2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

වීසා තහනමෙන් එළියට පැන්න අමෙරිකාවේ රණවිරු විරෝධය

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 185

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එක්සත් ජනපදය විසින් සංචාරක සීමා පැනවීම සමඟ ඇතිවූ ආන්දෝලනය තවම කරළියේය. එනිසාම ඒ සති අන්තයේ මෙම සමස්ත සිදුවීම් පෙළ පිළිවෙළින් විමසා බැලීමට අපි තීරණය කළෙමු.

ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්වීම් ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු 19 වැනිදාය. එවක මේජර් ජෙනරාල් ධූරයේ කටයුතු කළ ඔහුගේ පත්කිරීම් බලධාරීයා වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඇමෙරිකා එක්සත් ජනපදය ශවේන්ද්‍ර විරෝධය ඇරඹෙන්නේ මෙම පත්කිරීමත් සමඟයි. සිය “දැඩි අවධානය” මෙම පත්වීම සම්බන්ධව යොමුවී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය අගෝස්තු 19 වැනිදාම ප්‍රකාශ කළේය.

“විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක, අදාළ පත්වීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරයි” යනුවෙන් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. ඔවුන් එතැනින් නතර වූයේ නැත. ඊට පසුදින එනම් අගෝස්තු 20 වැනිදා රටවල් හයක දූත මණ්ඩල එකඟ කරවාගෙන යුරෝපා සංගමය හරහා ඒකාබද්ධ නිවේදනයක්ම ගෙන ඒමටද ඔවුහු සැලසුම් කළහ. සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව දක්වමින් එම නිවේදනය නිකුත් වනවිට ශ්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නව යුද හමුදාපතිට ඇති අ‍ෙමරිකානු විරෝධය පිළිබඳ තොරතුරු ජනතාව වෙත සමීප කළේය. ඒ අනුව ලක් රජයට නිහඬව සිටීමට නොහැකි විය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අගෝස්තු 20 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. “විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්තිසහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්” බවත් “චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධානය විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරැණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වන බව” විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ හරහා කියැවිණි.

ජනාධිපතිවරණ උණුසුම සමඟ ගෙවී ගිය එම වකවානුවේ ඉහත සිදුවීම ඉතා ඉක්මණින් ජනතා අවධානයෙන් ගිලිහුණි. නමුත් සාම සාධක හමුදා සේවයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ සැලසුම පිටුපසද එදා හමුදාපති පත්කිරීම පිළිබඳ අමනාපය වූයේය. සමකාලීන එම්.සී.සී. ගිවිසුම් විරෝධය මෙම අමනාප කෝන්තරයක් බවට පත්වීමට පොහොර පස් දැමීමක්ම වූ බව සිතිය හැකිය. මේ අතර ජනාධිපතිවරණයෙන් ඉනික්බිති නව රජයේ විදෙස් ප්‍රතිපත්තියේ දිශානතියද ගැටලු සහගත විය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සියල්ල ඔස්සේ යම් නිගමනයට එළඹි ඇත. යුද හමුදාපති සංචාරක තහනමේ පසුබිම අධ්‍යනයේදී මෙම සියල්ල මනාව අවබෝධ වේ.

යුද්ධයේ අවසන් අදියරේදී යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ සේනාංකාධිපති වූ ශවේන්ද්‍ර සිල්වා විරුවාගේ ඉතිහාසය මෙහිදී සලකා බැලිය යුතුය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය බිහිකළ විශිෂ්ට නිලධාරියකු වන ඔහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වර්ෂ 1984 මාර්තු මස 5 වැනි දින පාඨමාලා අංක 19හි කැඩෙට් නිලධාරීවරයකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුළත් වී ඇත. හමුදා පුහුණුව සාර්ථකව නිමා කිරීමෙන් පසු 1985 නොවැම්බර් 16 වැනි දින අධිකාරියට පත්ව ඇති අතර ගජබා රෙජිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු නිලධාරියකු ලෙස ප්‍රථම වතාවට පත්කරන ලද නිලධාරියාද වන්නේ ඔහුයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරියෙකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ප්‍රථම වතාවට හිමිවූ දෙවැනි ලුතිතන්වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි ශවේන්ද්‍ර සිල්වා නාමය ලියැවී තිබේ.

වර්තමාන සංචාරක තහනමට තුඩුදී ඇත්තේ යුද හමුදාපතිවරයා 58 වැනි සේනාංකය මෙහෙයවන සමයේ මානව හිමිකම් කඩකළ බවට වූ වාර්තාවකි. එය නමින් “2015 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව” ලෙස හැඳින්වේ. එම වාර්තාව මට පදනම්ව පෙබරවාරි 14 වැනි දින එක්සත් ජනපදය නිකුත් කළ වාර්තාවේ මෙසේ සඳහන් වෙයි.

