2020 ජනවාරි 25 වන සෙනසුරාදා

දවසින් දවස දූෂණය කරන සොඳුරු කළුවාමෝදර ගංදෑල

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 01:20 212

මනෝරම්‍ය තුරු වියන් යටින් ගලායන හරිතවන් කළුවාමෝදර ගං කොමළිය මෑතක සිට කඳුළු සලන්නීය. අප ද ඒ ඉකිබිඳුම් හඬ මානයේ සිටියෙන් මේ කතාව ඔබෙන් සඟවාලන්නට අපට බැරිවිය. දකුණු සිරිලක මායිමේ පිහිටි බෙන්තර නදියේම අතු ගංගාවක් ලෙස මේ ගං කොමළිය හැඳින්වීමට පිළිවන. එනමුදු අවැසිනම් මේ බෙන්තර ගඟේ අත්තක් නොවන බව කියා තර්ක කරන්නට ද  හැකිය. සැබැවින්ම මෙය ස්වභාව සෞන්දර්යයේ අසිරිමත් පිහිටීමකි. චිරප්‍රසිද්ධ බෙන්තර නදිය සහ කළුවාමෝදර ගං කොමළිය හමුවන්නේ බෙන්තර ගං මෝය අද්දරදීය. එම නිසාම මේ කුඩා නදී තෙමේත් බෙන්තර නදී තොමෝත්  සත් සමුදුර සිප ගන්නේ එකම ගං මෝයකිනි.මෙම අසිරිමත් පිහිටීමත් සුවිශේෂී පරිසර පද්ධතියත් හේතුවෙන් එදා මෙදා තුර දසදහස් සංඛ්‍යාත සංචාරකයන්ගේ නොමඳ ආකර්ශනය කළුවාමෝදර ගං කොමළිට හිම වී තිබේ.

එහෙත් අද මේ සොඳුරු පරිසර පද්ධතියේ කතාව සුඛාන්තයක් නොවේ ශෝකාන්තයකි. අපට ඒ කතාව කියන්න එකතු වූයේ මෙම ගං ඉවුරේ ජීවිකාව අරඹා සංචාරක වෙළෙඳ ව්‍යාපාරිකයකු බවට පත්වූ හාතාදුර සමන් කුමාර මහතාය. ඔහු මෙම ගං දෑලේ පිහිටි බොට්ටු තොටුපොළේ හිමිකරැයි. ගං දිය පිස හමන මඳනළින් කඩොල් පත් කිරළ පත් සිලිසිලි රාව නන්වන විට අපි කෙමෙන් අතීතය වෙත පියමැන්නේමු.

මෙහි සංචාරක කර්මාන්තය ඇරඹී ඇත්තේ එක්දහස් නවසිය හැතෑ නවයේදී පමණය. එදා සංචාරකයන්ට ගංදෑලේ සිට සතා සීපාව පෙන්වා යමක් උපයා ගන්නට උත්සුක වූයේ හබල් ඔරුකරුවන්ය. සංචාරකයන් මෙම ප්‍රදේශයට පැමිණීමට මත්තෙන් ද මෙම ගංදෑලේ පිහිටෙන් අවට ගම්මුන්ගේ ගැමි දිවිය යහමින් සරි විය. වරක් අප ඔබට මෙම ගංදෑලේ වූ කොහු කර්මාන්තයේ අතීතයේ කතාව කීවෙමු. ඒ අනුව පොල් අතු වියා පොල්ලෙලි තලා ලණු අඹරා දිවි සරිකර ගත් කළුවාමෝදර මොරගල්ල මුල්ලපිටිය ගම්මුන් හට මෙම ගඟ හා බැදුණු සොඳුරු අතීතයක් තිබේ. එසේම ධීවර කර්මාන්තය ද පෙරදා මෙහි බොහෝ සරැවට කෙරී ඇත. එහෙත් අද වනවිට ඒ සියල්ල සොඳුරු මතක පමණකි.

අසූව දශකයෙන් ඉක්බිති සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණය මෙම ගං දෑලට ලැබෙන්නට විය. ඒ හරහා අවට ගම්මුන් පිරිසකගේ අතමිට සරු වූයේය. බෙන්තර ගඟ බෝට්ටු සංචාරක අරඹන විට ද මෙහි වූයේ ඔරුය. එහෙත් කාලයාගේ ඇවෑවෙන් මෙම ඉසව්වට ද බෝට්ටු පැමිණියේය. එනමුදු මෙම පරිසර පද්ධතිය ද රැකගෙන මෙම ව්‍යාපාර දශක තුනක් පමණ සාර්ථකව කෙරීගෙන ගියේය. සමන් අයියාගේ බෝට් හවුස් එක නමින් චිරප්‍රසිද්ධය. මෙම තොටුපොළේ සිට අප කතා නායක සමන් කුමාර ද මේ සියල්ල දෙස බලා සිටියේය. ඔහු මේ කතාව අපට කියනුයේ තම දෑස මායේ ගලා ගිය කාල නදියේ මතකයන් මෙසේ ආවර්ජනය කරමිනි.

