2020 ජනවාරි 18 වන සෙනසුරාදා

අමතකවීමේ රස කතා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:31 372

මතකය සොඳුරුම නැත ලිපියෙන් අද මා ලියන්නට අදහස් කරන්නේ අමතකවීම් ගැනය. අමතකවීම් ගැන මනෝ විද්‍යාත්මක මත බොහෝ කියවා ඇතත් ඒ එකක්වත් දැන් මතක නැත. මනෝ විද්‍යාත්මක මත කෙසේවෙතත් ඇතැම් අමතකවීම් පිළිබඳ සුන්දර මතකයන් මගේ මතකයේ ඇත. 

මුලින්ම මට මතක් වන්නේ තමන් කරන්නට ගිය දේ අමතක වන මහාචාර්යවරයකු ගැන කියවෙන මහා සාහිත්‍යධර ඇන්ටන් චෙකොෆ්ගේ “දුම්කොළ” නැමති නාට්‍යයයි. මේ මහා ගත්කතුවරයා 1890 නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණ දින තුනක් මෙරටේ ගතකර තිබේ. ඇන්ටන් චෙකොෆ්ගේ ශ්‍රී ලංකා ගමනේ 120 සංවත්සරය සැමරුම් අවස්ථාවේ බී.බී.සී. පළකළ පුවත් වාර්තාවක් අන්තර්ජාලයේ ඇත. එහි සඳහන් තොරතුරුම මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඇන්ටන් චෙකොෆ් ගැන ලියූ ග්‍රන්ථයේද සඳහන් වේ. චෙකොෆ්ගේ ලංකා ගමන සිහි කරනු සඳහා කොළඹ පිහිටි පැරැණි හෝටල් දෙකකම සැමරුම් උත්සව තිබිණි. චෙකොෆ්ගේ ලංකා ගමන සිහි කිරීම උදෙසා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ ඵලකයක් විවෘත කළ බවත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ චෙකොෆ්ගේ මූර්තියක් ස්ථාපිත කළ බවත් ඒ පුවතේ දැක්වේ. කෙසේ වුවද දින තුනක් මෙරට ගතකළ ඇන්ටන් චෙකොෆ් තම දෙවැනි රාත්‍රිය ගතකොට ඇත්තේ මහනුවර හෝටලයක බව බිල්පත්වලින් තහවුරු වන බවද බී.බී.සී. පුවතේ කියැවේ. චෙකොෆ් මෙරටින් යන විට පණ ඇති මුගටින් තුන් දෙනකුද ගෙන ගොස් ඇත. ඊට අමතරව ඔහු කළුවර අලි කිහිප දෙනකු හා ඇත්දළවලින් කළ අලි රූපද ගෙන ගොස් තිබිණි. චෙකොෆ් මෙරටට එන්නේ රුසියාව යටතේ තිබූ, යුද සිරකරුවන් රැඳවූ සකාලින් දූපතට ගොස් ආපසු එන ගමන්ය. සකාලින් දූපත මිහිපිට අපායක් බව පවසන චෙකොෆ් Ceylon (ශ්‍රී ලංකාව) මිහිපිට පාරාදීසයක් වග ලියා තිබේ. දැනට කෞතුකාගාරයක්ව තිබෙන චෙකොෆ්ගේ නිවහනේ ලියන මේසය මත මෙරටින් ගෙන ගිය කළුවර හා ඇත්දළ අලි තිබෙනු (1959 දී) මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් එහි ගිය අවස්ථාවේ දැකගත් බව චෙකොෆ් හා ශ්‍රී ලංකාව පොතේ සඳහන් වේ.

කරුමයක මහත මා ලියන්නට ගියේ ඇන්ටන් චෙකොෆ්ගේ “දුම්කොළ” නැමති නාට්‍ය ගැනය. ලියවු‍ණේ ඇන්ටන් චෙකොෆ් ගැනය. දුම්කොළ නැමති නාට්‍යයේ ඉන්නා මහාචාර්යවරයාට ඇති ලෙඩේද ඒකමය. ඔහු දේශනය දෙන්නට එන්නේ දුම්කොළ භාවිතයේ අනිටු විපාක ගැනය. මුළු නාට්‍යයේම ඇත්තේ අයිවන් ඉවානොව්ච් නියුකින් නම් මහාචාර්යවරයාගේ චරිතය පමණකි. (එය ඒකාංකික නාට්‍යයකි) ඔහුට තමන්ගේ දේශනයේ මාතෘකාව අමතක වෙයි. තම බිරියගේ නේවාසික පාසල ගැන කීමෙන් කතාව පටන් ගන්නා ඔහු දේශනය පුරා පවසන්නේ මාතෘකාවට අදාළ නොවන දේය. හිටිහැටියේ තමා කතා කරන්නට ආවේ දුම්කොළවල අනිටු විපාක ගැන බව මතක්වෙන ඔහු නැවත වෙනත් දේ ගැන කියන්නට ගනී. නාට්‍ය අවසාන වන්නේ ඔහු තම මාතෘකාව ගැන එකදු වචනයක් හෝ නොකියාය. මෙහි රඟපාන්නේ තනි නළුවකු වුවත් ප්‍රේක්ෂකයා සිනහවෙන් කුල්මත් කරවන නාට්‍යමය ගුණයක් මෙම නාට්‍ය පුරා තිබේ. 

