2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

රටේ හමායන උද්ඝෝෂණ උණ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

පසුගිය දින කිහිපය පුරාවට අන් කවර කලකවත් නොදුටු තරම් උද්ඝෝෂණ රැල්ලක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙන බව දක්නට ලැබිණි. උද්ඝෝෂකයන් මින් පෙර නොවිඳි අපූරු නිදහසක් අත්විඳින බව ඔවුන්ගේ හැසිරීම්වලින් පෙනෙන්නට තිබේ. සාමකාමී රැස්වීමේ නිදහස සහ සමාගමයේ නිදහස අප රටේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කොට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා මෙම නිදහස අවශ්‍යයෙන්ම තිබිය යුතුය. එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 20 වැනි ව්‍යවස්ථාවෙන් රැස්වීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ. උද්ඝෝෂණය කිරීමේ නිදහස ද රැස්වීමේ නිදහසෙහි දිගුවකි.

මෙලෙස උද්ඝෝෂණය කිරීම් හෙවත් පාරට බැසීම සම්බන්ධයෙන් වන අපූරු ජවනිකා පෙළක් මේ දිනවල ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී දැකගත හැකිය. වත්මන් ජනාධිපතිවරයා මේ වන විට විරෝධතාකරැවන් සඳහා වෙනම ස්ථානයක් හඳුන්වා දී ඇත. සෑම විරෝධතා කණ්ඩායමකටම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද ලැබේ. එම සාකච්ඡා සැමවිටම පාහේ අවසන් වී ඇත්තේ ඉල්ලීම් ලබාදීමෙන් හෝ ඉල්ලීම් ලබාදෙන බවට ප්‍රතිඥාවක් ලබාදීමෙන් හෝ පසුවය. දැන් එය කලාවක් බවට පත්වී ඇති අතර නිදා සිටි මිනිසුන් ද අවදි වී ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පටන්ගෙන තිබේ.

විශ්වවිද්‍යාල සිසුන්, දුම්රිය සේවකයන්, උසස් ගණකාධිකාරී පාඨමාලා හදාරන සිසුන්, රැකියා විරහිත උපාධිධාරීන්, විශ්‍රාම වැටුප් ඉල්ලන විශ්‍රාමිකයන්, ගුරු විදුහල්පතිවරුන් ඇතුළු රටේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන බොහෝ අංශවල සේවකයන් මෙම වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මෙම මස 10 වැනිදා තෙක් උද්ඝෝෂණ 38 ක් පමණ සිදුකර ඇති බව පොලීසිය කියයි.

දිනකට එකක් දෙකක් හෝ ඊට වැඩියෙන් කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ පිළිබඳව දේශයේ අපි පාර්ශ්ව කිහිපයකින් විමසීමක් කළෙමු.

ප්‍රශ්න විසඳනවා නම් උද්ඝෝෂණත් නෑ
අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ

ජනතාවගේ ප්‍රශ්න තමයි මේ හැමතැනම තියෙන්නේ. මේ උද්ඝෝෂණය කරන ජනතාව වෙනත් ජනතාවක් නොවේ. අනෙක් අයත් වෙන ජනතාවක් කියලා කියන්න බැහැ. සියලු ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒ මොහොතේ ප්‍රශ්න තියෙන අය උද්ඝෝෂණය කරනවා. ඒ නිසා මහජනතාවගේ ප්‍රශ්න තමයි මේ සියලු තැන්වල තියෙන්නේ. විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නයක් දැන් තියෙනවා. එසේ නම් ආණ්ඩුව කළ යුතු වන්නේ ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට උදව් කරන එකයි. මහජනතාව කියන්නේ සංකල්පයක්. ඒ සංකල්පය එක් වරෙක උද්ඝෝෂණයක් වෙන්න පුළුවන්. එක වරෙක එතැන නැතිවෙන්න පුළුවන්. ජනතාව කියන්නේ ජනකොටස්වල එකතුවක්. මේ සියලු ජනතාව උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ තියෙන ප්‍රශ්න විසඳාගන්න. ආණ්ඩුව එතැනට ඇවිත් ජනතාව තවත් ප්‍රශ්නයකට ඇදලා දාලා. කාගේද මේ විදිහට පීඩාව නතර කරන්න හදන්නේ. පසුගිය කාලයේ මේක කරන්න හැදුවා. එක් එක් ආයතනවල වෘත්තිකයන්ගේ ගැටලු විසඳුවා නම් කොළඹ ඇවිත් නිදිමරාගෙන උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ.