“58 වැනි සේනාංකය විසින් අධිකරණමය ක්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතළ මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව එහි අණදෙන්නාගේ වගකීම හරහා ශවේන්ද්‍ර සිල්වාගේ ඇති සම්බන්ධය පිළිබඳ විශ්වාසදායී තොරතුරැ හේතුවෙන් විදේශ මෙහෙයුම් සහ ඒ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය ප්‍රකාරව මේ පියවරට එළඹේ.”

ඔවුන් පෙන්වා දෙන්නේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සංවිධාන විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ලේඛනගත කරන ලද චෝදනා බරපතළ මෙන්ම විශ්වාසදායී බවයි. ඇමෙරිකානු නීතියට අනුව විදෙස් නිලධාරීන් සම්බන්ධව ඇති බරපතළ මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවලට අදාළ විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වනවිට එවැනි පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුල්වලට එක්සත් ජනපදයට ඇතුළුවීමට ඇති සුදුසුකම නොමැති වෙයි. ඒ අනුව එම නීති ප්‍රතිපාදන මෙම තහනම වෙනුවෙන් ඔවුන් යොදාගෙන තිබේ.

ලක්රජය මෙම නියමය ස්වාධීනව සත්‍යාපිත තොරතුරු මත සිදුවූවක් නොවන බව පවසනුයේ එබැවිණි. මෙම තහනමට පදනම් වූ තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා විදෙස් අමාත්‍යවරයා එක්සත් ජනපදයෙන් පෙබරවාරි 15 වැනිදා ඉල්ලා සිටියේය. එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ගෙන්වා විදෙස් අමාත්‍යවරයාද විශේෂ සාකච්ඡාවක ද නිරත විය. ජ්‍යෙෂ්ඨත්වයත්, ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සනාථ කරන ලද හෝ ඔප්පුකර ඇති චෝදනා නොමැතිවීමත් සැලකිල්ලට ගනිමින් ලුතිතන් ජෙනරාල් සිල්වා මහතා එවකට රාජ්‍ය නායකයා විසින් යුද හමුදාපති ලෙස පත්කරන ලද බව අමාත්‍යවරයා සාකච්ඡාවේදී අවධාරණය කර ඇත. පසුව විදෙස් අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මීට පදනම් වූ 2015 මානව හිමිකම් වාර්තාව “මානව හිමිකම් පිළිබඳ විමර්ශනයක් මිස අපරාධ පරීක්ෂණයක් නොවන බව” එක්සත් ජනපයට පෙන්වා දී තිබේ. එසේම “පුද්ගල සාපරාධී වගකීම තීරණය කළ හැක්කේ අවශ්‍ය සියලු නිසි ක්‍රියාදාමයන් සහතික කර ඇති අධිකරණයක් මඟින් පමණක් බවත්” සිහිපත් කර ඇත.  මේ අතර මෙරට දේශපාලන කරළියේද මේ සම්බන්ධව විශාල අන්දෝලනයක් ඇති විය. එහිදී මතුවූ අදහස් කිහිපයක්ද අප මෙහි දක්වා තිබේ.

- චමිඳු නිසල් ද සිල්වා

 

ලෝක සම්මතය කඩ කරලා
- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අ‍ෙමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අපි දැන් සිටින්නේ 21 වැනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදුවූ සාමූහික දඬුවම් සිහිගන්වමින්, කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක්වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහංචියම පනවා තිබේ. මෙහි ඇති සාධාරණය කුමක්දැයි ජනතාව තීන්දු කළ යුතුය. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කළද ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීතිප්‍රකාරව වැරදිකරුවකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවකු වුවද නිර්දෝශී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.

අපිත් ඔහු වෙනුවෙන් පෙනී ඉන්නවා
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ මොහොතේ අපි සියලු දෙනාම ඔහු සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් පෙනී සිටිමු.  වසර 30 ක ත්‍රස්තවාදය අවසන් කළ රණවිරැවන් සමඟ රටක් ලෙස අපි සැමවිටම සිටිමු.

ඇමරිකා - ශ්‍රී ලංකා මිත්‍රත්වයට හානියක්

- විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට හරි එතුමාගේ පවුලේ උදවියට හරි තහනමක් නිකුත්වීම සාධරණ තොරතුරු සහ පදනමක් සහිතව කෙරුණු කටයුත්තක් නොවන බව අපි විශ්වාස කරනවා.  එනිසා මේ තත්ත්වය අපි පිළිගන්නේ නැති බව ප්‍රකාශ කරනවා. මෙය ශ්‍රී ලංකා ඇමෙරිකානු මිත්‍රත්වයට හානිකර ආකාරය පරිවර්තනය වීමට තුඩුදෙන  කටයුත්තක් බවට පත්නොකොට ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට මාස කිහිපයකට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස අපි තානාපතිතුමියට දැනුම් දුන්නා. එතුමිය වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවට මේ බව දැනුම් දෙන බව අපිට දැන්නුවා.

