2020 ජනවාරි 18 වන සෙනසුරාදා

එදා නරක් වූ අද හොඳ වන කොළඹ ඉඩම් ගිවිසුම

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

රටේ බිම් කොටස් විවිධ ව්‍යාපෘති සඳහා විදේශ රටවලට පවරා දීම පිළිබඳ චෝදනා එල්ලවූයේ අද ඊයේ නොවේ. විවිධ ආණ්ඩුවලින් විදේශවල පෞද්ගලික සමාගම් සහ ආයතන සමඟ ගිවිසුම් අත්සන් කර රටේ විවිධ ප්‍රදේශ යම් යම් ව්‍යාපෘති සඳහා පවරා දීම සිදුවෙයි. කොළඹ නව නගර ව්‍යාපෘතිය යටතේ මුහුද ගොඩකර කොළඹ නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට චීන රජයට සමඟ ගිවිසුමකට එළඹුණු අවස්ථාවේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ රජයට විපක්ෂය විසින් දැඩිව විරෝධතා දක්වනු ලැබීම අපට හොඳ හැටි මතකය. මෙය රටට විශාල ලෙස සමාජීය හා ආර්ථික හානිගෙන දෙන ව්‍යාපාරයක් බවට විවේචනය කළ එවක විපක්ෂය තමන් බලයට පත් වූ වහාම එම යෝජනාව අවලංගු කර ආරම්භ කර ඇති වැඩ ද නවතා දමන බවට ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගියේය. එහෙත් සිදුවූයේ අනිකකි. එ.ජා.ප.ය ප්‍රමුඛ යහපාලන රජයට සිදුවූයේ එම ව්‍යාපෘතිය නැවත්වීම වෙනුවට එය අවසන් කර විවෘත කිරීමේ අවස්ථාවට ද සහභාගී වීමටය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය පැවැති කාලයේ ගාලු මුවදොර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය එතැනින් ඉවත් කොට එම ඉඩම ෂැංග්‍රිලා සමාගමට විකුණූ බවට ආන්දෝලනයක් ඇතිවිය. 2010-12-28 දින සිදුකරන ලද මෙම අලෙවිය මගින් අමෙරිකානු ඩොලර් මිලියන 75ක් ලබාගෙන තිබුණු බවද වාර්තා විය. මෙය භූමි භාගය බදු පදනමට දුන් බව එකල ආණ්ඩුව පැවසුවද පසුව හෙළිවී ඇත්තේ මුළුමනින්ම විකුණා ඇති බවය. මේ පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරයට පත්වුවද රජය ඒ ගැන වැඩිපුර පැහැදිලි කිරීමක් නොකිරීමෙන් පෙනීගියේ එය විකුණා ඇතැයි යන පුවත සත්‍ය බවය. ඊළඟට එතැනින් නොනැවතී ෂැංග්‍රීලා හෝටල භූමියට යාබද පිහිටි තවත් අක්කර 10ක් ඉන්දියාවේ ප්‍රකට අයි.ටී.සී සමූහ ව්‍යාපාර සමාගමට වසර 99කට බදු දී ඇති බවද වාර්තා විය.

විවිධ ආණ්ඩුවලින් රටේ භූමිය කොටස් වශයෙන් විදේශ සමාගම්වලට දීර්ඝ කාලීනව බදු දීම සහ විකුණා දැමීම පැවැති අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වී සුළු කලකදීම කොළඹ බාලදක්ෂ මාවතේ ෂැංග්‍රිලා හෝටලය සහ බේරේ වැව අතර පිහිටි අක්කර හතරක පමණ භූමියක් සිංගප්පූරු සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 500කට විකුණා දැමීමට යන බව මාධ්‍ය මගින් හෙළිකර ඇත. මේ ආරංචිය මුලින්ම ප්‍රචාරය කළේ Lanka Business Online නම් වූ වෙබ් අඩවිය 2019 දෙසැම්බර් 29 දින පළකළ පුවත අනුවය.

