2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ගුවන්තොටුපොළේ රත්රන් පෝටර්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නව වසරේ 1/05 දිනද වඩාත් කාර්යබහුල වී තිබුණි. ඒ මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානා කීපයක්ම ඒ වනවිට ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බැවිනි. මේ නිසා ගුවන් තොටුපළ රේගු නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම, ගුවන් තොටුපළ පෝටර්වරු ද කාර්යය බහුල වී සිටියහ.

කුරැණෑගල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මොහුද කටුනායක ගුවන්තොටුපළ පෝටර්වරයෙකි. ඔහු පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයට, මීට මාස කීපයකට පෙර සිටම බුද්ධි තොරතුරු රැසක්ම ලැබී තිබුණි. ඒ අනුව මීට මාසයක පමණ කාලයක සිට, ඔහුගේ සේවා මුරයේදී ඔහු පිළිබඳව වඩාත් විමසිලිමත් වීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි. එසේම ඔහුගේ කටයුතු ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළ මෙම රේගු නිලධාරීහු, ඔහු පිළිබඳව වැඩිදුර විමර්ශන ද සිදු කරමින් සිටියහ.

මෙම පෝටර්වරයා සිය රාජකාරී කටයුතු බව හඟවමින්, නිතර නිතර රේගු පරිශ්‍රය ඔස්සේ ගමන්ගත් අතර, ඊට අමතරව ගුවන් තොටුපළ විවිධ ප්‍රදේශවල ද සැරිසරන්නකු බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඒ වනවිටත් අනාවරණය කරගෙන තිබුණි. එසේම ඔහු බොහෝ විට තම සේවා මුරය තුළ ගුවන් මගීන්ගේ භාණ්ඩ රැගෙන යෑම වෙනුවට, මේ ආකාරයට ගුවන් තොටුපළ තුළ සැරිසැරීම සාමාන්‍ය පුරුද්දක් බවට පත් කරගෙන තිබුණි.

එහෙත් ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමට හෝ ඔහු නවතා පරීක්ෂාවට ලක් කිරීමට ‍රේගු නිලධාරීන් පියවර නොගත්තේ රේගු නිලධාරීන්ට ඉදිරි දිනයක ඔහු පිළිබඳව නිශ්චිත තොරතුරක් ලැබුණ පසු ඔහු අත්අඩංගුවට ගෙන සෝදිසි කිරීමේ සැලසුම ඇතිවය. එසේ නොමැතිව ඔහු නවතා ප්‍රශ්න කිරීම හෝ සෝදිසි කිරීම සිදුකළහොත් ඔහු පිළිබඳව රේගු නිලධාරීන් විමසිලිමත්ව සිටින බව වැටහී ඔහු විකල්ප පියවර ගැනීමට කටයුතු කළ හැකි බැවිනි. තත්ත්වය මෙසේ තිබියදී පසුගිය 05 දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට එතෙක් ඉතා ඉවසීමෙන් බලාපොරොත්තු වූ බුද්ධි තොරතුර ඔවුන් අතට පත් විය.

එයින් කියවුණේ මෙම පෝටර්වරයා මේ වනවිට රන් බිස්කට් තොගයක් තම සිරුරේ සඟවා ගනිමින් සිටින බවත් තවත් විනාඩි කිහිපයක් තුළ ඔහු ඒවා ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යෑමට සූදානම් වන බවත්ය. ඒ අනුව එදින උදෑසන 9.15ට පමණ මෙම පෝටර්වරයා කටුනායක ගුවන් තොටුපළ රේගු පරිශ්‍රය ඔස්සේ පැමිණ ගුවන් තොටුපළෙන් පිටවීම සඳහා ගමන් කරමින් සිටියේය. වහා ක්‍රියාත්මක වූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ රසික සමන්ජිත් යන මහත්වරැ එසේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටි මෙම පෝටර්වරයා නවතා ඔහුව පරීක්ෂා කරන්නට වූහ.