ආණ්ඩුව දැන් හෙලන්නේ කිඹුල් කඳුළු
- පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ​ෆොන්සේකා

ආණ්ඩුව ශවේන්ද්‍ර සිල්වා ගැන දැන් කිඹුල් කඳුළු හෙළනවා. ඇමෙරිකාව පළමුව වීසා තහනම් කළේ මට. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට ජනාධිපති එක්ක යන්න හදද්දී මගේ වීසා තහනම් කළා. ඔය කවුරුවත් ඒ ගැන දුක්වුණේ නැහැ. ඒ වෙලාවේ මේ කිසිම කෙනෙක් කිඹුල් කඳුළු හෙළුවේ නෑ. දුක් වුණේ නෑ. දැන් ශවේන්ද්‍ර සිල්වා වර්තමාන හමුදාපති නිසා දුක්වෙනවා. ශවේන්ද්‍ර සිල්වා හොඳ නිලධාරියෙක්. එයාට යන්න නොදුන් එක ගැන මමත් විරෝධය දක්වනවා. ඒක අනිවාර්යයෙන්ම වැරදි දෙයක්. නමුත් සමස්තයක් ලෙස ගත්තාම අපි හැමෝම ඉන්නේ එකම​ බෝට්ටුවේ. අපිට යන්න නොදෙන කොට ජයවේවා කියනවා. දේශපාලන වාසි ගන්න ඕන වුණාම කිඹුල් කඳුළු හෙළනවා. ඔය ශවේන්ද්‍ර සිල්වා ගැන කතා කරන්නේ රණවිරැවන්ට තියෙන ආදරේට නොවේ. දේශපාලන වාසි ගන්න.

පක්ෂ පාට භේද නෑ අපි ඔහු වෙනුවෙන්
- පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

ශවේන්ද්‍ර සිල්වා මහත්මයා යුද්ධ කළේ එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නයකටවත් එතුමාගේ පවුලේ ප්‍රශ්නයකටවත් නෙමෙයි. රටේ බිය සැක දුරුකරන්න. රටේ ඒකීයභාවය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ත්‍රස්තවාදයට එරෙහිව එතුමා කටයුතු කළේ. මේ රටේ ජනතාවට අද ලැබිලා තිබෙන සාමය වෙනුවෙන් ඔහු කළ කැපවීම ඔහුගේ පෞද්ගලික දෙයක් නෙමෙයි. මේ රට වෙනුවෙන් කරපු දෙයක්. පක්ෂ පාට භේදයකින් තොරව අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා.

දෙමළ ජනයාගේ ජයග්‍රහණයක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් ඔහුගේ පවුලටත් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම වළකාලමින් තහනමක් පනවා තිබෙනවා. අවසන් යුද්ධ සමයේදී සිදුකරනු ලැබූ මානව හිමිකම් කඩකිරීම් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් සම්බන්ධ සාක්කි සාධක අනුව එවක යුද හමුදාවේ 58 වැනි සේනාංකය බාර වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වගකිවයුතු වෙනවා. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කළ අවස්ථාවේදී ඉහත දැක්වූ කාරණාවන් මත දෙමළ ජාතික සන්ධානය එම පත්කිරීම ගැන අප්‍රසාදය සහ විරෝධය පළකළා. යුද්ධය අවසන් වී වසර දහයක කාලයක් ගතවී තිබියදීත් වගකීම් පැහැර හරින ලද ආණ්ඩුවේ දෑස් මේ තහනම තුළින් විවර වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාව යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල කරමින් සිටියා. ඒ අරගලයේ සුළු ප්‍රතිපලයක් විදිහට අප මේ තහනම දකිනවා.

අපේ ජනතාවට යුක්තිය ඉටු වුණේ නැහැ
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම්

යුද්ධයේ අවසන් වකවානුවේ ශ්‍රීලංකා යුද හමුදාව යුද අපරාධ, මානව හිමිකම් කඩකිරීම්, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ආදී අපරාධ රුසක් සිදුකර තිබෙනවා. යුද හමුදාවේ 58 වැනි සේනාංකය බාරව එවක කටයුතු කළේ වත්මන් යුද හමුදාපතිවරයායි. යුද්ධය නිමවී වසර දහයක් ගෙවී ගියත් ශ්‍රී ලංකා රජය සිදුවූ දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටුවුණේ නැහැ.

අපි ගතවූ දස වසරක කාලය පුරාම ජාත්‍යන්තරයට බලකර සිටියේ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් හමුදාව විසින් සිදුකළ මෙම අපරාධ ගැන ජාත්‍යන්තර විනිසුරැවරැන්ගෙන් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතුයි කියලයි. මන්ද ශ්‍රී ලංකා රජයෙන් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවනු ඇතැයි කියලා කිසිදු විශ්වාසයක් නැහැ.