2020 ජනවාරි 18 වන සෙනසුරාදා

කට වරද්දාගෙන ගිය වන්දනා ගමන්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 370

වන්දනා ගමන් පිළිබඳ අතීත කතාව සාම්ප්‍රදායික ගැමි සංස්කෘතියේ අපූර්වත්වය පෙන්වන තවත් සොඳුරු අංගයකි. මේ කුඩා දූපතේ මිනිසුන් ගව් දහස් ගණන් ගෙවා වන්දනාවේ යන්නට පටන්ගත්තේ කවදාද යන්න හරිහැටි පැහැදිලි නැත. එහෙත් ලාංකීය වංශකතා සාහිත්‍යයේ මෙන්ම පුරාතන පද්‍ය තුළින්ද වන්දනා ගමන් පිළිබඳ අපූරු තතු හෙළිවෙයි. එම නිසාම වන්දනා ගමනේ එදා මෙදාතුර කතාවේ පළමු ඉඩ ඉතිහාසගත මතකයන් වෙනුවෙන් වෙන් කරමු.

සංදේශ සාහිත්‍යය මෙම වන්දනා ගමන් පිළිබඳ කියැවෙන අපූරුතම අවස්ථාවයි. විටෙක අම්බලමේ කතා අතරින් මතුවන වන්දනා ඉතිහාසය සාහිත්‍යකරුවාට මනාව විෂය වී ඇත. ක්‍රිස්තුවර්ෂ දොළොස්වැනි සියවසේදී පමණ ලියැවුණු බව සැලකෙන ‘බුත්සරණ’ ඇසුරෙන් වන්දනා ගමන් සංස්කෘතියේ විචිත්‍රත්වය මනාව පිළිබිඹු වෙයි. කෙසේ වෙතත් ජන සංස්කෘතියේ මෙම අංගය රාජ රාජ මහාමාත්‍යවරු අතර ද පැවති බවට වංශකතා ඇසුරේ සාක්ෂි හමුවේ. ඒ අනුව මෙරට පාලනය කළ රජවරු කිහිප දෙනෙක්ම ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය බව චූලවංශයේ සඳහන්ය. වන්දනා කිරීමේ රිසියෙන් සිරිපා කරුණා කළ පළමු රජු ලෙස හැඳින්වෙන්නේ පළමුවැනි විජයබාහු රජුය.

අතීතයේ මෙරට වූ වන්දනා ගමන අතර සිරිපා කරුණාව, අටමස්ථාන වන්දනාව, කැලණි ගමන, නාගදීපය වන්දනාව ප්‍රමුඛ කොට සැලකිය හැකිය. දළදා වහන්සේ වන්දනා මාන කිරීමට යාම පිළිබඳ යම් යම් තොරතුරු හමුවෙතත් දළදාව රාජ්‍යත්වයේ සංකේත වූයෙන් ඒ වටා ගොඩනැගී ඇත්තේ වෙනම සංස්කෘතියකි. රජ දවස මෙම සියලු ගමන් බිමන් පාද යාත්‍රාවක් වී තිබේ. සති ගණනාවක් මාස ගණනාවක් වන්දනා ගමන්වලට වැය වූ බව කියැවේ. ඒ අනුව එදා බලවත් වූ ශ්‍රද්ධාවක් පෙරදැරිව මෙම වන්දනා ගමන් දිවි දෙවැනි කොට ගිය ගමන් බවද කියැවේ. ඒ නිසාම එම ගමන් වටා අපූරු ජන සංස්කෘතියක් නිර්මාණය විය.