එදා විටක කළුවාමෝදර ඇළ නමින් ද හැඳින්වූ මෙම ගඟ ආශිත පරිසර පද්ධතිය පිළිබඳ සැකවින් හෝ අප පැහැදිලියි කළයුතුය. ශ්‍රී ලංකාවේ ඇති කඩොලාන වර්ග හතළිස් තුනෙන් දහ අටක් මෙම ගංදෑල හැඩ කරයි. එසේම තවත් නේක දුර්ලභ ශාක විශේෂ රැසකින් මෙම ගංදෑල හරිතවත්වේ.  කිඹුල් ගහනය ද මෙහි සැලකිය යුතු තරම් වෙයි. ඉබ්බන්, කබරුන්, ඇහැටුල්ලන්, ගස් ගෙම්බන්, වඳුරන්, පිඹුරන් ආදී සත්ව විශේෂ ද පිළිහුඩුවන්, දියකාවන්, වවුලන්  ආදී පක්ෂි විශේෂ ද මෙහි අපමණය. සමන්ගේ වචනවලින්ම කියතොත් මෙම ඉසව්වේ සංචාරය සවාරි නොව සෆාරියකි. මාදු ගඟ බෙන්තර ගඟ ඉතා ආසන්නයේ වෙතත් මෙම කුඩා නදියට සංචාරකයන් පැමිණෙන්නේ මේ පාරිසරික විචිත්‍රත්වය නිසාවෙනි.

උත්කර්ෂයෙන් සොඳුරු වරුණා මුසු කොට ඔබට කියව යුතු මේ කතාව  අප ඇරඹුවේ කළුවාමෝදර ගං කොමළිය මෑතක සිට කඳුළු සලන්නී කියාය. ඉදින් දැන් අප ඒ කඳුළු කතාව ඔබ හමුවේ දිහ හැරිය යුතුමය. මේ මනෝරම්‍ය පරිසරය දිනෙන් දින වැනසෙන යුරු බලා සිටිනුනොහී සමන් අපට කීවේ දිග කතාවකි. ඊට අනුව මෙම පරිසර පද්ධතියේ විනාශය තුන්කාආරයකින් සිදුවෙන බව අපට පෙනී යයි. ගඟේ ඉහළ යනවිට ඔහු කී එක් කතාවක් අප දෑස් මානයේ දිගහැරුණි. ගංදියේ තැන තැන ප්ලාස්ටික් බෝතල් පොලිතින් එකතු වී ඇත. දුටුවන් නෙත සිත පැහැර ගන්නා මේ අසිරිමත් ඉසව්වේ මේ දසුන නෙතගට එකතු කරනේ කඳුළකි. කඩොල් මුල් අතර රැඳුණු ප්ලාස්ටික් බෝතල් ඒ වේදනාව තවත් තීව්‍ර කරවයි. එසේම කඩොලාන පරිසර පද්ධතිය වනසමින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ද ගංදෑලේ ඇතැම් පදිංචිකරුවන් ගං ඉවුරේ ගොඩ ගසා ඇති කුණු කඳු ද අපගේ වේදනාව කෝපයක් බවට පත්කරයි.

මේ මහා විනාශය පිළිබඳ බලධාරීන්ට දේශපාලකයන්ට අපමණ කියූ බව සමන් අපට කියයි. එහෙත් එයින් කවර නම් ඵලයක් වී ඇද්ද? මෙහි පැමිණෙන විදෙස් සංචාරකයෝ සංචාරක මඟපෙන්වන්නන් බෝට්ටුකරුවන් සමඟ මේ විනාශ දැක මුළුමහත් රටටම දෙස් දෙවොල් තියති. ඇතම්විට ඔවුන්ගේ විවේචන මුව රතු වී නෙත තෙත්වෙන තරම් බිහිසුණු බව අපට කීවේ බෝට්ටුකරුවෙකි. නෙතින් මිස වදනින් සාක්ෂි දැරිය නොහැකි තුරුවියන් මැදින් ගලායන කළුවාමෝදර ගං කොමලියගේ චමත්කාරයේ ආයුෂ කොපමණද? ඉදින් අපට නොවැටහේ. කඩිනමින් බලධාරීන්ගේ අවධනය මීට යොමුවිය යුතුමය. සමන් අැතුළු පිරිස මෙම සටනට සිය පරිමාණයෙන් අවතීර්ණ වී සිටිති. නිලවශයෙන් අධ්‍යන සහ ගවේෂණ චාරිකාවලට පැමිණෙන විශ්වවිද්‍යාල සිසුන්ට, පරිසරවේදීන්ට නොමිලේ සිය බෝට්ටු සේවාව සපයමින් ඔහු මේ කතාව කියමින් සිටියි. වෙසෙසින්ම ඔහුගේ උත්සාහය අගය කළ යුතුය.

