2020 ජනවාරි 25 වන සෙනසුරාදා

අනුරපුර අසිරිය ඇස් මානයෙන් දකින්න The Lake Forest Hotel Anuradhapura

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 142

අනුරාධපුරය ශ්‍රී ලංකාවේ ඇති වසරේ සෑම කාලයේදීම දෙස් - විදෙස් සංචාරකයන්ගෙන් පිරී යන නගරයකි. එහි පැමිණෙන දෙස් - විදෙස් සංචාරකයන් හා බැතිමතුන් වෙනුවෙන් නිර්මාණය වුණු නවතම සංචාරක හෝටලය තමයි The Lake Forest. මෙය පිහිටන්නේ රමණීය තිසා වැව ඉස්මත්තේ වීමම අනුරාධපුරයට එන සංචාරකයන්ගේ ආස්වාදයට හේතුවක් වෙනවා. එය තවත් තීව්‍ර වන්නේ හෝටලයේ සිට බැලූ විට වැවේ එහා ඉමෙන් එක පෙළට ජේතවනාරාමය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, අභයගිරිය සහ මිහින්තලය ඇස් මානයෙන් දර්ශනය වීමයි.

ගෘහනිර්මාණ ශිල්පී රවීන්ද්‍ර අතුකෝරළගේ හිමිකාරීත්වයෙන් යුත් ලේක් ෆොරස්ට් නවීන පහසුකම්වලින් යුත් නිදන කාමර 22කින් සමන්විතයි. සිව් දෙනකුට එකවර නවාතැන් ගත හැකි Family rooms 06කින්ද සමන්විත මෙහි සෑම කාමරයක්ම තිසා වැවට මුහුණලා හෝ අනෙක්පස ඇති වදුලට මුහුණලා තිබීමෙන් මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට උපරිම වශයෙන් ස්වභාව සෞන්දර්ය නිදන කාමරයේ සිටම අත්විඳ ගැනීමට හැකියි. එමෙන්ම වෙනත් හෝටල් හා සංසන්දනය කරන විට මෙම නිදන කාමරවල අවකාශීය විශාලත්වය සාපේක්ෂ ලෙස වැඩිවීමද මෙහි එන අමුත්තන්ගේ සුව පහසුවට හේතුවක් වෙනවා. පහත මහලේ වැවට මුහුණලා ඇති විවෘත අවන්හලට (Open Restaurant) අමතරව, එකවර අමුත්තන් 300කට පමණ සංග්‍රහ සත්කාර කළ හැකි වායු සමනය කළ උත්සව ශාලාවක්ද (Banquet Hall) තුන්වැනි මහලේ පිහිටලා තියෙනවා. ඊට අමතරව හෝටලය අවට සුන්දර දර්ශනයක් දකිමින් නිදහසේ ආහාරපාන ගැනීමට සුසැදි ලෙස සැකසුණු Roof top Restaurant එකක් සහ Bar එකක්ද වෙනවා.

දෙස් - විදෙස් ආහාරපානවලින් යුත් මෙහි අවන්හල් සහ සුපවේදීන් අතින් බැතිමතුන්ට අවැසි නිර්මාංශ ආහාරපානවල සිට විනෝදකාමීන්ට අවශ්‍ය වැව් මාළු හෝ නැවුම් මස් මාළුවලින් සැකසුණු BBQ සන්ධ්‍යාවක්ද සකසා දීමට කැපවෙනවා. විශේෂයෙන්ම හෝටලය අවට පරිශ්‍රයෙන්ම ලැබෙන නැවුම් එළවළු, පළතුරු හා කිරි පැණි ආදියද ගැමි අතුරැපස හා කැවිලි වර්ගද මෙහිදී රසවිඳීමටද ඔබට අනිවාර්යයෙන් හැකි වේවි. තම පවුලේ හිතවතුන් හෝ යහළු යෙහෙළියන් සමඟ කණ්ඩායම් වශයෙන් යන විනෝදකාමීන්ට සේම මධුසමය වෙනුවෙන් යන මනාල යුවළකට වුවද මෙහිදී අත්දකින්නට ලැබෙන අරැමැසි ගුණය කියා නිම කළ නොහැකියි. 

හිමිදිරියේ තිසා වැවට සහ මහා දාගැබ්වලට එපිටින් දකින්න ලැබෙන හිරු උදාව පසෙකින් ඇසෙන පක්ෂීන්ගේ මිහිරි නාදයෙන් තව තවත් ආනන්දයෙන් පුරවාලයි. ඇතැම් විට වනයෙන් එළියට ආ සතා සීපාවාද තම තමන්ගේ වාසනාව අනුව මෙහිදී ඇස ගැටෙන්නට පුළුවන්. වෙසෙසින්ම මේ සියලු සුන්දරත්වයන් ආරක්ෂාකාරීව තම තමන්ගේ නිදන කාමරවල සඳළුතලයේ සිටම අත්දකින්නට හැකි වීම Lake Forest හෝටලයටම විශේෂ වූවකි. 

සටහන හා සේයාරූ : මාලක වැලිගොඩපොල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00