එක තැනකට සීමා කිරීම මර්දනයක්
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

උද්ඝෝෂණයක් කියන කාරණාව පැන නගින්නේ එහි තිබෙන යම්කිසි කාරණාවක් මුල්කරගෙන. උද්ඝෝෂණ කියන එක පැනනගින්නේ එහි ස්වභාවය අනුවයි. උද්ඝෝෂණයක් පැනනගින්නේ ප්‍රශ්නයක් නොවිසඳෙන නිසා. රාජ්‍ය සේවයේ ව්‍යුහ තියෙනවා. ජනතා ප්‍රශ්න විසඳීමට යම්කිසි ව්‍යුහ තියෙනවා. ඒ ව්‍යුහ තුළ ප්‍රශ්න විසඳුණේ නැත්නම් යම්කිසි විදිහකට යම් ප්‍රදර්ශනාත්මක විරෝධයක් පෙන්වනවා. මේක එහෙම එකක්. ඒ වගේම තමයි මේ උද්ඝෝෂණ සිදුකරන එක එක තැනකට සීමා කරන්න හොඳ නැහැ. ඒ වගේ සීමා කරනවා කියන්නේ උද්ඝෝෂකයන් මර්දනය කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීලා තියෙනවා.

විසඳුම් නැතිවුණාමයි උද්ඝෝෂණ පටන්ගන්නේ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

සාමාන්‍යයෙන් යම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන විට ඒ අය ඒ අදහසට එකඟව කටයුතු කරලා තියෙනවද කියන කාරණාව මූලික වශයෙන් ප්‍රශ්නයට නැගිය යුතුයි. ඒ වුණාට පස්සේ තමයි පාරට බහින්නේ. උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ අයිතියක්. එතකොට එහිදී කරන්න ඕන මේ උද්ඝෝෂණය කරන ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳීම කලොත් ජනතාව මුලින්ම උද්ඝෝෂණයකට එන්නේ නැහැ. අන්තිමට කරන්න දෙයක් නැතිවුණාම කිසියම් ප්‍රශ්නයකට විසඳුම් දෙන්න බැරිවුණාම තමයි අවසන් පියවරක් ලෙස ඔවුන් උද්ඝෝෂණවලට යන්නේ. උද්ඝෝෂණය කරන අය කොළඹ විතරක් නෙවෙයි මුළු ලංකාව පුරාම ඉන්නවා. මේ උද්ඝෝෂකයන් තමන්ගේ ඉල්ලීම් කරනකොට ආණ්ඩුව ඒවාට නිසි පිළිතුරු දෙනවා නම් මේ විදියට උද්ඝෝෂණ ඇතිවෙන්නේ නැහැ.

උද්ඝෝෂණවලට තැනක් හැදීම හොඳයි
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස

තමන්ට සිදුවන ප්‍රශ්න සහ ගැටලුවලට නිසි විසඳුමක් ලබා දුන්නේ නැතිවුණාම ඒ සේවකයන්, එහෙම නැත්නම් අගතියට පත් අය උද්ඝෝෂණවලට යනවා. උද්ඝෝෂණවලින් පස්සේ තමයි යම් යම් අවස්ථාවල ඔවුන්ට සහනයක් ලබා දෙන්නේ. එහෙම නැත්නම් සාකච්ඡාවක් හරි ලබා දෙන්නේ. මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණය කරන්න තැනක් හදලා තියෙනවා. ඒක හොඳයි. එහි වරදක් දකින්නේ නැහැ. නමුත් රජය මේ වගේම ඒ උද්ඝෝෂකයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම මගින් මෙන්ම සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳනවා නම් ඒවා ඇතිවෙන්නේ නැහැ.

සාකච්ඡා කිරීම හොඳ විසඳුමක්
රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය උපාලි පන්නිලගේ

උද්ඝෝෂණ සහ වර්ජන දෙස දෙපැත්තකින් බැලිය යුතුයි. එක් පැත්තකින් මේ නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් බිඳවැටෙනවා. අනෙක් පැත්තෙන් වර්ජනය කරන සේවකයන්ගේ ඉල්ලීම්. මේ කියන කාරණා දෙකම ගැඹුරින් විමසා බැලිය යුතුයි. කොහොම වුණත් පාර්ශ්ව දෙකම මෙහි තිබෙන තත්ත්වයන් සලකා බලා කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ රජය වගේම මේ උද්ඝෝෂකයන් මෙවැනි දේ සාකච්ඡා කිරීම මගින් තමයි විසඳාගත හැක්කේ.

හසිත් අංජන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00