1990 ගණන්වල මුල් කාලයේ “චෙකොෆ් සැඳෑව” නමින් ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර නිෂ්පාදනය කළ චෙකොෆ්ගේ නාට්‍ය කිහිපය අතර මෙම දුම්කොළ නම් නාට්‍ය ද විය. චෙකොෆ් සැඳෑව මා නැරඹුවේ දිවා කාලයකය. ඒ රුසියානු මිත්‍රත්ව මන්දිරයේදීය. එහි එන තනි චරිතය වූ අයිවන් ඉවානොව්ච් නියුකින්ගේ චරිතය එදා රඟපෑවේ වසන්ත මොරගොඩය. දක්ෂ නළුවකු වූ ඔහු පසු කලෙක “මෞස්” නම් (Mouse) නම් ළමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

තම නිර්මාණ කෙරේ දැඩි අවධානය යොමු කළ නිර්මාණකරුවන් ආශ්‍රයෙන්ද බොහෝ දෙනා මෙම අමතකවීම් නිරීක්ෂණය කර තිබේ. මෙරට නාට්‍ය කලාවට අතිමහත් සේවාවක් කළ (දැනට දිවංගත) නාට්‍ය නිෂ්පාදකවරයකු සම්බන්ධයෙන් අමතක වීම පිළිබඳ අපූරු කතා රාශියක් ඇත. සෙවණට හෝ වැස්සට ඉහළාගෙන ආ කුඩය ඔහු රූපවාහිනී සංස්ථාවේ කොරිඩෝ දිගේ ඉහළාගෙන ගිය බවට කටකතා පවතී. ඔහු කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයට ගොස් අවශ්‍ය දේ මිලදී ගත් පසුව රථගාලෙත් අනෙක් තැන්වලත් බොහෝ වේලා යනතුරු තම කාර් රථය සොයා එය නැති සොවින් ගෙදර ගොස් තිබේ. එදා ඒ ගමන ගියේ කාර් රථයේ නොවන බව ඔහුට මතක් වී ඇත්තේ ගෙදර ගිය පසු බිරිඳ එම කාරණය මතක් කර දුන් පසුවය. 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නිර්මාණය කළ වෙල්ලවැහුම් නාටකයේද අමතක වීම පිළිබඳ අපූරු සිදුවීමක් ඇත. වෙල්ලවැහුම් නාටකයේ එන අමතක වීම පිළිබඳ සිදුවීම කෙටියෙන් මෙසේය. “ගොවිතැනෙන් ජීවිකාව කරගත් හැලයා නැමති ගැමියා තම ලොකු දුවව බලන්නට යයි. ලොකු දුව ඔහුට දොස් කියන්නට ගත් නිසා ඔහු එතැනින් ඉවත් වී බාල දුව බලන්නට යයි. බාල දුව ඔහුට “වෙල්ලවැහුම්” නම් කැවිලි වර්ගය සාදා දෙයි. වෙල්ලවැහුම් කා සතුටට පත්වන ඔහු ගෙදර ගිය පසු තම භාර්යාව වූ වෑජ්ජමී ලවා වෙල්ලවැහුම් සාදාගෙන කන්නට ඉටා ගනී. වෙල්ලවැහුම්වල නම අමතක වන නිසා ඔහු ඒ නම (වෙල්ලවැහුම් යන්න) මතුර මතුරා මග දිගට කිය කියා යයි. අතරමගදී සිදුවන අකරතැබ්බවලදී ඔහුට වෙල්ලවැහුම් යන්න අමතක වී වෙනත් නමක් කිය කියා යයි. පය පැකිලී වැටුණු අවස්ථාවක ඔහුට “හොත්තෙරි පංචං” කියවෙයි. ඔහු ඉන්පසු යන්නේ “හොත්තෙරි පංචං” කියමිනි. ඔහු ගෙදර ගොස් බිරිඳගෙන් හොත්තෙරි පංචං සාදා දෙන ලෙස ඉල්ලා සිටී. එතැනදී දෙදෙනා බහින්බස් වේ. ඊට අසල්වැසියෝ ඇදී එති. “උන්දැගෙ කට වෙල්ලවැහුමක් වගේ” යැයි එක් ගැහැනියක් වෑජ්ජමී ගැන කියයි. හැලයාට තමා කෑ කැවිලි වර්ගයේ නම වෙල්ලවැහුම් බව මතක් වෙන්නේ එවිටයි. එහිදී කියවෙන දෙබස් මේවාය.