වන්දනාවේ යාමට පෙර සූදානම්වීම එක්තරා උතුම් පිළිවෙතකි. පේවීම නැතිනම් පෙහෙවීම ආදී ලෙසින් මෙම කටයුත්ත හඳුන්වා තිබේ. මේ අනුව වන්දනාවේ ගිය අතීත ගැමියා පේවීමේ කාර්යයේදී අනුගමනය කළ පිළිවෙත විශේෂය. වන්දනා ගමනට පෙර පෝයේ සිට මස් මාංශවලින් වැළකී සැදැහැ සිතින් ඔවුහු කටයුතු කරති. පෙර පෝයට ගමේ පන්සලේ පොහොය ශීල සමාදන්වීම අනිවාර්ය අංගයකි. ගමන පිළිබඳ කතිකාව පන්සල ඇසුරේ ගොඩනැගී තිබේ. භික්ෂූන්ගෙන් මෙන්ම වෙළෙඳුන්ගෙන්ද වන්දනා ගමන්වලට තොරතුරැ දැන කියා ගැනීම සිරිතක් වී තිබේ. කෙසේ නමුත් රජ දවස මෙම ගමන්වලට අද මෙන් විශාල පිරිසක් ඇතුළත් නොවීය.

සාමාන්‍යයෙන් මෙරට වන්දනාවේ යන පිරිස්  හඳුන්වනුයේ ‘නඩය’ යනුවෙනි. එය දෙමළ වදනින් බිඳී සිංහල ගැමිවහරට එක් වූ වදනකි. ‘පා ගමන’ යන සිංහල අරුත සහිත ‘නඩෙයි’ යන පදය සැකසී ඇත. සිංහල ජනතාව මේ නමින් දමිළ ජනතා අතර මුල් වන්දනා ගමන් සංස්කෘතිය එතී ඇත. යාපා පටුනේ සිට කදිරපුරය පා ගමනින් වන්දනාවේ යෙදීම ඔවුන්ගේ අපූරු ජන සංස්කෘතියේ අදද ශේෂව තිබේ. එසේම ආරාබිකරයේ සිටි පැමිණි මුසල්මානුවෝද සිරිපා කරුණා කිරීම පිණිස රත්නපුර නගරය හරහා ගිය බව ජනප්‍රවාදයේ කියැවේ.

නඩයක් ලෙසින් සංවිධානය වන සෑම වන්දනා ගමනකම නායකයකු සිටීම අනිවාර්ය අංගයකි. නඩේගුරා, නඩේගුරු යන නම්වලින් පිරිස ඔහු හැඳින්වූයේ ගෞරව සම්ප්‍රයුක්තවය. කිහිපවරක් වන්දනාවේ ගොස් අත්දැකීම් ඇති වැඩිහිටියකු වූ නඩේ ගුරු රටතොට පිළිබඳ අවබෝධයක් ඇත්තෙකි. පාද යාත්‍රාවේ ගිමන් නිවන අම්බලම්, පන්සල් මෙන්ම දියසීරාවන් ඒදඬු තොටුපොළවල් පිළිබඳ නඩේගුරු හොඳින් දනී. මෙම ගමනේදී ඇති ආන්ත්‍රාවන් මෙපමණයි කියන්නට බැරි තරම්ය.

වන්දනා ගමනේදී නඩය මුහුණදෙන අභියෝග අතරින් දේශගුණික කාලගුණික විපර්යාසයන් ප්‍රධානය. ඒකාකාරී කාලගුණයක් නැති මෙරටදී පාද යාත්‍රාවේ ගමන් බිමන් අදද අභියෝගයකි. ඒ අනුව නඩේ ගුරු තම නඩයේ පිරිසගේ කය මනස පිළිබඳ මනා වැටහීමකින් කටයුතු කරයි. රෝග පීඩාවලින් මිදී මෙම ගමන යාම දැඩි අභියෝගයකි. එම නිසාම වෙදකම මෙන්ම හෙදකම පිළිබඳවද නඩේ ගුරුට අවබෝධයක් තිබීම වැදගත්ය. වන සතුන්ගෙන් මෙන්ම සොර සතුරන්ගෙන් ගැලවීම පහසු නැත. පමා නොවිය යුතු තැන් කල්මැරිය යුතු තැන් පිළිබඳ අවබෝධය බොහෝ වටියි.