මෙම ආයෝජනය සඳහා නුදුරු දිනයකදී ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර ගිවිසුම් අත්සන් කරන දිනයේදීම අමෙරිකානු ඩොලර් 250ක් ලැබීමට නියමිත බවද පැවසේ. මේ සඳහා “පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංස් යන සමාගම” තෝරාගෙන ඇත. මෙහි මහල් 30ක වාණිජ කුලුනක් ඉදිකර එහි ඒකක 700කින් යුතු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය. මෙය නිවාසවලට අතිරේකව වාණිජ කුලුනක් ලෙස පවත්වා ගෙන යන අතර සිල්ලර වෙළෙඳ සල් රැසක් ද තැනීම සිදුවේ. එසේම හෝටල් ව්‍යාපෘති ද මෙය ඇතුළත්ය.

මෙම පෙරෙනියල් රියල් එස්ටේට් හෝල්ඩිංස් සමාගම චීනය සමඟ දැඩි සම්බන්ධතාවක් ඇති සිංගප්පූරු සමාගමකි. මෙය ඒකාබද්ධ දේපළ වෙළඳාම් හා සෞඛ්‍ය සේවා සමාගමක් වේ. සෞඛ්‍ය සේවා හිමිකරුවකු ව්‍යාපෘති නඩත්තුකරුවකු වශයෙන් චීනය සමඟ එක්වී ක්‍රියාකරයි. මේ සමාගම ශ්‍රී ලංකාවේ පමණක් නොව මැලේසියාව, ඉන්දුනිසියාව හා ඝානාව යන රටවල බොහෝ ඉඩම් මිලදී ගෙන මෙවැනි ව්‍යාපෘති කරන බවද හෙළවී ඇත. මේ සමාගම ශ්‍රී ලංකාව සමඟ හවුල් ව්‍යාපාරයකට එළඹීමට තීරණය කර ඇත්තේ අද ඊයේ නොව 2018 වසරේ ජනවාරි මාසයේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය පරිදිය.

මෙම ව්‍යාපෘතිය සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පාදක කරගෙන අරඹන බව දැනගන්නට ඇත. සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම අත්සන් කළේ පසුගිය යහපාලන රජය මගින් 2018 ජනවාරි 23 දිනදීය. එය ක්‍රියාත්මක කළේ 2018 මැයි මස 23 දින සිටය. මෙම ගිවිසුම පිළිබඳ විශාල ආන්දෝලනයක් ඒ සමයේ ඇතිවූ අතර දැනට ආණ්ඩු පක්ෂයේ සිටින කණ්ඩායම එම විරෝධතාවලදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව අපට මතකය. 2017 දෙසැම්බර් 22දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම ගිවිසුම පිටු 1083කින් සමන්විත වූ අතර එය අනුමත කළ අමාත්‍යවරුන්ට ද ගිවිසුම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බව ප්‍රචාරය විය. මේ ගිවිසුම පිළිබඳ නීතිපති ඉදිරිපත් කළ සංශෝධන ද පිළිගෙන 2018 - ජනවාරි 16 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය යළි ලබාගෙන එම මස 23 දාම ගිවිසුම අත්සන් කර තිබේ.

