2017 මාර්තු 25 වන සෙනසුරාදා

මේ අනතුරු කරන්නෙ සෙනසුරු

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

 

මේ දිනවල අසන්න දකින්න ලැබෙනුයේ හද කම්පාවන පුවත්ය. මහා මාර්ගයේ අයිනේ සිටි මව හා දියණිය මතට බසයක් කඩාවැදී ඔවුන් මරා දැමුවේ ඊයේ පෙරේදාය. එසේ සිදුවන අනතුරු, රිය අනතුරු මෙන්ම හදිසි අනතුරුවලින් මේ වසරේ මේ වනවිට මියගිය හා තුවාල ලද පිරිස අධිකය. හදිසි අනතුරුවලින් පීඩාවිඳින ජනතාව මෙන්ම තවත් පැත්තකින් ඩෙංගු වැනි වසංගත රෝගත් මේ වෙද්දී හිස ඔසවා තිබේ. මෙලෙස ජනතාව අනතුරේ හෙළන හා දේශපාලන ක්‍ෂේත්‍රය උණුසුම් කරන සිදුවීම් වැඩිවන්නට ග්‍රහ පිහිටීම කොතරම් දුරට බලපා ඇත්දැයි අපි ප්‍රවීණ ජෝතිෂ්‍යවේදීයෙකු වූ ඉන්දික තොටවත්ත මහතාගෙන් විමසීමු.

මේ දිනවල හදිසි විපත් හදිසි මරණ වැඩිවූවා මෙන්ම පසුගිය වසර කීපය තුළදීද මෙවැනි කාලවකවානුවක් පැවතුණු බව අපට අමතක කළ නොහැක. 2016 වසරේ මාර්තු මාසයේදී එක දිගට ඝාතන රැල්ලක් සිදුවිය. විශේෂයෙන් 2016 වසරේ පෙබරවාරි අග සහ මාර්තු මාසය තුළ පාතාල ඝාතන රැල්ලක් සිදුවිය. මේ නිසා සෑම වසරකම පාහේ එවන් ආකාරයට හදිසි විපත් සහ ලෙඩරෝග ඇතිවීම වාර්තා වන බවක් පෙනේ. මේ නිසා මෙවැනි කාලවලදී මේ තත්ත්වයත් බහුලයැයි අපිට හැඟෙනුයේ ඒ පිළිබඳව සාපේක්ෂව දකිනා අන්දමටය.

කෙසේ වෙතත් මේ සමස්ත කාල සීමාවම ජොතිෂ්‍යයට අනුවත් ලෝකේ සම්මත සියලුම ආගම්වලට අනුවත් අපිට ලැබෙනුයේ යහපත් චිත්‍රයක් නොවේ. ලෝකයේ සියලු ආගම්වල අවසාන ඉලක්කය පරමාර්ථය වෙනස් වුවත් ඔවුන් සැමගේම දේශනාව වූයේ ලෝක ආරම්භයේද සැවොම ඉතා යහපත්ව සිටියත් ලෝක අවසාන කාලයේදී මිනිසුන් අයහපත්, දූෂිත, ඉතාම පහත් තත්ත්වයට පත්වන කොට්ඨාසයක් වන බවය.

මේ නිසා විශේෂයෙන්ම හදිසි මරණ, ප්‍රකෝපකාරී මානසික ආවේග නිසා සිදුවන ගැටුම්, හදිසි අනතුරු සහ බරපතළ අසනීප ඇතිවීම ගැන මේ කාලසීමාව තුළ ප්‍රමුඛත්වයක් ඇතිවන බව ජෝතිෂ්‍යයේත් ලෝක සම්මත සියලුම ආගම්වලත් පවතින පොදු මතයයි.

