්වා තිබුණා. ජාත්‍යන්තර ආයතනයක නියෝග පිළිපැදීමට කිසිදු කැබිනට් අනුමැතියක් ඉල්ලා සිටියේ නැහැ. එවැනි සම අනුග්‍රාහකත්ව ක්‍රියාවලියක් භාර ගැනීම හා ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුවට කිසිදු සඳහනක් කර නැහැ. වැදගත්ම දෙය නම් යෝජනාවට, එහි ආවේණිකතාව නිසා ලබා දිය නොහැකි ප්‍රතිපාදන ඇතුළත් කිරීමයි. එය නීති විරෝධී මෙන්ම රටේ උත්තරීතර නීතිය වන ශ්‍රී ලංකා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.. එවක හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමාගෙන් මේ සම්බන්ධව කිසිදු උපදෙසක් ලබා නොගත් බවයි. 30/1 යෝජනාවට අනුකූලව රට තුළ සිදු කළ වෙනස්කම්, ජාතික ආරක්ෂාව අඩපණ කිරීම හා ජාතික බුද්ධි අංශ අඩපණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2019 පාස්කු ප්‍රහාරය සිදුවුණා. ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපගේ රජයටද ඇති අභියෝගයක්. අති බහුතරයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාව රට නිවැරදි මාවතකට ගෙන යෑම සඳහා පැහැදිලි අවස්ථාවක් ලබා දී තිබෙනවා.  සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශ කරන්නේ මෙම සන්දර්භය තුළ සිටිමිනුයි. මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන්  ඉවත් වුවද  ශ්‍රී ලාංකිකයන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවීමෙන්  වගවීම, මානව හිමිකම්, තිරසර සාමය හා සංහිඳියාව සම්බන්ධයෙක් කටයුතු කරනවා” යැයි  ඔහු එහිදී ප්‍රකාශ කළේය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවාහි රැඳී සිටින කාලය තුළදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවීමටද අපේක්ෂා කෙරේ. 43 වැනි මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කිරීමට නියමිතය. එයට 2015, 2016 යන වසරවල එකඟතාවයට පැමිණි 30/1 සහ 34/1 යන පූර්ව යෝජනා සම්මුති ඇසුරින් 2019 දී සකස් කෙරුණු ශ්‍රී ලංකාවේ  සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය දැනුම් දීම එම යෝජනාවලින් එකකි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ  සම අනුග්‍රාහකත්වයෙන්  යුතුව  මෙරට මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධ 30/1 දරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරනු ලැබුවේ 2015 වසරේය. මෙරට පැවැති යුද්ධයේ අවසාන කාලයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම හා අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් වූ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව එකඟව සිටිමුත් එය ඉටු කිරීමට අපොහොසත් වීම මත 2017 මාර්තු මාසයේ 34/1 යෝජනා සම්මතය මගින්ද 2019 මාර්තු මාසයේ 40/1 යෝජනා සම්මතය මගින්ද 30/1 යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථා දෙකකදී කාලය දිගු කිරීමට මානව හිමිකම් කවුන්සිලය පියවර ගත්තේය. 

මෙම යෝජනා දෙක මගින් පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අභිබවා යන බලය බෙදාහැරීමක් අපේක්ෂා කළ සෙයක් පෙනෙන්නට තිබිණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා ලද හමුදා සෙබළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනා දෙකට ඇතුළත් ප්‍රධාන කරුණු විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලියේ අන්තර්ගත කරුණු 9 මේ අයුරිනි. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබාදීම, සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම, අතුරැදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම, වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම, එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම, විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍, අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම, ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම සහ කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබාගැනීමට අවසර දීම එම කරුණුය.

30/1 සහ 40/1 යෝජනාවලියේ අඩංගු නිර්දේශවලින් ඇතැම් යෝජනා ශ‍්‍රී ලංකාව මේ වනවිට ඉටුකර අවසන්ය. මෙතෙක් ඉටුකර නොමැත්තේ 6 වැනි වගන්තියේ එන විශේෂ උපදෙස් මත ක‍්‍රියාත්මක අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපනය කිරීම සහ 8 වැනි වගන්තියේ එන ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට හා දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම වැනි යෝජනා කිහිපයක් පමණි. මෙම යෝජනා ඉටුකිරීම සඳහා පැවැති ආණ්ඩුව 2021 දක්වා කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර ඊට මානව හිමිකම් කවුන්සිලයේ අනුමැතිය හිමිවිය. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිවිතුරු හෙළඋරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, 

