2017 මාර්තු 25 වන සෙනසුරාදා

දළදා මාලිගාව ඉදිරිපිට පාර අරින සටනට වායු දූෂණයත් එක්වෙයි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් යළිත් මහනුවර නගරය තුළ කතිකාවක් ගොඩනැගී තිබේ. මහනුවර නගරයේ අධික රථවාහන තදබදය හේතුවෙන් අධික පරිසර දූෂණයක් සිදුව තිබෙන බැවින් එයට එකම විසඳුම වන්නේ දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.

මාර්ගය වසා දැමීමට අඩිතාලම වැටුණේ 1998 ජනවාරි මස 25 වැනි දින එල්ල වූ එල්.ටී.ටී.ඊ. කොටි ප්‍රහාරයයි. ඉන්පසුව ආරක්ෂක අමාත්‍යංශය විසින් ගත් තීරණයක් මත මාලිගාව ඉදිරිපිට මාර්ගය වසා දැමීමට එවකට රජය කටයුතු කළේය. එහෙත් පසුකලෙක යළිත් වරක් එජාප රජයක් යටතේ මාර්ගය විවෘත කර ඉතා කෙටි කලකින් එය යළිත් වසා දැමුණේ එවකට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර වරින් වර එල්ලවීමත් සමඟය.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු යළිත් වසා දමා ඇති මාර්ගය විවෘත කිරීමක් සිදුකළ යුතු බවට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් විය.

මාලිගාවේ පාර අරින්න කියන්නෙ N.G.O කට්ටිය

කෙසේවෙතත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය (රසායන විද්‍යා දෙපාර්තමේන්තුව) ඕ.ඒ. ඉලේපෙරුම මහනුවර නගරය තුළ පවතින වායු දූෂණ තත්ත්වය මෙන්ම ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය වසා දමා තිබීම පිළිබඳව සිය මතය ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කරයි.

වසර 2001 සිට 2005 දක්වා කාලය තුළ මහනුවර වායු දූෂණය පිළිබඳව මම පර්යේෂණයක් කළා. නමුත් දැන් පවතින තත්ත්වය වෙනස්. සමහරු පවසනවා මහනුවර නගරයේ වායු දූෂණය ගැන අපි දන්නේ නැහැ කියලා. ඒත් කිවයුතුයි ආණ්ඩුවෙන් මහනුවර නගරයේ වායු දූෂණය පිළිබඳ තත්ත්වය මැනීම සඳහා ආණ්ඩුවෙන් විශේෂ උපකරණයක් මේ වන තෙක් මහනුවර නගරයේ සවිකරලා නැහැ. එවැනි විශේෂ යන්ත්‍රයක් මහනුවර නගරයට අවශ්‍යයි.
කොළඹ නගරයේත් වායු දූෂණය මැන බැලීම සහ ඒ පිළිබඳව සොයා බැලීමට යන්ත්‍රයක් සවිකරලා තිබෙනවා. ඒත් එම යන්ත්‍රයේ උපාංග අක්‍රීය වීම නිසා එය දැන් අකර්මණ්‍යවෙලා. ඒක හදාගන්නවත් අදාළ අංශ පියවර අරගෙන නැහැ.
දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය මීට කලකට පෙර පැවති රජය සමයේ විවෘත කර තිබියදී මහනුවර වායු දූෂණය අඩුවී තිබෙනවා. නමුත් දැන් පාර වසා දැමුවාට පසු වායු දූෂණය වැඩි වී තිබෙනවා. වර්ෂාව දිනවලට මහනුවර නගරයේ වායු දූෂණය අඩුවෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පර්යේෂණයක් කළා වායු දූෂණය පිළිබඳව. එහිදී වායු දූෂණය වැඩි වී ඇති බව හෙළි වී තිබෙනවා.
මහනුවර ගුඩ්ෂෙඩ් බස්රථ අංගනය, කටුගස්තොට පාලම, පොලීසිය අවට පෙදෙස්වල වායු දූෂණ තත්ත්වය වැඩියි. ඒක විද්‍යාත්මක මතයයි. 

නගරයේ රථවාහන සංඛ්‍යාව වැඩිවීම නිසා වායු දූෂණය වැඩිවීමත් සිදුවනවා. දළදා මාලිගාව ඉදිරිපිට දැනට වසා දමා තිබෙන මාර්ගය යළි විවෘත කළොත් වායු දූෂණ තත්ත්වය යම් ප්‍රමාණයකට අඩුකරගත හැකි යැයි මම විශ්වාස කරනවා.
පසුගිය රජය කාලේ දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්න කියලා කවුරුත් කතා ක‍ළේ නැහැ, එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු බය නිසා. මේ මාර්ගය වසා දැමුවේ ත්‍රස්තවාදී තර්ජන නිසයි. ඒත් දැන් දැන් ත්‍රස්තවාදී තර්ජන නැහැ. ඒ නිසා දැනට ඔය වසාදමා තිබෙන මාර්ගය විවෘත කිරීමට හැකියාව තිබෙනවා.

මහජනතාවට සිදුවන අපහසුතාවය ගැනත් අවධාරණය යොමුකළ යුතුයි. වෙනත් විකල්ප ක්‍රියාමාර්ගවලටත් යොමුවිය යුතු බවයි මගේ මතය. කෙසේවුවත් දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කළොත් යම් තරමකට හෝ වායු දූෂණ අඩු වීමක් සිදුවිය හැකි බවයි මම විශ්වාස කරන්නේ.

මහනුවර මහ නගර සභාවට පුළුවන් මහනුවර නගරයේ වායු දූෂණය ගැන විමර්ශනයක් කරලා ඒ ගැන සොයා බලන්න. ඒත් ඒ අය ඒක කරන්නේ නැහැ.
අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම හා වායු දූෂණය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරමින් මෙසේ පැවසූහ.
රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන ඇතැම් සුළු පිරිසක් පමණක් එකතුවෙලා දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්න කියලා හඬක් මේ දවස්වල යළිත් නගනවා. මේ මාර්ගය විවෘත කළොත් ඒ මාර්ගයේ ධාවනය වන රථවාහනවල අධික හඬ හේතුවෙන් මහනුවර ඓතිහාසික වළාකුළු බැම්මටත් හානි සිදුවන්න ඉඩ තියනවා. දැනටමත් වැවේ වළාකුළු බැම්ම පුපුරලා. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කළා කියලා මහනුවර නගරයේ පවතින වායු දූෂණය අඩුවෙයිද? අධික රථවාහන තදබදය අඩුවෙයිද? ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය ඉතා නිදහස්ව තිබිය යුතුයි. බැතිමතුන් දළදා මාලිගාවෙන් පිටතට පැමිණි විට ඍජුවම එන්නේ මේ මාර්ගයටයි. මේ මාර්ගයේ රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමක් සිදුවුවහොත් නිදහසේ ඒ බැතිමතුන්ට ආගමික වතාවත් කරන්න හැකිවේවිද?
වාහනවලින් පිටකරන දුම් වායුව දළදා මාලිගාවටත් හානියක්. අවට පරිසරයටත් හානියක්. දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්න කියලා කෑගහන්නේ, අබෞද්ධ අය සහ එන්ජීඕවලට සම්බන්ධ අයයි. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අපි තරයේම විරුද්ධයි මේ පාර විවෘත කරනවාට හේතු සාධක සහිතව.

 ජේ.ඒ.එල්. ජයසිංහ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00