මේ ගිවිසුම අනුව වසර 12 – 15ක කාලයකට තීරු ගාස්තුවලින් සියයට 80ක් අදාළ ව්‍යාපෘතිවලට ලිහිල් කිරීමක් සිදුව ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම නව ව්‍යාපෘතියට ද එම නිදහස ලැබෙන බවය. මෙය එකවරම නොව වසර හයක් තුළ ක්‍රමයෙන් සිදුවනවා ඇත. හත වසරේ සිට 12 වසර දක්වා කාලයේදී තවත් සියයට 14.3ක් ලිහිල් කිරීමට නියමිතය. එසේම හත්වැනි අවුරුද්දේ සිට 12 වසර දක්වා සියයට 0.7ක බදු ලිහිල් කිරීමක් සිදු කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ම යෝජනාව ගෙන එන ලද්දේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා විසින්ය. මෙම ගිවිසුම යටතේ අදාළ සිංගප්පූරු සමාගම් තෝරාගෙන ඇත්තේ ද කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් හෝ තොරව බව එකල සැලවී තිබුණි. ඒ කාලයේදී විපක්ෂයේ සිටි වර්තමාන රජයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර වැඩිම මුදලට ලබාදිය යුතු බවය. එහෙත් මේ වනවිට ඒ විපක්ෂය ආණ්ඩු පක්ෂය වී ඇති අතර ඔවුන් කිසිදු සංශෝධනයකින් තොරව ව්‍යාපෘතිය සිංගප්පූරු සමාගමට පැවරීමට ලහිලහියේ කටයුතු කරමින් සිටින බව පෙනේ. පහුගිය රජයේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා විසින් මුලින්ම සිංගප්පූරුවේ පෙරෙනියල් රියැල් එස්ටේට් හෝල්ඩිංස් සමාගම හඳුන්වා දී මෙම යෝජිත ඉඩම ලබා ගැනීමට සහ කුලුනේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළද ආණ්ඩු පෙරළිය සමඟ ඉතිරි කොටස කිරීමට ඔවුන්ට නොහැකි විය. දෛවයේ සරදමකට මෙන් එදා එයට විරෝධය දැක්වූ වර්තමාන ආණ්ඩුවේ සාමාජිකයන්ට ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ වගකීම පැවරී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන ඇමැති වශයෙන් මෙම ඉඩම පැවරීමට සහ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පසුගිය දෙසැම්බර් 10දා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමත කරගෙන ඇත. ඒ අනුව ඉතා ඉක්මනින් මෙම ගිවිසුම අත්සන් කරනවා ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සටනේ නිසා ව්‍යාපෘතියට අවශ්‍ය ඉංජිනේරුවරුන්ගේ සිට සියලුම සේවකයන් පිටරටින් ආනයනය කිරීමට ඉඩ ලැබී තිබීම සුවිශේෂ වෙයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම යටතේ අනාගතයේදී තවත් ව්‍යාපෘති මේ රටේ ආරම්භ වීම සිදුවන අතර එහිදී ද ගිවිසුමේ සඳහන් කොන්දේසි ක්‍රියාත්මක වනවා ඇත. එක බිම් අඟලක් හෝ පිටරටවලට නොවිකුණන බවට ප්‍රතිඥා දී බලයට පත් නව ආණ්ඩුව පසුගිය යහපාලන රජය ආරම්භ කළ ව්‍යාපෘති සම්පූර්ණ කරන්නේ නම් සහ එම ගිවිසුම් පිළිගෙන ඒ අනුව ඉදිරි ආයෝජන කටයුතු කරන්නේ නම් එයට විශ්මයාර්ථයක් යෙදිය යුතු බව පැවසිය යුතුය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ කරුණු විමසීමේදී රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙම මාසය තුළ මේ පිළිබඳ ගිවිසුම් අත්සන් කරන බව අවධාරණය කළේය.

“මෙම අක්කර හතරක භූමිය 99 වසරක බද්දට සිංගප්පූරු සමාගමට පවරණ අතර භූමිය කිසි විටෙකත් විදේශවලට නොවිකුණන බව අවධාරණය කරනවා. මෙම ව්‍යපෘතිය 2017 වසරේදී යහපාලන රජය යටතේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ එකක්. විවිධ කරෙුණු නිසා එය ඇරඹීම දිගින් දිගටම ප්‍රමාද වුණා. මේ නිසා ව්‍යාපෘතිය අපට නොලැබී යාමට කටයුතු සැලසී තිබුණි. එවැන්නක් වුණා නම් එය අපේ රටට ආර්ථික හානියක් වගේම අත ළඟට ආපු ආයෝජන අවස්ථාවක් නොසලකා හැරීමක් වුණා. ඒ නිසා වර්තමාන රජය එය ක්‍රියාත්මක කිරීමට එකඟ වී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මේ මාසය තුළම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ අරඹන මෙම සුවිශාල ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් අපට ලැබෙනවා.

ඉඩම් අඟලක් හෝ විදේශවලට නොවිකුණා භූමියේ අයිතිය ශ්‍රී ලංකාවට තබාගෙන මෙම මිශ්‍ර ව්‍යාපෘතියට අවසර දෙන අතර මෙමගින් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට රැකියා අවස්ථා ලැබෙනවා. එසේම මෙවැනි ව්‍යාපෘති අපේ විදේශ විනිමය දුෂ්කරතාවලට ද පිළියමක් වෙනවා. මේ අවස්ථාවේදී මෙවැනි ව්‍යාපෘති රටට තව තවත් අවශ්‍යයයි.”

► යසවර්ධන රුද්රිගු 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00