2020 ජනවාරි 18 වන සෙනසුරාදා

තරුණයකු මරාගත් අනියම් ප්‍රේම කතාව

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

ලෝකයේ බොහෝ රටවල්වල මෙන් ලාංකික සමාජය තුළද අද වනවිට බිහිසුණු අපරාධ රැල්ලක් නිර්මාණය වෙමින් ඇත්තේ එය හරියට විලාසිතාවක් මෙනි. මීට වසර කිහිපයකට පෙර ලාංකික සමාජය තුළ මනුෂ්‍ය ඝාතනයක් හෝ වෙනත් අපරාධයක් යනු ඉතා දුලභ දෙයක් බවට පත්ව තිබුණත් අද වනවිට එය වෙනස් වී තිබේ. අද මේ සිටින කෙනා හෙට එළිවෙනකොට කිසිවෙකු විසින් ඉතා කුඩා කරුණක් මුල් කරගනිමින් කපා කොටා මරා දමන්නට තරම් මිනිස් සමාජය කුරිරු වී ගොස් තිබේ. පුද්ගලයා තුළ පවතින අපරාධමය මානසිකත්වය නිසාවෙන්ම ගෙවෙන ඊළඟ තප්පරයේ තමන්ව ද කාගේ හෝ අපරාධ ගොදුරක් බවට පත්වේවී දැයි සමාජය තුළ දැන් දැන් දැඩි භීතියක් හටගෙන තිබේ.

අපරාධකරුවෙකුට සිය ඉලක්කය සපුරා ගැනීමට ස්ථානයක් වේලාවක් කිසිසේත් බලපාන්නේ නැත. ඒ සඳහා ගැහැනු පිරිමි බේදයක්ද නැති බව සමාජය විසින්ම ඔප්පු කර හමාරය. අද අප පාඨක ඔබට ලියන්නට යන මේ කතාවද එවැනිම ඇඟ කිළිපොළායන කතාවකි.

පසුගිය 10 වැනි දින තණමල්විල පොලිස් ස්ථානයට පැමිණි දුරකතන ඇමතුමකින් කියවුණේ තණමල්විල සමාධිගම ප්‍රදේශයේ පාළු ඉඩමක මියගිය තරුණයකුගේ සිරුරක් ඇති බවය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් දුරතකන ඇමතුමට අනුව අදාළ ස්ථානයට ළඟා විය. ඒ වන විටත් විශාල පිරිසක් ඒ ස්ථානයට රැස්ව සිටියහ. එහි ගිය පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ හිසට වෙඩි තබා තරුණයකු ඝාතනය කර දමා ඇති ආකාරයයි. ඒ අනුව අපරාධ ස්ථානය ආවරණය කළ පොලිස් නිලධාරීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණේ මෙහි ඝාතකයා කවුරුන්දැයි සෙවීමටය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ මියගොස් ඇත්තේ තණමල්විල, කුමාරගම, සුරිආර පදිංචි 29 හැවිරිදි පරණගමගේ චමින්ද විජේසිරි නැමති අවිවාහක තරුණයකු බවයි.

මියගිය පුද්ගලයා තණමල්විල, හම්බෙගමුව, බෝදාගම, කුමාරගම, මහගල් වැව, සූරිය වැව ඇතුළු ප්‍රදේශ රැසකටම පොලියට මුදල් ලබා දීම සිදු කළ අයෙක් විය. මේ නිසා මෙම තරැණයා සිය පොලී මුදල් එකතු කරමින් දිනපතා තණමල්විල අවට ඇවිදීම සාමාන්‍ය සිරිතකි. කෙසේ වෙතත් මේ තරුණයාට හිටිහැටියේ වෙඩි තබා ඝාතනය කළේ කවුරුන් ද යන්න පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායම් වලටද පැවතියේ දැඩි ගැටලු සහගත තත්ත්වයකි. අදාළ අපරාධය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්විණි. එහෙත් ඒ වනතෙක් මෙම අපරාධයේ ඝාතකයා පිළිබඳව පොලිසියට ඉවක් ලැබුණේ නැත. හිසට වෙඩි තබා ඝාතනය කර දමා තිබුණු මෙම තරුණයාගේ සිරුර පොලිසියට හමුවන්නේ 10 වැනි දිනය. එහිදී පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැක පහළ කළේ මෙය වෙනත් ස්ථානයක සිට ඝාතනය කර පෙර දින රාත්‍රියේ මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවය.

සිරුර හමු වූ 10 වැනි දින සිට දින දෙකක් තිස්සේ පොලිස් පරීක්ෂණ සිදු කෙරුණේ ඝාතකයා සොයන්නටය. විවිධ හෝඩුවාවල් ලැබුණද නියම අපරාධකරු හඳුනාගැනීම පොලිසියට දුෂ්කර විය. මේ නිසාවෙන්ම පොලිසියට පොලිස් නිල සුනඛයකුගේ සහාය පැතීමට ද සිදු වූයේ නියම අපරාධකරු නීතියේ රැහැනට හසුකර ගැනීමටය. ඒ අනුව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න, ඌව පළාත් බාර අධීක්ෂණ නිලධාරී පොලිස් සැරයන් (14995) ජයතිස්ස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් නිල සුනඛ ඩෙනී තණමල්විල සමාධිගම ප්‍රදේශයට රැගෙන ආවේ 12 වැනි දිනය. පොලිස් සැරයන් (41713) හෙට්ටිආරච්චි මහතා විසින් නිල සුනඛ ඩෙනී මෙහෙයවන ලදී.

