2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

දවසකට ටොන් ගණන් කෑම කුණු ගොඩට!

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 515

නගරයේ තැනින් තැන ගොඩගැසෙන කුණු කසළවලින් හමන දුර්ගන්ධයත් ඒවාට එකතුවී සිටින මැසි මදුරු, කපුටන්ගේ කරදරකාරී ජීවන රටාවත් සමඟ මුළු පරිසරයටම ගෙන එන්නේ අසුන්දර අප්‍රසන්න වටපිටාවකි. කුණකසළ ගොඩ බොහෝමයක් පිළුණු වුණු ආහාර ද්‍රව්‍යයන්ය. රට තුළ එක් පැත්තකින් දරිද්‍රතාවයෙන් ජීවත්වන මිනිසුන් සිටියදී මෙසේ අහස උසට ගොඩගැසෙන කුණු කඳුවල ඉවත ලන ආහාරපාන එකතු වී තිබීම කනගාටුදායක සිදුවීමකි. මෙරට එක් දිනකට මෙට්‍රික් ටොන් 5000ක් අපතේ දමන බව පරිසර සහ වනජීවී අමාත්‍යාංශයේ පරිසර දූෂණ පාලක හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය දේශයට පැවසුවේ අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

මෙලෙස දිනකට අපතේ දමන ආහාර ද්‍රව්‍ය අතරට පිසූ ආහාර මෙන්ම ඇසුරුම් දවටන ආහාරද අන්තර්ගතවේ. දඹුල්ල වැනි ඈත ප්‍රදේශවලින් දිනපතා කොළඹට ප්‍රවාහනය වන එළවළු මෙන්ම ඇතැම් බොහෝ නිෂ්පාදනයන් කොළඹට ගෙනඑද්දී විශාල ප්‍රමාණයක් තැලී පොඩිවී යාමෙන් විනාශයට පත්වෙයි.

“අද වනවිට ආහාරපාන 30%ක් පමණ නිෂ්පාදනයෙන් අපතේ යාමක් සිදුවෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ නිසි ආකාරයෙත් ඇසිරීමක් සිදු නොකිරීමයි. සේවකයින් නිදාගැනීම නිසාත් ඒවා පොඩි වීමක් සිදුවෙනවා. සමහර එළවළු මලු ගෙනඑන්නේ ලොරියේ අපිළිවෙළට අසුරලයි. පැය ගණනාවක් එකදිගට මෙලෙස මලු ගෙනඒමෙන් බොහෝ එළවළු ප්‍රමාණයක් අවසානයේදී ප්‍රයෝජනයට නොගෙනම ඉවතලන්නට සිදුවෙනවා.” යැයි සහකාර අධ්‍යක්ෂ සුජීවා ප්‍රනාන්දු මහත්මිය දේශයට වැඩිදුරටත් පැවසුවාය.

මීට අමතරව වෙළඳපොළට නිකුත් කරනු ලබන ඇතැම් ආහාරපාන පාරිභෝගිකයන් මිලදී නොගැනීම හේතුවෙන් අපතේ යැවීමක් සිදුවෙයි. විශේෂයෙන් සෑම උදෑසනකම බේකරි සහ ආහාරපාන බොහෝ ප්‍රමාණයක් වෙළෙඳසල් මගින් නිෂ්පාදනය කෙරේ. හතු පිපෙන්නා සේ ඇරඹෙන හෝටල්වලින්ද සෑම නගරයකම පාහේ එක පෙළට ඉදිවෙන හෝටල් මගින්ද දිනකට ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙයි. මීට අමතරව බේකරි ආශ්‍රිත බොහෝ වෙළෙඳසල් මගින්ද දිනකට ආහාරපාන බොහෝමයක් වෙළඳපොළට නිකුත් කළ යුතු වුවද ඒවායින් බොහෝමයක් පිළුණු වී හෝ නරක් වී ඉවත දමන්නට සිදුවන අවස්ථා ඕනෑතරම්ය.

මීට අමතරව තවත් ආහාරපාන නිෂ්පාදනය කළ දිනයේ සිට දින කිහිපයක් ඇතුළත විකුණා අහවර කළ යුතුව තිබේ. ඒ සෑම නිෂ්පාදන ද්‍රව්‍යයකම නිෂ්පාදන දිනය හා කල්ඉකුත් වන දිනය සඳහන් කර ඇත. මේවායින්ද ඇතැම් නිෂ්පාදනයක් කල් ඉකුත්වී ඉවතලන්නට සිදුවන අවස්ථා ඕනෑතරම් දවසකට වාර්තා වේ. මෙයද ඉමහත් නාස්තියකි.

අද වනවිට බොහෝ දෙනා ආහාරපාන නිවසේ පිසීම වෙනුවට හෝටල්වලින් ආහාරපාන ගැනීමට පුරුදුව සිටිති. හෝටල්වල පිසිනු ලබන ආහාරපාන ඉතිරිවන විට ඒවා දිනපතා අපතේ යයි. එපමණක්ම නොව නිවසේ පිසින ලද ආහාරපාන පවා දිනපතා යම් ප්‍රමාණයක් හෝ අපතේ යයි.

