2017 මාර්තු 25 වන සෙනසුරාදා

කපාදාන්න හදන චේ ගුවේරාගේ මැහෝගනී ගස

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 295

චේ ගුවේරා ලංකාවට ආවේ 1959 වර්ෂයේදීය. දවස් එකහමාරක් මෙරට රැඳී සිටි ඔහු රබර් වගාව පිළිබඳ අධ්‍යයනයට යහල කැලේ වතුයායට ගියේය. අර්නස්ටෝ චේ ගුවේරා නැවත එතැනින් පිටව ගියේ සිය පැමිණීම සටහන් කරන්නට මැහෝගනී පැළයක් රෝපණය කළ පසුවය. 58 වසරක් ඉපැරණි වෘෂය අද සිහිවටනයකි. මේ ඓතිහාසික වෘක්ෂයේ ආරක්ෂාව දැන් අනතුරේය.

හොරණ මොරගහහේන යහල කැලේ වතුයායේදී චේ ගුවේරා විසින් රෝපණය කළ මැහෝගනී පැළය දැන් සුවිසල් වෘක්ෂයක් වී ඇතත් පෞද්ගලික භූමියක පිහිටි ගසට නිසි ආරක්ෂාවක් නොලැබෙන බවත් ඒ අවට ගස් රාශියක් කපා දැමීමත් සමඟ මැහෝගනී ගස විශාල අනාරක්ෂිත තත්ත්වයක තිබෙන බවත් එය ආරක්ෂා කිරීම සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍ය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉකුත් දිනකදී කියා සිටියේය.

ඓතිහාසික මැහෝගනී ශාඛයේ වටිනාකම නිසාම, කියුබානු විප්ලවයේ නායකයකු ලෝක ජනතාවගේ දේශපාලන නිදහස උදෙසා සටන් කළ නායකයකු වූ චේගේ ගුණ සැමරීමට සෑම වසරකම ඔක්තෝබර් 8 වැනිදා මේ ගස අබියස උත්සව මාලාවක් සංවිධානය කරන්නට සමාජවාදී ශිෂ්‍ය සංගමය කටයුතු කරයි.

අර්නස්ටෝ චේ ගුවේරා ෆිදෙල් කස්ත්‍රො ඇතුළු පිරිස බැටිස්ටාගේ පාලනය බිඳදමමින් කියුබානු විප්ලවය ජයගෙන තිබුණේ වර්ෂ 1959 ජනවාරි 1 වැනිදාය. කියුබාවේ නව පාලකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ උපදෙස් මත එම වසරේ ජූනි 12 වැනිදා චේ ගුවේරා බැන්ඩුන් සමුළුවේ සාමාජික රටවල් 14ක නිල සංචාරයකට යොමු විය. ඒ අනුව චේ ගුවේරා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණ ඇත්තේ 1959 අගෝස්තු 7 වැනිදාය.

කියුබාව නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය තාන්ත්‍රික පිරිස ලංකාවේ දින එක හමාරක් පමණ ගතකරමින් දෙරට අතර ආර්ථික ගිවිසුම් පිළිබඳවද කතිකා කර තිබිණි. එහිදී රබර් වගාව පිළිබඳව උනන්දු වූ චේ ගුවේරාට ඒ සම්බන්ධ අධ්‍යයනයක් සඳහා හොරණ, මොරගහහේන යහල කැලේ වතුයායට ගියේය. එවකට මෙම වතුයාය ජේ.සී.ඩී. පීරිස් නැමැති මහත්මයකු සතුව තිබී ඇති අතර සංචාරය අතරතුර රබර් වගාව හා සම්බන්ධ ක්ෂණික ක්‍රම පිළිබඳවද අවබෝධයක් ලබාගන්නට චේ ගුවේරා සමත්ව ඇත.

මේ සම්බන්ධව ලොකු උනන්දුවෙන් පසු වූ චේ ගුවේරා නැවත එම ස්ථානයෙන් පිටත් වන්නට පෙර සිය පැමිණීම සටහන් කරමින් මැහෝගනී පැළයක් රෝපණය කළේය. ඒ මීට 58 වසරකට ඉහත 1959 අගෝස්තු 8 වැනිදාය. එදින පැය කීපයක් වතුයායේ සංචාරය කළ චේ ගුවේරා, ඇතුළු පිරිස වතුයාය තුළම පිහිටි යහල කැලේ වලව්වට ගොස් ආහාර භුක්ති විඳ ගිය බවද සඳහන්වේ.

කියුබානු විප්ලවයට නායකත්වය දුන්නා පමණක් නොව ලෝකවාසීන්ගේ නිදහස උදෙසා සිය දේශපාලනය මෙහෙයවූ චේ ගුවේරා සමරන්නට ලොව පුරා වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී මෙරට ඊට මූලිකත්වය ගන්නේ සමාජවාදී තරුණ ශිෂ්‍ය සංගමයයි. යහල කැලේ වතුයායේ චේ ගුවේරා විසින් රෝපණය කළ මැහෝගනී වෘක්‍ෂය අභියස චේ ගුවේරා වෙනුවෙන් සමරැ පිළිරැවක් ඉදි කළේද ඒ අදහසින්ය. මේ ඓතිහාසික ශාඛය ආශ්‍රිත භූමිය චේ උද්‍යානය ලෙස නම් කරන්නයි ඔවුන්ගේ අදහසය. මෙම වෘක්ෂයේ වටිනාකම දැනසිටි කියුබාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා මෑතකදී ලංකාවට පැමිණි මොහොතේ යහල කැලේ වතුයායට එය නැරැඹීම සඳහා ගියේය.

කෙසේ වෙනත් මාස කීපයක් තිස්සේ මෙකී ඓතිහාසික වටිනා කමින් යුතු මැහෝගනී වෘක්ෂය ආසන්නයේ වෙනත් ආර්ථික වශයෙන් වැදගත් ශාක කීපයක් යම් පිරිසක් විසින් කපා දමා තිබිණ. මේ නිසා මැහෝගනී ශාඛයට අත්වන ඉරණම භයානක බව සඳහන් කරමින් ප්‍රදේශවාසීහු පොලීසියට පැමිණිලි ඉරිපත් කළහ. පෞද්ගලික ඉඩමක පිහිටි මැහෝගනී ගසට අවශ්‍ය ආරක්ෂාව නිතිපතා සැපයීමද ඉඩම් හිමියන්ට අපහසු තරම්ය. එබැවින් සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉල්ලා සිටින්නේ ඔවුනට හැකි අයුරින් සංරක්ෂණය කරමින් තිබෙන වෘක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවේ බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බවය.

 සමන්ත විල්තෙර

සේයාරුව I මාධ්‍ය ඒකකය 
 ස‍මාජවාදී තරුණ සංගමය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00