මුල්කාලීන වන්දනා ගමන් සීමිත පිරිසකට සීමාවුවද පසුව එය එන්න එන්නම වර්ධනය වී ඇත. ගේ දොර වතුපිටි දූ දරැවන් පවා හැර පියා සිරිපා කරුණා කළ හැටි කියවෙන අපූරු කතාවක් අපට හමුවිය. තුන්සරණේ කියමින් ගිරිහෙල් කඳුවැටි තරණය කරමින් කටවරද්දා නොගෙන හිමේ ගිය ගමන අත්‍යන්තයෙන්ම විශ්මය ජනකය. සිරිපා කරුණාව හැරුණු කොට අනුරාධපුරයේ වටවන්දනාව විශේෂ වූ වන්දනා ගමනකි. ඒ පිළිබඳව ඇති කතාවද අපූරුය. එම ගමනට ද දීර්ඝ ඉතිහාස කතාවක් ඇත. කෙසේ නමුත් මෙම වන්දනා ගමන් සංස්කෘතියට විදේශික ආක්‍රමණ හමුවේ එල්ල වූ අභියෝගය සුළුපටු නැත. අනුරාධපුරයට පොළොන්නරුවට එල්ල වූ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ වන්දනාකරුවන් දැඩි පීඩාවන්ට පත්ව තිබේ. පෙරළා රාජ්‍යත්වය වෙනුවෙන් සිංහල රජුන් කළ සටන්වලට ජනතා ආකර්ෂණය වැඩිවීමට මෙම පීඩාවන් හේතු වූ බව කියැවේ. කෙසේ නමුත් බටහිර ආක්‍රමණය සමඟ මෙම පාදයාත්‍රා සංස්කෘතිය අගාධයට ගොස් ඇත.

එහෙත් විසිවැනි සියවසේ මුල් අවදියේ වන්දනා ගමන් සංස්කෘතිය නැවත පණ ලැබූ බව පෙනී යයි. “ලොරිබාගේ මග සිටියා එනකොට රෑ යාමේ, නිදිමැරුවා තැන් තැන්වල තිස්සමහාරාමේ” මෙම ගීත කණ්ඩය එම වන්දනා සංස්කෘතියේ අපූරු පිළිබිඹුවකි. මෙකල. කුඩා ලොරියක් පිටුපස ආසන පේළි දෙකක් ඇති පරිදි සකස් කොට, මගීන්ට ප්‍රවාහන පහසුකම් සලසාගෙන ඇත. වන්දනා නඩ මෙම ප්‍රවාහන මාධ්‍යයට යොමුවිය. සාදුකාර දෙමින් තුන්සර‍ණේ කියමින් ලොරි බාගේ නැගී වන්දනාවේ ගිය පැරැන්නෝ අදද ඉතිරිව සිටිති. මෙම ලොරිවලට මෙතරම් දුර ගමන් පහසු නොවූවෙන් මග නැවති නැවතී ගමන් කර ඇත. කාර්මික දෝෂද සුලබ වී තිබේ. මෙයද ලංකීය වන්දනා ගමන් ඉතිහාසයේ එක්තරා යුගයකි.

දඹදිව වන්දනාව ද ලංකීය වන්දනා ගමන් සම්බන්ධ විමසන විට අමතක කළ නොහැක. කලක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙම සේවාව හරහා මෙරට සිට ඉන්දියාවට දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වී ඇත. ඒ හරහා දඹදිව වන්දනාවේ ගිය පිරිස් පිළිබඳවද කතා අපි අසා ඇත්තෙමු. දුම්රිය මැදිරි නැවකට දමාගෙන ඒවා නැවත ඉන්දියාවේ දුම්රියට සම්බන්ධ කර ගිය මේ අපූරු වන්දනා ගමන පිළිබඳ තොරතුරු දිනක අප ඔබට වෙන්ව ලියා තබමු.

වන්දනා ගමන් සම්බන්ධ ලාංකීය ජන සංස්කෘතියේ අපූර්වත්වය සැකෙවින් අප ඔබ හා බෙදාගතිමු. මෙය විසල් පරිමාවක සිදුකළ යුතු ගවේෂණයක් බවද නොවලහා කිව යුතුය. එසේම අද වන්දනා ගමන් විරල බවත් විනෝද චාරිකා පමණක්ම සුලභ බවත් එය ඛේදජනක බවත් කියා මේ සටහන නිමාකරමු.

► චමිඳු නිසල් ද සිල්වා