අද වනවිට ලංකාව පුරා කුණු කඳු තුන්සියක් පමණ ඇත. මෙම එක් කසළ කන්දක 50% පමණ දිරාපත් වන කසළ ඇත. මෙම දිරාපත් වන කුණු කසළවලින් 35% - 40% අතර ප්‍රමාණයක් ඇත්තේද නි‍ෙවස්වලින්, හෝටල්වලින් ඉවත ලන ආහාර ද්‍රව්‍යයන්ය. (පිසූ ආහාර හෝ නොපිසූ ආහාර මේ කොටසට අයත් වේ.) මේ අතර එක දිනකට විවාහ උත්සව කොයිතරම් නම් ප්‍රමාණයක් පවත්වන්නේද? මේ සෑම උත්සවයකින්ම යම් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත ලන ආහාර ද්‍රව්‍ය කොටසට එකතු වෙයි.

මේ වනවිට හාල් කිලෝවක මිල පිළිබඳ බොහෝදෙනා මැසිවිලි නගති. ඉහළ පහළ යන ආහාර මිලෙහි වෙනස් වීමක් සමඟ වෙනස් නොවන ගොවියාගේ මහන්සිය ගැන බොහෝ දෙනකුට එතරම් තැකීමක් නැත. එක හාල් ඇටයක් නිෂ්පාදනය කරන්නට ගොවියා වෙහෙස වන ජීවිතය පිළිබඳ ඔවුන්ට තැකීමක් නැත. නමුත් මෙම සෑම බෝගයක්ම වගා කරන්නටථ අස්වැන්න, නෙලන්නට ගොවියා වන මහන්සිය මෙ‍තකැයි කිව නොහැකි තරමටම වෙහෙසකරය. මාස ගණන්, කන්න ගණන්, වෙහෙස වී, නෙලූ අස්වැන්න එම නිමේෂයකින් කුණුකසළ ගොඩට එකතු කරන්නට තරම් අද මිනිසුන්ට ඒ මහන්සියේ අගයක් දැනෙන්නේ නැත.

“නිවෙසේදී ආහාර අපතේ නොයවන්නට යම් තරමින් හෝ උත්සාහ කරන අය හෝටලයකට, උත්සවයට ගියාම ඒ උත්සාහය දරන්නේ නැහැ. විවාහ උත්සවයකට ගියාම කොයිතරම් ආහාරපාන ප්‍රමාණයක් අපතේ යනවාද? එක බත් පිඟානකට තමන්ට ආහාරයට ගැනීමට ප්‍රමාණයටත් වඩා විශාල බත්පතක් බෙදාගත්තත් අවසානයේදී සිදුවන්නේ ඒ ආහාර ඉවතලන්නට සිදුවීමයි. විවාහ උත්සවයකදී එක බත්පතක කොයිතරම් නම් ප්‍රමාණයක් ඉතිරි වෙනවාද?” යැයි සහකාර අධ්‍යක්ෂ සුජීවා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

හෝටලයක ඇති බත් පැකට්ටුවකින් බොහෝදෙනා ආහාරයට ගනු ලබන්නේ අඩක් පමණි. විශේෂයෙන් කාන්තාවක් විසින් හෝටල්වලින් ආහාරයට ලබාගන්නා ආහාර පැකැට්ටුවකින් අනිවාර් යෙන්ම කොටසක් ඉතිරි වේ. අපතේ යැවේ. මුදල් දී මිලදී ගත් බත් පැකැට්ටුවකින් අඩක්ම අවසානයේ දී කුණුකසළ එක්රුස් කරන බඳුනට එකතු වෙයි. එක් මාසයක් තුළදී මෙලෙස කොයිතරම් නම් මුදල් ප්‍රමාණයක් පිළුණු ආහාර ලෙස කුණුකසළ බඳුනට එකතු වෙනවා ඇත්ද?

රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගියකු බලන්න යන සෑම කෙනෙකුම පාහේ රෝගියාට කිසියම් ආහාරපානයක් ගෙනයාම සිරිතකි. බොහෝවිට එක් රෝගියකුට ඇතැම් දිනවලදී බත්පත් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙන අවස්ථා ද ඇත. මේ ඇතැම් රෝගීන් රෝහලෙන් දෙනු ලබන බත් පත පවා ගනී. අවසානයේදී කොයිතරම් නම් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් එක් රෝගියකුගෙන් දිනකට කසළ බඳුනට එකතු වෙනවාද? එය සිතා බැලිය යුතුම කරුණකි. ප්‍රධාන ශික්ෂණ රෝහල්වලින් දිනකට ටොන් තුනක් හෝ හතරක් බත් අපතේ යන බවට සොයාගෙන ඇත.

ලංකාවේ පමණක් නොව ලෝකය පුරා රටවල්වලින්ද අපතේ යන ආහාර කුණුකසළ පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. 2011 වසරේදී ලෝක කෘෂිකර්ම සහ ආහාර සංවිධානය මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකොට ඇත. මේ නිසාම පසුගිය කාලවලදී ශ්‍රී ලංකාවේදීද ආහාරපාන ප්‍රවාහනය කිරීමේදී මලු වෙනුවට ප්ලාස්ටික් කූඩ හඳුන්වාදීමක් ද විය.