මෙහිදී අපරාධය සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිල සුනඛ ඩෙනීට එහි ඉව ඇල්ලීමට සැලැස්විය. කාලයේ වැලි තලාව මතින් අමතක වී යන්නට ගිය අපරාධ රැසක තොරතුරු අනාවරණය කර දීමට නිල සුනඛ ඩෙනී මීට පෙරද සමත් වී තිබේ. ඒ බව පොලිස් නිලධාරීහු ද හොඳාකාරවම දැන සිටිති. මිය ගිය තරුණයා වැටී සිටි ස්ථානය ඉව කළ ඩෙනීට මඟ වරද්දන්නට කිසිවකුටත් හැකියාවක් නැතිය. මළ සිරුර වැටී තිබූ ස්ථානයේ ඉව ඇල්ලු ඩෙනී මළ සිරුර වැටී තිබූ ස්ථානයේ සිට මීටර් 60ක් පමණ දුරින් පිහිටි එක්තරා නිවසක් අසල නැවතුණේය. එතනැන් එහාට නොගිය නිල සුනඛයා අපරාධකරු මෙහි වග බව පොලිසියට ඉඟිබිගි කරන්නට විය. වහා එම නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට දැකිය හැකි වූයේ එහි සිටි කාන්තාවකි. එහි කාන්තාව ප්‍රදේශයේ පෙර පාසලක ගුරුවරියකි. පොලිස් නිල සුනඛයාට වැරදුණාවත්ද? තරුණයෙකුට හිසට වෙඩි තබන්න තරම් කාන්තාවකට හැකිද? එහෙත් නිල සුනඛ ඩෙනීටද මීට පෙර කිසිදු අවස්ථාවක සිය ඉලක්කය වැරදී නැත. මේ නිසාම පොලිස් නිලධාරීන් අදාළ නිවසේ සිටි කන්තාව සැකපිට අත්අඩංගුවට ගත්තේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නටය.

අත්අඩංගුවට පත් කාන්තාව සමාධිගම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි එක් දරු මවකි. ඇය කාලයක් තිස්සේ සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙයි. ඇය රැකියාව ලෙස ප්‍රදේශයේ පෙර පාසලක ඉගැන්වීම සිදු කර තිබේ. අත්අඩංගුවට පත් කාන්තාවගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. එහිදී සැකකාරිය පවසා ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කළ බවයි. ඒ අනුව මෙම ඝාතනය සිදුකළ බව කියන කටුවන ප්‍රදේශයේ පුද්ගලයා මෙම කාන්තාව හා අනියම් සබඳතාවයක් ඇති බවද පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

මිය ගිය තරුණයා විසින් මෙම සැකකාර කාන්තාවට රුපියල් 50000ක මුදලක් පොලියට ලබා දී තිබේ. මෙම මුදලේ පොලිය ඉල්ලා මෙම තරැණයා නිතර නිතර මෙම කාන්තාවගේ නිවසට ආගිය බවත් එසේ ගියත් ඔහුට අදාළ මුදල හෝ පොලී මුදල් නොලැබී ඇති බවත් අනාවරණය කර තිබේ. තමන්ට හිමි පොලී මුදල් ලබා නොදෙන්නේ නම් තමා සමඟ විවාහ වෙන ලෙස මියගිය තරුණයා අදාළ කාන්තාවට යෝජනා කර ඇති බවත් එම කාන්තාව එය ප්‍රතික්ෂේප කර ඇති බවත් පොලිස්  ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර තිබේ. පොලිස් පොතේ එලෙස සටහන් වුවද ගම්මුන් පැවසුවේ මියගිය තරුණයා සමඟ ද මෙම කාන්තාව කලක් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය බවය. කලක් තිස්සේ දෙදෙනා අතර තිබූ ප්‍රේම සබඳතාවය මෙම කාන්තාව එකවර නවතා දමා කටුවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා නව සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ. මේ හේතුව නිසා මියගිය තරුණයා මෙම කාන්තාවගේ නිවසට ගොස් නිතර නිතර මේ පිළිබඳව විමසා ඇති බවද වාර්තා වේ. ඒ අනුව මෙම කාන්තාවගේ නිවසට මියගිය තරුණයා පැමිණි අවස්ථාවේ සිය කටුවන ප්‍රේමවන්තයාගේ සහාය ඇතිව මෙම තරුණයා මරා දමා මෙම ස්ථානයට රැගෙන එන්නට ඇති බවයි පොලිසිය සැක පහළ කරන්නේ.

සිද්ධියට අදාළව මෙම ඝාතනය සිදුකළ බව කියන කටුවන ප්‍රදේශයේ පදිංචි සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අත්අඩංගුවට පත් පෙර පාසල් ගුරුවරිය 12 වැනි දින වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා හමුවට ඉදිරිපත් කළ අතර 13 වැනි දින දක්වා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. පසුව නැවත නඩුව 13 වැනි දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ සැකකාරිය මේ මස 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මොණරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරී හේමන්ත ඕවිටිගල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

► සටහන හා සේයා රූ - සූරියවැව - නුවන් ජයසේකර