2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

මාතර බීච් පාටි ටැබිලට් ජාවාරමාගේ වැඩ කිඩ!

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 114

“බීච් පාටිවලට ටැබ්ලට් දෙන කෙනෙක් ගැන ආරංචියක් තියෙනවා. දන්න විදිහට මෙයා තොග බිස්නස් කරන්නේ. ඉන්ටර්නෙට් එකෙන් තමයි මිනිහා වැඩේ ගෙනියන්නේ. ඕඩර් කරන කෙනාට හැර වෙන කිසිම කෙනෙකුට බඩු බාරගන්න බෑලු. ඒ විදිහටම බලලා ඕඩර් කළා නම් බඩුත් අරගෙන මිනිහා කියන තැනකට එනවා.”

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය වෙත මේ කියන තොරතුරු ලැබී තිබුණේ පෙබරවාරි මුල් සති අන්තයේදීය. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීහු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතාගේ උපදෙස් මත වැටලීමකට දායක වූහ.

මාතර ප්‍රදේශයේ බීච් පාටි හෙවත් වෙරළ සැඳෑ සඳහා මත්පෙති සපයන හා තොග වශයෙන් අලෙවි කරමින් ජාවාරමේ නිරත වන පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු ඔත්තුව අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ සැකකරු පළමුව සම්බන්ධ කොටගෙන තිබුණේ අන්තර්ජාලය ඔස්සේය. ඔත්තුකරු වැඩිදුරටත් කියා තිබුණේ තමා වැටලීමට දායක නොවන බවත් ඒ සඳහා වෙනත් උපාය දූතයකු යෙදවීමට අවශ්‍ය බවත්ය. ඊට හේතුව තමා ද නිරන්තරයෙන්ම අදාළ භූමියේ සැරිසරන බැවින් තම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු වීම නිසාය. අන්තර්ජාලය හරහා සිදුකළ සාකච්ඡාවට පසුව (ECTASI) එක්ටැසි වර්ගයේ මත්පෙති 100ක ඇණවුමක් ලබාදෙන්නට උපාය දූතයා ක්‍රියා කළේය. මත්පෙති අලෙවිකරු එක් පෙත්තක් රුපියල් 1950කට ලබාදෙන බවත් පෙති 100 සඳහා රුපියල් 195,000ක මුදලක් අවශ්‍ය බවත් පවසා තිබිණ.

අනතුරුව ගනුදෙනුව යොදාගෙන තිබුණේ මාතර වෙරළ උද්‍යානයේ තැනකය. ඒ තැන යෝජනා කොට තිබුණේ ජාවාරම්කරු විසිනි. උපාය දූතයා සහ ඔත්තුකරැ විසින් සිදුකරන සියලු කාර්යයන් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති දැන සිටියේය. ඔහු අවශ්‍ය සහාය දෙමින් ඒ වනවිටත් කොළඹ සිට විශේෂ කණ්ඩායමක් මාතර වෙරළ උද්‍යානය වෙත පිටත්කර යවා තිබිණ. එහි ගිය නිලධාරීහු කිසිවකුටත් සැක නොහිතෙන අයුරෙන් සිටීමට වගබලා ගත්හ. පිරිසක් ව්‍යායාම කරන පිරිසක් ලෙසත් තවත් කිහිප දෙනෙක් තේ පානය කරන අය වශයෙනුත් රැඳී සිටියහ.

ටික වේලාවක් ගතවෙත්ම නවීන පන්නයේ මෝටර් රථයක් අදාළ ස්ථානයට පැමිණියේය. ඒ දෙස බලා සිටි ඔත්තුකරැ ආවේෂණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට දන්වා තිබුණේ සැකකරු පැමිණි බවය. ක්ෂණයකින් පිරිස මෝටර් රථය වටලා සැකකරු ග්‍රහණයට හසුකර ගත්තේ කිසිවකුට කිසිවක් සිතාගන්නට නොහැකි ලෙසය. බියට හා කලබලයට පත් වූ සැකකරු සිය කලිසම් සාක්කුවේ බහා සිටි පාර්සලයක් එසැණින් බිම හලා තිබුණි. නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේදී දැකගන්නට ලැබුණේ මත්පෙති සියය අඩංගු පාර්සලයකි. වැඩිදුර පරීක්ෂාවේදී සැකකරැ ඇඳ සිටි බොටම් වර්ගයේ කලිසමේ ඉනට යොදන පටිය ඇතුළත කුහරය තුළ මත්පෙති 4 බැගින් වූ ඇසුරුම් කිහිපයක්ද සූක්ෂමව රඳවා තිබී ඇත.

වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත්තේ සැකකරු මව්පියන්ට හා පවුලේ පිරිසට හොර රහසේ ජාවාරම සිදුකළ බවකි. මොහුට නිවුන් සොහොයුරෙකු සිටින බවද සැකකරු ප්‍රථමයෙන් හෝටලයක රැකියාව කළ බවද කියා ඇත. අධික ලෙස මිතුරන් ආශ්‍රය කරන මොහු අහංගම පදිංචිකරුවෙකි. කායවර්ධන මධ්‍යස්ථාන දෙකක උපදේශකවරයකු ලෙසද ඔහු සේවය කරන අතර එහි පැමිණෙන තරැණයන්ට මෙම පෙති කාය වර්ධනයට සුදුසු බව ප්‍රකාශ කරමින් ජාවාරම අරඹා තිබිණි.

මේ තැනැත්තා හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටියදී විදේශිකයන්ට මත්පෙති අලෙවිකර තිබෙන අතර කළමනාකාරීත්වය එය දැනගත් වහාම ඔහු සේවයෙන් පහකර ඇත. පසුව මොහු විසින්ම ගොඩනගා ගත් ජාලයක් හරහා දකුණු වෙරළ තීරයේ සිට කළුතර ප්‍රදේශය දක්වා පැවැත්වෙන වෙරළ සාදවලට මත්පෙති අලෙවි කිරීම සිදුකර ඇත. ඊට අමතරව, ඇල්ල ප්‍රදේශයේ, බණ්ඩාරවෙල, ආරුගම්බේ ඇතුළු ප්‍රදේශ රැසක පැවැත්වෙන රාත්‍රී සාද සඳහා මත්පෙති සැපයීමද කාලයක සිට සිදුකර ඇත.

මත්පෙති පිළිබඳ හසළ දැනුමක් ඇති සැකකරු 32 වැනි වියේ පසුවන්නෙකි. ඔහු වෘත්තීය වශයෙන් මත්පෙති තොග වශයෙන් අලෙවි කිරීම සිදුකර තිබෙන අතර හික්කඩුව, උණවටුන, මිරිස්ස, පොල්හේන හා තංගල්ල ආශ්‍රිතව තම ගැනුම්කරුවන් විශාල වශයෙන් සිටින බවද ප්‍රකාශ කර ඇත. එක්ටැසි නමින් හඳුන්වන මත්පෙත්ත ඩාන්සින් ටැබ්ලට් ලෙස වඩාත් ප්‍රසිද්ධ බව සැකකරු පවසා ඇත්තේ මෙකී පෙත්ත භාවිතයෙන් පසුව අධික ලෙස නැටීමට කැමැත්තක් ඇතිවන නිසාය. විශේෂයෙන් මෙම පෙති භාවිතයේදී නිදිමත ඇති නොවන බවද කියැවේ. පෙති පානය කළ පසුව ආහාර අවශ්‍ය වන්නේ නැත. අධික ලෙස ජලය පානය කිරීමට අවශ්‍ය වන අතර මත්පැන් වශයෙන් වොඩ්කා පමණක් පානය කරන බවද කියා ඇත.

මේ අතර වාර්තා වන්නේ මත්පෙති භාවිතය විදේශිකයන්ට වඩා දේශීය තරුණ තරුණියන් අතර ඉහළ බවය. එමෙන්ම මෙරට සංචාරක හෝටල් ආශ්‍රිතව පැවැත්වෙන රාත්‍රි සාද හා වෙරළ සාද බොහෝ සංචාරකයන්ට හිරිහැරයක් වී තිබෙන බවත් ඇතැම් සංචාරකයන් ඊට එරෙහිව හෝටල් කාමර ගාස්තු පවා නොගෙවා පිටව ගිය බවත් වාර්තා වී තිබේ. අනතුරැව ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබඳ සිය අදහස් අප්‍රසාදාත්මක අයුරින් පළකර ඇති බැව්ද වාර්තා වේ.

සැකකරුගේ අනාවරණය කිරීම් අනුව තහවුරු නොවුණද බොහෝ මත්පෙති ලංකාවේ නිෂ්පාදනය කරන බවට තොරතුරු රැසක් හෙළි වී ඇත. එසේම ‘මෙන්ඩ්’ නැමැති වතුරට කලවම්කර පානයට ගන්නා මත්ද්‍රව්‍ය අධික ලෙස මෙරට භාවිතයේ තිබෙන බවද සඳහන් කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක රණවීර හා නියාමකවරැන් වන සිසිල් කරුණාතිලක, හර්ෂ කුමාර, රියැදුරැ චන්දන යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00