මෙම ගැටලුවට අමතරව මේ වනවිට අධික බෝට්ටු ප්‍රමාණයක් අපරික්ෂාකාරීව මෙම ඉසව්වේ ධාවනය වීම හේතුවෙන් මතුව ඇති ගැටලුවක් පිළිබඳ ද අපට දැනගන්නට ලැබුණි. සමන්ට අනුව බෙන්තර ගඟ හරහා එන ඇතැම් බෝට්ටු මෙම ඉසව්වේ සංචාරයෙන් පසු පිටත්ව යන්නේ සැලකිය යුතු වේගයකිනි. පුළුල් නොවූ ඉවුරු දෑලට මෙහි දී හට ගන්නා සැඩ රළ දරාගත නොහැකිය. එම නිසාම කඩොල් මුල් වාසස්ථාන කොටගෙන සිටින මත්ස්‍ය ප්‍රජාව දැන් වේගයෙන් වඳ වී යමින් සිටී. එදා සිටි ඉස්සන් ද මට්ටින් ද දැන් මෙහි විරලය. ඊට හේතුව බෝට්ටු නිසා බිඳී එන සැඩ රළින් ජලජ ජීවීන්ගේ වාසස්ථාන සහ බිත්තර විනාශ වී යාමය. අද කළුවාමෝදර ගං කොමළියට සිටි අපරිමාණ දරු සම්පත දැන් වන්ද්‍යාකරණට ලක්ව තිබේ. අහෝ එය තවත් ඛේදවාචකයකි.

වරැණා කිව යුතු සොඳුරු ඉසව්වක ශෝකාලාපයක් කීමට සිදුවීම නම් දෝමනස්ස සහගතය. එහෙත් නදී තෙමේ මහුණ දෙන මෙම අර්බුදය පිළිබඳව ද නොකියාම බැරිය. මෙම ගංදෑලේ පිහිටා ඇති දිවයිනේ චිරප්‍රසිද්ධව ස්කාගාර දෙකක් ගෝඩා අපද්‍රව්‍ය ගඟ වෙත මුදා හැරීම දශක ගණනාවක් සිට සිදුකරනු ලැබීය. එයින් වූ පරිසර හානිය මෙපමණ යැයි කීමට වදන් නොවේ. මීට ටික කලකට ප්‍රදේශවාසීන් මැදිහත් වී කළ විරෝධතා හරහා මෙම විනාශය වළක්වාගත හැකි විය. එහෙත් අදත් අනෝරා වැසි ඇද හැලෙන රාත්‍රීන්වල ගෝඩා ගංදියට මුසු කිරීම සිදුවන බව කියවේ. එය මෙම නදිය ජීවිතය කරගත් බෝට්ටුකරුවන්ට නම් නොරහසකි.

මෙතරම් අභියෝග මැද වුවද මේ නදීයේ සුනිල දිය පළසේ තුරැ වියන් අතරින් කරන සංචාරක සෝභමානය බව නොකියාම බැරිය. කොළඹ සිට ගාලුපාරේ කළුතර බේරුවල පසුකොට යනවිට මොරගල්ල ගම්මාන පසුවෙත්ම කළුවාමෝදර ගම්මානයේ මුවදොර හමුවන සමන් අයියාගේ බෝට්හවුස් එකෙහි හිඳ අපි මේ කතාව ඔබට කීවෙමු. සුපතල කන්දේවිහාර පුදබිම ඇත්තේ මීට නුදුරේය. පංචකපදූව ධර්මදීප ආරණ්‍ය සේනාසනයද වේ. ගංදෑල මායිමේය. බලධාරීන් මේ මහා විපත නොදකී නම් තවත් අපට කියන්නට කෙනෙක් නැත. ඉඳින් පිහිටක් වෙතොත් දෙවියන් බුදුන්ගෙන් පමණි.

සටහන සේයාරු : චමිඳු නිසල් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00