වෑජ්ජමී - මගේ කට වෙල්ලවැහුමක් වගේ කියන්නෙ. මං උන්දැට කියන්නෑ.

හැලයා - උන්දැ කියපු එක තමයි හරි.

වෑජ්ජමී - මොනවා? උඹත් මට නම් හදනවද? බලාගනිං මගේ අතේ කොහුමිට.

හැලයා - නැහැ නැහැ. ඒක නෙමේ. ඒ ගෑනි කියපු නම හරි. වෙල්ලවැහුම් (ඈ ඔහුට ගහන්නට සැරසේ.)

වෑජ්ජමී - මම උඹට වෙල්ලවැහුමක් දෙනවා.

හැලයා - මං කිව්වෙ වෙල්ලවැහුම් සාදන්නෙයි කියල හොත්තෙරි පංචං නෙවෙයි. මට අමතක වුණා බං.

සොකරි ගැමිනාටක ශෛලියේ ආභාෂය ලබා තැනූ වෙල්ලවැහුම් නාට්‍යයේ එක් කවියක් මෙසේය.

“වෙල්ලවැහුම් කකා හැලය
සතුටු වෙමින් යන්නේ
තල්ල හොඳට තලු ගහ ගහ 
ඇස් කරකවමින්නේ”

මහාචාර්ය සරච්චන්ද්‍ර මෙම නාට්‍ය මුලින්ම නිෂ්පාදනය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කනිෂ්ඨ සේවකයන් සඳහාය. ඒ 1960 මාර්තු 24දාය.

ඇත්තටම වෙල්ලවැහුම් කියන්නේ “පෑන් කේක්” යනුවෙන් අප හඳුන්වන කැවිලි වර්ගයට බව තතු පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

දොස්තරවරයකු හමුවන්නට පැමිණි පුද්ගලයකු හා දොස්තර අතර දෙබසක් පැරණි කාටුනයක තිබුණා මතකය. (කාටුන් ශිල්පියාගේ නම අමතකය.)

දොස්තර මහත්තයො මට තියෙන අසනීපෙ තමයි මේ කියපු දේ මේ මතක නෑ.

දොස්තර - දැන් කොයි කාලෙ ඉඳන්ද ඔය අසනීපෙ තියෙන්නෙ?

මොන අසනීපෙද දොස්තර මහත්තයො?

මාවනැල්ලෙන් ඈත ගමක අප දන්නා එක් ආතා කෙනෙක් උන්නේය. ඔහුගේ නිවෙස පිහිටියේ කුඹුරක් අද්දර පිහිටි කඳුගැටයකය. නිවෙස අද්දර පිහිටි ගලක් උඩ හිඳගෙන කුඹුර මැදින් වැටී ඇති පාරේ ඈතින් එන අය දෙස බලා සිටීමේ පුරුද්දක් ගෙදර අයට තිබිණි. දිනක් තම දියණිය සමඟ එහි හිඳගෙන සිටියදී කුඹුර මැදින් වැටී ඇති පාර දිගේ කාන්තාවක එනවා ආතා දුටුවේය.

“අර ඈත නියර දිගේ එන්නෙ, ඒ උඹද?”

ආතා ළඟ සිටි තම දියණියගෙන් ඇසුවේය.

අමතකවීම්වල හාස්‍ය රසය විඳගත්තද අමතක වීමේ රෝගය ඇත්තන්ට සිනහවීම අප අපටම සිනහවීමක් වැනිය. ලෝකයේ නාගරීකරණය වැඩි වෙත්ම, වයස්ගත වනවිට අමතක වීමේ රෝගයට (ඩිමෙන්ෂියා) ගොදුරැවීමේ ප්‍රවණතාවද දැන් වැඩි වී තිබෙන බව දැනන්නට ලැබී ඇත. 

අප දන්නා හඳුනන වැඩිහිටියන් කිහිප දෙනකුටම නිවෙසින් නික්ම ගමන් ගිය පසු ගෙදරට එන පාර අමතක වූ අවස්ථා රාශියක් ගැන දැනගන්නට ලැබුණි.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා නිතර පළවෙන එක් කියමනක් ඇත. ඒ බිරිඳ සහ ඇයගේ මතකය සම්බන්ධයෙනි.

“බිරිඳ යනු, ඇයගේ කොණ්ඩකටුව තිබූ තැන මතක නැති වුවද මීට අවුරුදු ගණනාවකට පෙර ජනවාරි 19 වැනිදා රාත්‍රී 7ට ඔබ කතා කළේ මොනවාද යන්න හොඳින් මතකයේ ඇති අයෙකි.”

 සමන් පුෂ්ප ලියනගේ