2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ජාතික ජනබලවේගයේ මැතිවරණ සූදානම

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයට තරග වැදුණේ ජාතික ජනබලවේගය ලෙසිනි. මෙරට සිටින බුද්ධිමතුන්, වෘත්තියකයන් හා කලාකරුවන් වැනි පිරිසකගෙන් සැදුම් ලත් ජාතික ජනබලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද මාලිමාව ලකුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්වලට තරග කිරීමට නියමිතය. ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගය හා එක්වූ පිරිසට වඩා වැඩි පිරිසක් මේ වන විට ඔවුන් සමඟ එක්වී සිටිති. මේ වන විට සංවිධාන 32ක් පමණ සන්ධානගතව සිටින අතර ඉදිරි කාලයේ එම ප්‍රමාණය තවත් වර්ධනය වීමට ඉඩ තිබේ.

ඔවුන් ඉදිරි මැතිවරණය සඳහා බිම් මට්ටමේ වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර අවසන්ය. පසුගිය දෙසැම්බරයේ සිට ජනවාරිය දක්වා දින පනහක වැඩසටහනක් ක්‍රියාවට නංවමින් ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් මෙහෙයුම් දියත් කර තිබේ. පෙබරවාරි මාසය පුරා දිස්ත්‍රික් 22 පුරා සමුළු පැවැත්වීමට පියවර ගෙන තිබේ. එම සමුළුවලදී එම ප්‍රදේශයෙන් තරගවදින අපේක්ෂකයන් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කරයි. මේ වනවිට ඉදිරි මහා මැතිවරණය සඳහා අවශ්‍ය සියලු සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පැවසීය. “අපි ප්‍රචාරක කටයුතු කියල විශේෂයෙන් කිසිවක් කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ දුර්දාන්ත වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන ජනකොටස් ඒකරාශී කරගෙන ගම් මට්ටමින් සාකච්ඡා මාලාවක් පවත්වනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය පාවිච්චි කරලා විවිධ හේතු මත ඉන් බැහැර වූ පිරිස් යළි එක් කර ගැනීමටත් කටයුතු කරනවා. දැනුම්වත් කිරීමේ සහ සංවිධානත්මක කටයුතුවලට මුල්තැනක් ලබාදී තිබෙනවා.”
ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම අවම වූ අතර මහ මැතිවරණයේදී එම තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතික ජනබලවේගය කටයුතු කරන්නේ කෙසේදැයි  විමසූ විට බිමල් රත්නායක මන්ත්‍රීවරයා මෙලෙස කියා සිටියේය.

“ජනාධිපතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණට සැමවිටම ඡන්ද අවම වෙනවා. තුන්වෙනි බලවේගයකට වඩා ජනතාව අවධානය යොමු කරන්නේ ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනා වෙතයි. එහෙත් පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණවලදී එම තත්ත්වය වෙනස්. පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවෙනවා. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුය යන හැඟීමක් ප්‍රධාන පෙළේ පක්ෂ දෙකට විරැද්ධ ජනතාව අතර තිබෙනවා. එමෙන්ම මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තේරී පත්වනු ඇතැයි යන විශ්වාසය ඇති නිසා තමන් භාවිත කරන ඡන්දය අපතේ නොයන බවට වන හැඟීම ඔවුනට තිබෙනවා. ගම් මට්මින් හා ජාතික මට්ටමින් ජනතාව හඳුනන පිරිසක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරනවා. අපිට වැඩි ආසන ප්‍රමාණයක් හිමිවෙයි කියන විශ්වාසය තියෙනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් පසු තමන් ගම් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කළ බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ජාතික ජනබලවේගයේ නායකයන්ගේ මැදිහත්වීම යටතේ කොට්ඨාශ මට්ටමින් සාකච්ඡා හා සංවිධාන කටයුතු කළ බවද ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් සමුළු පෙබරවාරි 01 දින කුරුණෑගලින් ආරම්භ කළ අතර මේ වන විට ඒවා දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන බවත්  මාර්තු 02 පමණ වන අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම නව සංවිධාන ජාතික ජනබලවේගයට සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ. මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම පිළිබඳ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ.