&30/1 වගන්තිය සහ 40/1 වගන්තිය යන දෙකේම අඩංගු කරුණු සමානයි. 2016දී ඉදිරිපත් කළේ 2015 ඉදිරිපත් කළ යෝජනාවලියේ තිබූ යෝජනාවලට වඩා අඩු යෝජනා ප්‍රමාණයක්. අපි මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වන්නේ නැහැ. ඉවත් වන්නේ මේ යෝජනාවලට දක්වන සම අනුග්‍රාහකත්වයෙන් පමණයි. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම හරහා අපි කියන්නේ මෙම යෝජනාවල අඩංගු කරුණු නොපිළිගන්නා බවයි. එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීම පමණක් ප්‍රමාණවත්. සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බටහිර රටවල් කුමන ක්‍රියාමාර්ගයක් ගනීද කියා දැන්ම අනාවැකි පලකළ නොහැකියි. ඔවුන් මෙය මානව හිමිකම් කඩකිරීමක් ලෙස අර්ථකතනය කොට කුමන ආකාරයේ ඉදිරි පියවරක් ගනීද කියා දැන්ම කියන්න බැහැ. මෙම යෝජනාවලින් ඉවත් වූ බවට අපි නිලවශයෙන් දැනුම් දී තිබෙනවා. එහෙත් මේ වන තෙක් අපට තහංචි දමන බවට කිසිවකු සඳහන් කර නැහැ.” යනුවෙන් සඳහන් කළේය. 

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීමෙන් පමණක්  සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් විය හැකි බවට  උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළද තවත් පිරිසකගේ මතය වී ඇත්තේ එසේ කළ නොහැකි බවටය. හුදෙක් එවැනි ප්‍රකාශයක් කිරීම මගින් එම යෝජනාවලියෙන් ඉවත් විය නොහැකි බවත් එසේ කළ හැකි වන්නේ ඒ සඳහා යෝජනාවක් මෙවර පැවැත්වෙන 43 වැනි සමුළුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පමණක් බවත් ඔවුහු සඳහන් කරති. 40/1 යෝජනාව විසින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයට පවරණ ලද වගකීම් අනුව මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව එම යෝජනාව ඉටු කිරීම සම්බන්ධ ප්‍රගතිය ගැන අන්තර් වාර්තාවක් ද, 2021 මාර්තු මාසයේ  පැවැත්වෙන සැසිවාරයට පරිපුර්ණ වාර්තාවක්ද ඉදිරිපත් කළ යුතු වන අතර. එම වගකීම ඉවත්කළ හැක්කේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් මගින් පමණකැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වත්හු ප්‍රකාශ කරති.

ශ්‍රී ලංකාව ඉහත කී යෝජනා දෙකෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට එලෙස ඉවත් විය නොහැකි බවටය. දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් ප්‍රකාශ කළේ 2015දී මෙම යෝජනා ඉදිරිපත්වීමෙන් පසු සාකච්ඡා ගණනාවක් පවත්වා ආණ්ඩුව මෙයට සම අනුග්‍රහය ලබා දීමට එකඟ වූ බවය. “සම්මත කරගත් යෝජනාවකින් කිසියම් රටකට ඉවත් විය හැකි වුවද ඉන් එම යෝජනාවට කිසිදු බලපෑමක් හෝ අවලංගු වීමක් සිදු වන්නේ නැහැ. සම්මත කළ යෝජනාව යෝජනාවක් ලෙසම පවතීවි” යනුවෙනි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේ “මානව හිමිකම් කොමිසමෙන් සම්මත වන යෝජනාවකින් රටක් පාලනය වන්නේ නැහැ. එවැනි යෝජනාවකට සහයෝගය නොදෙන්නේ නම් එය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්. රජය මෙම යෝජනාවලින් ඉවත් වන බව පවසන්නේ තමන් වීරයන් ලෙස පෙන්වා ඉදිරි මහ මැතිවරණයේදී බහුතර සිංහල ජන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින්. තමන් ජාත්‍යන්තරය ගණන් නොගෙන අපේ ගැටලු අපටම විසඳාගත හැකියැයි පෙන්වීමේ උවමනාවක් රජයට තිබෙනවා. ඔවුන් මෙම යෝජනාවලින් ඉවත්වනවා යැයි පැවසීම කිසිදු වැඩකට නැති ප්‍රකාශයක්. ඔවුන් මෙවැනි දෙයක් කරනු ඇතැයි යන සැකය අපිට තිබුණා.” යැයි ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව 30/1 සහ 40/1 යෝජනාවලින් ඉවත්වීමේ තීරණයකට එළඹියේ ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් කරන ලද නිවේදනයෙන් පසුය. ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට මෙම තහංචිය පැනවූයේ 2009 යුද සමයේ අවසන් කාලයේ සිදුකරන ලද බවට පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා මුල්කර ගනිමින් යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනයෙහි දැක්විණි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00