පසුගිය කාලසීමාව පුරාම සෙනසුරු ගමන් කරනු ලැබුවේ වෘශ්චික රාශියේය. එය 2015 නොවැම්බර් 02 සිට 2017 ජනවාරි 26 වැනිදා දක්වා සිදුවිය. වෘශ්චික රාශියේ සෙනසුරු ගමන් කළ කාලසීමාවම සමස්තය ලෙස ගත් කල ශ්‍රී ලංකාවට තරමක් දුරට විපරීත කාලසීමාවක් බවට පත්විය. 2015 සහ 2016 කාලසීමාව තුළ එක්තරා විදිහට අවුල් සහගත තත්ත්වයක් මෙන්ම 1988- සහ 1989 වසරවල පැවැති තත්ත්වයන්ට ආකෘති ලක්ෂණ නැවත මේ කාලසීමාව තුළ ඇති විය හැකි බවට මම අනාවැකි පළකළෙමි. 2016 මැද භාගයේදී වැට් විරෝධයක් හේතුවෙන් ප්‍රදේශ කීපයක නැවතත් තුණ්ඩු කැබැල්ලකින් කඩ සාප්පු වැසී ගිය තත්ත්වයක් උදාවිය. එමෙන්ම බරපතළ ලෙසින් විදුලි ඇණහිටීමක්ද මේ කාලය තුළදී සිදුවිය. 1988 - සහ 1989 කාල සීමාවේ පැවති ටයර් සෑ සිහිගන්වමින් ඒ ආකෘතියට අනුව සාලාව ගිනිගෙන දැවී අළු විය.

මේ වසරේදී සෙනසුරු ධනු රාශියට පැමිණියත් සෙනසුරු වෘශ්චික රාශියේ සිටියදී ඇතිවූ බලපෑම් තවමත් සම්පූර්ණයෙන්ම සමනය වන්නේ නැත. මෙය නැවතත් වක්‍රව වෘශ්චික රාශියට පැමිණීමෙන් මේ අවුරුද්ද තුළ නැවත මාස කීපයක් වෘශ්චික රාශිය ගමන් කරයි. මේ නිසා මෙතෙක් පැවැති දේශපාලනික, ආර්ථික අවුල් වියවුල් තත්ත්වයක් මේ වසර තුළ සියයට පනහක් හෝ හැටක්වත් සමනය වේ යැයි අපහට බලාපොරොත්තු තැබිය නොහැක. අවුල් වියවුල් තත්ත්වයත් මේ ආකාරයෙන්ම යම් ප්‍රමාණයකට මේ වසර අග වනතුරැ දකින්නට ලැබෙනු ඇත. කුජ ග්‍රහයාගේ බලවත් වීම නිසා පාතාල හෝ සන්නද්ධ කණ්ඩායම් හෝ අවි දරන කණ්ඩායම් වැනි කණ්ඩායම් නැවත මතුවන, ශක්තිමත් වන සහ හිස ඔසවන තත්ත්වයක් දක්නට ලැබේ. කුජ මේ වෙද්දී මේෂ රාශියේ ගමන් කෙරේ. මේ කාරණාත් සමඟ මේ කාලසීමාවත් ඉතා හොඳයැයි කිව හැකි කාලසීමාවන් නොවෙයි. මෙය 2018 වසරේදී යම් ප්‍රමාණයකට සමනය වීමට බොහෝ ඉඩකඩ ඇත.