මුළු ගුවන්තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලම වායුසමනය කර තිබුණ ද, මෙම පෝටර්වරයාගේ ඉහින් කනින් දහදිය වැගිරෙන්නට විය. ඔහු ඇද සිටි රාජකාරී නිල ඇඳුමට යටින් ඔහුගේ උදර ප්‍රදේශයේ රන් බිස්කට් තොගයක් සඟවාගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි. රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා එකක් ග්‍රෑම් 100 බැගින් බරවූ කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 500 ක බරකින් යුතු වූ රන් බිස්කට් 65 ක් ඔහු සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් ඔහු එසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අවස්ථාව වනවිට සහකාර රේගු අධිකාරීවරැන් වන හිරැන් ගුණසිරි, දිල්ෂාන් වැලිගම්පිටිය, ධනුෂ්ක අලහකෝන්, අනුප්‍රිය ගුණවර්ධන යන මහත්වරුද මෙම අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වූහ. පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරැන් වන ඒ.ආර්. සේනාධීර, ඩී.ඒ.එස්. චන්ද්‍රසිරි, රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.කේ.ඒ.ඩී.බී.සී. සුනීත්, ඊ. ශිවඥානම්, කසුන් සූරියආරච්චි, පී.කේ. ආරච්චි සහ ඒ.එච්.ආර්. සමන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම විමර්ශන හමුවේ මෙම පෝටර්වරයාට දෙන්නට උත්තර නොමැති තරම් විය.

ගුවන් තොටුපළ පෝටර්වරයකු යනු රටේ දේශපාලනඥයන් විසින් නිර්දේශ කර ගුවන් තොටුපළ තුළ සේවය සඳහා යොදවා ඇති සේවක පිරිසකි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ගුවන් තොටුපළ තුළ සිටින ගුවන් මගීන්ගේ ගමන් මලු, බඩුබාහිරාදිය ඔවුන්ට අවශ්‍ය ස්ථාන වෙත ගෙන යාමට සහාය වීමයි. ඔවුන්ට ගුවන් තොටුපළෙන් කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලැබෙන අතර ගුවන් මගීන්ගේ රැගෙන යන භාණ්ඩ සඳහා එක් ගමන් මල්ලකට හෝ පෙට්ටියකට රුපියල් 100ක් ලබාගැනීමට ගුවන් තොටුපළ ඔවුන්ට අවසර ලබාදී තිබේ.

මෙවැනි පෝටර්වරැන් 100ක් පමණ ගුවන් තොටුපළ තුළ සේවය කරන අතර ඔවුන්ගේ සේවය කාර්යක්ෂම කිරීමට සහ පෝටර්වරුන් අතර සමානව වැඩ බෙදීයාම සඳහා පැය 08 සේවා මුර ක්‍රමයක් ගුවන්තොටුපළ විසින් හඳුන්වා දී තිබේ. ඊට අමතරව ඔවුන්ට නිල ඇඳුමක් සහ ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා අවසර පත්‍රයක් ලබා දී තිබේ. මෙවන් පසුබිමක් තුළ බොහෝ පෝටර්වරු උත්සාහයෙන් කටයුතු කර, තම සේවාමුරය තුළ හොඳ ආදායමක් උපයා ගැනීමට සමත් වී සිටිති. මෙම පෝටර්වරයා රේගු වැඩිදුර විමර්ශන හමුවේ තම ප්‍රකාශය ඉතා අපහසුවෙන් ගොතා මුමුණන්නට විය.

තමාට එදින උදෑසන ඩුබායි සිට පැමිණි තමා නොහඳුනනා ගුවන් මගියකු විසින්, ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී මෙම රන් බිස්කට් තොගය ලබා දුන් බවත් එය ගුවන් තොටුපළ පිටත පැමිණීමේ පර්යන්තයේ සිටින පුද්ගලයකු වෙත ලබාදෙන ලෙස දැන්වූ බවත් ඔහු පැවසීය. එමෙන්ම ඔහුගේ ජංගම දුරකථන අංකයද තමා වෙත එම මගියා ලබාදුන් බවද වැඩිදුරටත් පැවසීය. මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපළ පිටත සිටින පුද්ගලයාට ලබාදුන් විට තමාට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවට වූ පොරොන්දුව මත මෙම ජාවාරමට තමන් හවුල් වූ බවත් තමන් මේ දිනවල දැඩි මූල්‍ය අර්බුදයක පැටලී සිටින බැවින් මෙම යෝජනාවට එකඟ වූ බවත් මෙම පෝටර්වරයා පැවසීය.

මෙම සිදුවීම පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.ඒ.එස්. චන්ද්‍රසිරි මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම රන් බිස්කට් සියල්ල රාජසන්තක කර මෙම පෝටර්වරයාට රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය. මෙම නියෝගය ලැබී මඳවේලාවක් යත්ම මෙම පෝටර්වරයා වෙනුවෙන් පුද්ගලයෙක් පැමිණ එම රුපියල් ලක්ෂ 30ක දඩ මුදල ගෙවා දමා, මෙම පෝටර්වරයා නිදහස් කර ගෙන ගුවන් තොටුපළ රේගු පරිශ්‍රයෙන් පිටත්ව ගියේය.

කටුනායක ටී.කේ.ජී. කපිල