2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ගැහැනියක් නිසා මරණයට පත් ශ්‍රේෂ්ඨ කවියා පුෂ්කින්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 182

නව රුසියානු සාහිත්‍යයේ උල්පත ලෙස සැලසෙන ඇලෙක්සැන්දර් පුෂ්කින් ගැන අපේ වර්තමාන පරම්පරාව දන්නේ අල්ප වශයෙනි. ඔහුගේ නිර්මාණ රසවිඳ ඇත්තේද කලාතුරකින් කෙනෙකි. මෙම විශිෂ්ට කවියා රසවිඳීමට වර්තමානයට අවස්ථාව සලසා දීමට ප්‍රවීණ පරිවර්තකයකු වන කරැණාතිලක හඳුන්පතිරණ ඉදිරිපත්ව සිටී. ඒ ඇලෙක්සැන්දර් පුෂ්කින් ජීවිතය, නිර්මාණ හා කෙටි කවි සරණිය කෘතිය මගිනි.

පුෂ්කින් උපත ලද්දේ 1799 ජූනි 6දා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදීය. ඔහු ලියූ දේශපාලනික කවි නිසා 1820 දී ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙන් පිටුවහල් කර රුසියාවේ දකුණු ප්‍රදේශයට යවන ලදී. ඔහු 1820 – 1821 කාලයේදී කෙටි කවි කෘති තුනක් රචනා කළේය. 1825 දී ඔහුගේ ජීවිතයේ ප්‍රධානම හා උසස්ම කෘතිය වූ කාව්‍යමය නවකතාව යෙව්ගේනින් අනේගින් ලිවීම ආරම්භ කළේය. එය අවසන කළේ 1831 දීය. රැසියානු සමාජයේ විවිධ පැතිකඩ හෙළිදරව් කරනා කාව්‍ය නිර්මාණ සිය ගණනින් ඔහුගේ පෑන් තුඩින් බිහි විය.

සාර්ථක ජයෙන් උද්දාම වූ
ප්‍රිතියේ ආලෝකයෙන්
මිදී අලසකමින් රුසියාව
අවදිවනු ඇත නින්දෙන්
සතුරාගේ ගරාවැටුණු
ශක්තිමත් බලකොටුව
රැගෙන යනු ඇත
ගැඹුරු සූක්ෂ්ම සාහිත්‍යයෙන්
අපේ නම්

මෙම කාව්‍ය නිර්මාණ රට පුරාම ප්‍රචලිත විය. ඔහුගේ නම දනන් තුඩග රුව් දෙන්නට විය. සේවකයන් විසින් පසෙකට තල්ලු කර දමන ලද කවියාට දැන් පොදු ජනතාව විනීත ලෙස දුර සිට සවන් දෙනු පෙනේ. පුෂ්කින්ට සියල්ලටම වඩා වුවමනා වූයේ එයයි. පොදු ජනයාගේ සවන් යොමු කිරීමයි. (අලෙක්සැන්දර් පුෂ්කින්, 57 පිට)

නමුත් සාර් පාලකයන්ට අවශ්‍ය වූයේ පුෂ්කින් පොදු ජනයාගෙන් ඈත් කිරීමටය. පළමුවැනි නිකලස් සාර් රජු ඔහු රජවාසලේ යහන් ගබඩාවේ මහත්මා හැටියට පත් කළේ එහෙයිනි.

1834 දී තරුණ ප්‍රංශ ප්‍රභූවරයකු වූ ඩී. ඇන්තිස් ශාන්ත පිතරබුර්ගයට පැමිණියේය. ඔහු පුෂ්කින්ගේ නිවසටද නිතර පැමිණියේය. පුෂ්කින්ගේ බිරිඳ වන නතාලියා ඔහු හා පෙමින් බැඳුණාය. පුෂ්කින්ට අනාචාරයේ හැසිරෙන බිරිඳකගේ සැමියා යන නරක නාමය පටබැඳිණි. අවසානයේ පුෂ්කින් හා ඇන්තිස් ද්වන්ද සටනකට එළඹිණි. එහිදී වෙඩි වැදීමෙන් මේ මහා කවියාගේ ජීවිතය නැවතුණි. ඒ 1837 දීය. අවසානයේ කාන්තාවක නිසා ලෝකයට විශිෂ්ට සාහිත්‍යධරයෙක් අහිමි වන්නේ එලෙසය.

රුසියානු සාහිත්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක් සහිතව හඳුන්පතිරණ මේ කෘතිය ලියා ඇති බව පෙනේ. ඔහුගේ ජීවිතයේ අප නොදත් බොහෝ කරුණු රසවත් රචනා විලාසයකින් ගෙනහැර පායි. වර්තමාන පරපුරට ඇලෙක්සැන්දර් පුෂ්කින් හඳුනාගැනීමට මෙම කෘතිය කදිම මගපෙන්වීමක් සපයිය. ඇලෙක්සැන්දර් පුෂ්කින් ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය විදර්ශන ප්‍රකාශනයකි.

පාඨක

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00