“ජාතික ජනබලවේගය සම්ඟ සන්ධානගතව සිටින කණ්ඩායම් ඔවුන් තරග කිරීමට අපේක්ෂා කරන දිස්ත්‍රික්ක හා නම් කරන අපේක්ෂකයන් පිළිබඳ ලැයිස්තු සකස් කරමින් තිබෙනවා. නොබෝ දිනකින් එම කටයුතු අවසන් කරගත හැකි වේවි. එම ඉල්ලීම් ඉදිරිපත් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් එකඟතාවකට එනවා. ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා ප්‍රාදේශීය සභා මැතිවරණය යන මැතිවරණ හතරේදී ජනතාව හැසිරෙන්නේ වෙනස් ආකාරයෙන්. පසුගිය ජනාධිපතිවරණයේ ලක්ෂ එකසිය විසිපහක් පමණ ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදී ගියේ ජයග්‍රහණය සඳහා වැඩිම අවස්ථාව තිබුණේ ඔවුන් දෙදෙනා අතර නිසයි.  මෙරට පැවැති සියලුම ජනාධිපතිවරණවලදී එම තත්ත්වය ඇති වුණා. තුන්වැනි බලවේගයේ අපේක්ෂයාට ඡන්ද ලක්ෂ 4 ඉක්මවා යාමට ජනාධිපතිවරණ අටක් යනතෙක් බලා සිටිය යුතු වුණා. එහෙත් මහ මැතිවරණය එසේ නොවෙයි. එහිදී විවිධ පක්ෂ අතර ආසන බෙදී යනවා. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අප මැතිවරණයට සහභාගී වූ අවස්ථාවේ අපට ආසන 16ක් හිමි වුණා. පසුව සන්ධානයක් ලෙස ආසන 41 ලබාගත්තා. මෙවර මහමැතිවරණයේදී අපට විශ්වාසයක් තිබෙනවා ජාතික ජනබලවේගයේ වැඩි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තේරී පත්වේවි කියලා. ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ මහා මැතිවරණය අතර සම්බන්ධයක් නැහැ. අපගේ අපේක්ෂාව පාර්ලිමේන්තුවේ වැඩිම බලපෑමක් කළ හැකි කණ්ඩායම බවට පත්වීම. ජනතා තීන්දුව පිළිබඳ අනාවැකි පැවසීම අසීරුයි. නව ජනාධිපතිවරයා සමඟ රට ගොඩ නැඟීම සඳහා දූෂණයෙන් තොර, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, ප්‍රතිපත්තියක් සහිතව කටයුතු කළ හැකි හොඳම කණ්ඩායම සිටින්නේ ජාතික ජනබලවේගයේ කියලා ජනතාව සිතුවොත් අපට වැඩි ආසන ප්‍රමාණයක් ලබා දේවි.” 

ජාතික ජනබලවේගය කණ්ඩායම් 32කගේ එකතුවකින් සැදුණක් වන හෙයින් සන්ධානගත වෙනත් පක්ෂවල මෙන් අර්බුද ඇති විය හැකිදැයි අප විමසූ විට වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ එවැනි තත්ත්වයක් ජාතික ජනබලවේගය තුළ නොමැති බවයි.

“තමන්ගේ එකම අරමුණ මන්ත්‍රී ධුරයක් ලබාගැනීම යැයි සිතනවා නම් එහිදී අර්බුද ඇතිවිය හැකියි. එහෙත් ජාතික ජනබලවේගයට සම්බන්ධ කණ්ඩායම් එවැනි අරමුණක් සහිත පිරිසක් නොවෙයි. පුද්ගල සාධකය ප්‍රමුඛ වනවා නම් එහිදී ප්‍රතිපත්ති, වැඩපිළිවෙල, එකඟතා කිසිවක් වැදගත් වෙන්නේ නැහැ. පක්ෂවල අර්බුද ඇතිවන්නේ එවිටයි. එහෙත් අපට අවශ්‍ය මේ රට ඉදිරියට ගෙනයා හැකි ප්‍රතිපත්ති මාලාවක් සහිත පිරිසක් බලයට පත් කිරීමයි. ප්‍රමුඛතාව ලැබෙන්නේ ප්‍රතිපත්තියට නම් පුද්ගල සාධකය මත ඇතිවන ගැටලු පහසුවෙන් විසඳාගත් හැකියි. අප කණ්ඩායම සමගියෙන් එක්ව කටයුතු කරන පිරිසක් බැවින් සාකච්ඡාවෙන් සමගියෙන් විසඳාගත හැකියි.” නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා කියයි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00