මීට අමතරව මෙම ආහාරපාන අපතේ යැවීම සීමා කිරීම සඳහා ඔවුන් බොහෝ යෝජනා ඉදිරිපත් කොට ඇත. ආපනශාලා හා හෝටල්වල එතූ බත් පත වෙනුවට ප්‍රමාණ දෙකකින් බත් පත විකිණීමට සැලැස්වීමෙන් ද යම් ප්‍රමාණයකින් අපතේ යන ආහාරපාන සීමා කළ හැකි බව ඔවුන්ගේ නිගමනයයි. මීට අමතරව තමන්ගේ අවශ්‍ය තරමට ආහාරපාන බෙදාගැනීමේ (බුෆේ ක්‍රමයට) ක්‍රමවේදයක් සෑම ආපනශාලා හෝ හෝටල්වල ක්‍රියාත්මක වන්නේ නම් එය ද ආහාරපාන අපතේ යාම සීමා කිරීමට හොඳ ක්‍රමයකි.

“වර්තමානයේ දී ලංකාවේ ඇතැම් පෞද්ගලික ආයතනවලදී මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. එවිට තමන් අකමැති ආහාර බෙදා නොගන්නටත් අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදාගන්නටත් පිරිස් පෙළඹෙනවා. අපේ සංස්කෘතියට අනුව නැවත නැවත අසුනින් නැගිට ගොස් නැවත ආහාර බෙදාගන්නට ඇති ලජ්ජාව නිසාම බොහෝ දෙනා එකවර බොහෝ ආහාර ප්‍රමාණයක් බෙදාගන්නට පෙළඹෙනවා. නමුත් විදෙස් රටවල්වලදී බොහෝ අය එකවර වැඩි ප්‍රමාණයක් බෙදාගන්නේ නැහැ. අවශ්‍ය වූ විට ඔවුන් නැවත නැගිට ගොස් ආහාර බෙදාගැනීමෙන් ඒ ආහාර අපතේ යැවීම අඩු වීමක් දක්නට ලැබෙනවා. ඇතැම් වෙළෙඳසල්වල ‘කෑම අවශ්‍ය පමණට බෙදාගන්න’ යැයි දැන්වීම් පුවරු සවිකොට තිබෙනවා. ඇතැම් රටවල්වල මුදල් ගෙවා ආහාරපාන ලබාගත්තත් ඒ ගත් ආහාර ඉතිරි කළ අයගෙන් දඩ ගැසීමක් ද සිදු කරනවා. මේ නිසාම එවැනි රටවල්වල බොහෝ අයගෙන් ආහාරපාන අපතේ යැවීමක් සිදුවන්නේ නැහැ.” යැයි සුජීවා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවසීය.

දිනකට මෙපමණ ආහාරපාන අපතේ යවන අප රටේම දිනකට කොයි තරම් මිනිසුන් සංඛ්‍යාවක් හාමතේ දුක් විඳිනවා ඇත්ද? ලෝකය ගත් කලද බොහෝ මිනිසුන් පිරිසක් ආහාරපාන නොමැතිව මියයාමේ පුවත් ඕනෑ තරම් අසන්නට ලැබෙයි. ප්‍රතිශතයක් ලෙස ගත් කල ලෝකයේ ජීවත්වන ජනගහණයෙන් නව දෙනකුගෙන් එක් අයකු හාමතෙන් පීඩා විඳින බව සංඛ්‍යාලේඛනවලින් සොයාගෙන ඇත. ලංකාවේදී මන්දපෝෂණයෙන් පීඩා විඳින මිනිස්සු පිරිසක් ජීවත් වෙති. මේ නිසා මේ පිළිබඳව අවධානය යොමුකොට අපතේ යන ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණය සීමා කිරීම ඉතා වැදගත් වේ.

ආහාරපාන අපතේ යැවීමෙන් පාරිසරික හානියක් ද සිදුවේ. කුණු කඳු ආශ්‍රිතව බොහෝ සතුන් බෝවීම හේතුවෙන් එය පරිසරයටද මහත් තර්ජනයකි. බොහෝ ලෙස රෝගවලට අත වැනීමක්ද මෙමගින් සිදුවේ.

තිරසර සංවර්ධන ඉලක්ක ලෙසින් මුළු ලෝකයම අවධානය යොමුකළ ඉලක්ක කිහිපයක් සඳහන් වේ. 2030 වසර වෙද්දී මේ ඉලක්ක සපුරාලීම ඔවුන්ගේ අභිප්‍රාය වේ. මේ අතරට “ආහාර අපතේ යාම අඩු කරලීම” අයත් වේ. 2030 වසර වෙද්දී 50%කින්වත් එය අඩුකරලීම ඔවුන්ගේ ඉලක්කය වේ.

► දිශානි ජයමාලි කරුණාරත්න
      

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00