2017 මාර්තු 25 වන සෙනසුරාදා

සයිටම් ඉස්පිරිතාලෙන් භාගයක් අාණ්ඩුවට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

වර්තමාන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ක්‍රියාත්මක වන්නේ අංග දෙකකින් යුක්තවය. ඒ රජයේ රෝහල් හා පෞද්ගලික වෛද්‍ය සේවය ලෙසිනි. ඕනෑම කෙනකුට ඉක්මනින් හා පහසුවෙන් තම තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා තමන් කැමති හා තමන්ට හැකි ආකාරයෙන් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට අයිතියක් තිබේ. රජයේ වෛද්‍ය සේවය නොමිලේ ලබාගත හැකිවූවත් පෞද්ගලික වෛද්‍ය සේවය ලබාගැනීමට නම් අප යම් මිලක් ගෙවිය යුතුය. නමුත් වර්තමාන සමාජයේ පොදු පිළිගැනීම වන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවේ මිල පමණට වඩා අධික බවයි.

මෑත ඉතිහාසයේ විවාදයට තුඩුදී ඇති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික හවුල් ආයතනක් ලෙස පවත්වාගෙන යාමටත්, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරාදී අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස පවත්වාගෙන යෑමටත් එහි පාලන අධිකාරිය තීරණය කිරීමත් සමඟම මෙම තත්ත්වය අද වනවිට ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

සිංහල අවුරුද්දට ඉස්සර රෝහලේ වැඩ පටන් ගන්නවා

රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍ය - ශිෂ්‍යාවන් සයිටම් සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් එපා යනුවෙන් උද්ඝෝෂණවල නියැලෙන විට ආණ්ඩුවේ මැති - ඇමැතිවරු පිරිසක් සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන විවිධ කතා කියමින් සිටිති. අද වනවිට සමාජයේ බොහෝ ගැටලු ප‍සෙකලා මෙම ප්‍රශ්නය රටේ මූලික ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ.

දැනට මුදල් ගෙවා අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ශික්ෂණ රෝහලක් ක්‍රමයට පවත්වාගෙන යන මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වරින් වර ඇතුළු කළ රෝගීන් ගණනාවක් මියයාම නිසා එය අර්ධ රාජ්‍ය රෝහලක් කිරීමට පෙර තවවරක් සිතා බැලිය යුතුබව මේ වනවිට සමාජයේ කතාබහක් ඇති වෙමින් පවතී. නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස පවත්වාගෙන යා යුතුයැයි උසස් අධ්‍යාපන පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව පසුගියදා නිර්දේශ කර සිටියේය. එම අනුකාරක සභාවේ සභාපති ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතාද සමාජිකයන් ලෙස ලසන්ත අලගියවන්න, සුජිත් සංජය පෙරේරා, මුජිබර් රහුමාන්, අන්ගජන් රාමනාදන්, චතුර සංදීප සේනාරත්න, විජේපාල හෙට්ටිආරච්චි සහ රෝහිනි විජේරත්න යන මහත්මීහු කටයුතු කරති. 

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයන් බවට පත්කිරීමේ තීරණය පිළිබඳව අපි එම කමිටුවේ සභාපති අංශු මාරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.
මාලබේ පිහිටි මේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා දෙන්න සූදානම් කියලා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අපිට ලියුමක් එවලා තිබුණා. “මෙය සෙමිගවර්මන්ට් රෝහලක් ලෙස ඊට පස්සේ අපිට හඳුන්වන්න පුළුවන්. නොමිලේ ප්‍රතිකාර කරන වාට්ටු සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාදෙන වාට්ටු මෙම ක්‍රියාවලියෙන් පස්සේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ තිබෙනවා. එළඹෙන සිංහල අවුරුද්දට ප්‍රථම මෙම රෝහලේ වැඩකටයුතු ආරම්භ කිරීමට අපි කථාබහ කරගෙන යනවා. මෙය එවැනි අර්ධ රාජ්‍ය රෝහලක් වුණාම විශාල රෝගීන් ප්‍රමාණයකට මේ මගින් සෙත සැලසෙයි කියලා අපි විශ්වාස කරනවා.

එමෙන්ම අනුකමිටු වාර්තාව සභාගත කළ එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ තිබෙන ඇඳන් දහසෙන් ඇඳන් සියයක් මුදල් අයකරනු ලබන වාට්ටු ලෙස වෙන්කළ යුතු බවයි. නොමිලයේ ලබාදෙන ඇඳන් නවසියෙන් ඇඳන් හාරසියයක් වෛද්‍ය සැත්කම්, නාරි හා ප්‍රසව, ළමාරෝග, මනෝරෝග, වැනි ඒකකවලට ඇඳන් අසූව බැගින් ලබාදිය යුතු බවද එම අනුකමිටු වාර්තාවේ දැක්වේ.
පසුගියදා මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ “අපි ඒ රෝහල රජයට ගන්නවා. ඔතන තියෙන්නේ රෝගීන්ගේ අඩුවක් විතරයි. වැදගත් වන්නේ ප්‍රමිතියයි, සියලු පහසුකම් තිබුණත් රෝගීන් නැහැ. නමුත් මෙම රෝහල රජයට ගත්තාම රෝගීන් පිරෙනවා ඕන තරම් යනුවෙනි. අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් කළද රට තුළ මේ වනවිට පවතින තත්ත්වය අනුව සයිටම් වසාදැමීමේ අරගලයට සහාය දෙන විවිධ පාර්ශව ඊට අනුමැතියක් ලබාදෙනු ඇතැයි හරියටම කිව නොහැකිය.

හත් අට වසරක කාලයක් මුළුල්ලේම මේ සයිටම් ප්‍රශ්නය සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ක්‍රියාකාරකම් ගැන හිටපු රජයේත් වත්මන් රජයේත් ක්‍රියාකාරීත්වයද ප්‍රශ්න කිරීමට ලක්වන බව කිව යුතුමය. මේ දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් කෙරෙන තර්ක විතර්කවල යම් මට්ටමින් වලංගු භාවයක් ඇත. එසේ තිබියදී මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් කිරීමට ගත් තීරණය මගින් රජය එක් පැත්තකට වාසිදායක තීන්දුවක් ලබාදී ඇතැයි සමහර පාර්ශව විසින් පෙන්වා දීමටද ඉඩ තිබේ.

 හසිත් අංජන