විශේෂයෙන් බුධ ග්‍රහයා කුඩා දරුවන් සංකේතවත් කෙරේ. මේ මොහොත වෙද්දී බුධ ග්‍රහයාගේ ගමන් කිරීම කුඩා දරුවන්ට, බුද්ධිමතුන්ට සරසවි සිසුන්ට තරමක් අහිතකර බලපෑම් ඇති කෙරේ. බුධ ග්‍රහයා සෑම වසරකදීම මේ අන්දමටම යම් කාලසීමාවක් තුළදී දුර්වල වේ. මේ නිසා මේ කාලය තුළදී බොහෝ දුරට කුඩා දරුවන්ට අපල කාලයක් උදාවේ. හදිසි අනතුරුවලට බහුල ලෙසින් කුඩා දරුවෝ මුහුණ දෙති. එමෙන්ම ග්‍රහ වස්තුවල බලපෑම් නිසා මනස පීඩාකාරී වීම්, මනස ප්‍රකෝපකාරී තත්ත්වයක් මේ කාලයේදී වැඩි වශයෙන් ඇතිවේ. මේ නිසා සමස්ත පෘථිවි පරිසර තත්ත්වයත් සමස්ත මානව වර්ගයාගේ චින්තන ජාලය අවුල්වන කාලයක් ලෙස මෙය පවතී. මේ නිසා කුඩා දරුවන්ට මෙන්ම සෑම කෙනකුම මේ කාලය තුළ ප්‍රවේසම් වීම ඉතා වැදගත් වේ.

සෙනසුරැ ධනු රාශි ගතවීමත් සමඟ ලංකාවේ දේශපාලන තත්ත්වයේදී විපක්ෂ කණ්ඩායම් තරමක් ප්‍රබලව ඉස්මතුවන කාලසීමාවක් පෙන්නුම් කෙරේ. මේ කාලය රජයට පැහැදිලිව අභියෝගාත්මක කාලසීමාවක් වේ. 2017 වසර අවසානයේදී මෙය තරමක් දුරට සමනය කරගතහැකි අතර කරදර, විපත්, යම් දුරකට අඩුවීමක් දක්නට ලැබේ. මේ ගතකරනු ලබන සමස්ත කාලසීමාව වරින් වර යම් ලෙසකින් ආධ්‍යාත්මික පිබිදීම් සහ ආධ්‍යාත්මික ගුරුවරුන් හරහා යම් ප්‍රමාණයක සමනය වීමක් වුවත් මේ ගතකරන සමස්ත කාලය 75% වඩා විපත් බහුල අධ්‍යාත්මික වශයෙන් පිරිහෙන මානව හැඟීම් අවුල් වන විපරීත වන ඒ හරහා නිතර නිතර ගැටුම්, අසනීප සහ පීඩාකාරී තත්ත්වයන්ගේත් බහුල කාලසීමාවක් ලෙස හැඳින්විය හැක.

බුද්ධ දේශනාවේ සඳහන් ආකාරයට රාජ්‍ය පාලනය අධාර්මික වන්නේනම් මැති ඇමතිවරු අධාර්මික වෙති. රාජ්‍ය නිලධාරින් අධාර්මික වන්නේනම් පොදු ජනයාද අධාර්මික වනු ඇත. පොදු ජනතාව අධාර්මික වෙද්දී හිරැ සඳු විෂම වේ. හිරු සඳු විෂම වෙද්දී හිරු සඳුට සම්බන්ධ වූ නැකැත් තරුද විෂමවේ. නැකැත් තරු විෂම වෙද්දී සමස්ත පෘථිවි පරිසරයම අවුල්වීම නිසා කෘෂිකර්මය බිඳවැටීම් සහ අසනීප වීම්, මානව වර්ගයාට හානි පමුණුවයි. මානවයන්ගේ සිතුවිලි හිරු සඳුට බලපායි. ඒ හා සමානව අදහස් ආයුර්වේදයේ සඳහන් කොට ඇත. මිනිසාගේ අධාර්මික වීම් තුළින් විශ්වයට කරන බලපෑම තුළින් එකවර සමස්ත රට තුළම බිලිගන්නා වසංගත රෝග ඉස්මතු වීමට බලපෑම් කෙරේ. මේ දිනවල ඩෙංගු රෝගයද, ඉතා වේගයෙන් ඇතිවන වසංගත රෝගයක්ද මේ මිනිසාගේ අධාර්මික සිතුවිලිවල තවත් එක් හේතුවක් වේ. යහපත් සිතුවිලි විශ්වයට මුදාහැරීම තුළින් විශ්වයෙන් යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමට හැක.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරුව | සුමුදු හේවාපතිරණ