2020 ජනවාරි 11 වන සෙනසුරාදා

සෙවණගල කොටියා මැරූ දඩයම් වැද්දෝ

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

අලුත් ප්‍රවණතාවක් නොවුණ ද මිනිසුන් හා වන සතුන් අතර කාලයක සිට ගැටුම් පවතී. දෙපාර්ශවයටම මාරක අනතුරු සිදුවන අලි මිනිස් ගැටුම මෙරට ප්‍රධානය. සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව දකින්නට ලැබෙන අර්බුදයක් වුවද දියුණු රටවල ඒ ගැටලුවට ස්ථිර විසඳුම් යොදා ඇති බව දකින්නට හැකිය.

ලෝකයේ වඳවී යන සත්ව කොට්ඨාස අතරට ලංකාවේ සත්වයන් කිහිප පොළක්ම අයත්ව සිටිති. මෙසේ වඳ වී යන සතුන් සුරක්ෂිත කිරීම ලෝක ජෛව පද්ධතියට වැදගත් කාරණයකි. එහෙත් ලංකාවේ වඳ වී යන බවට තහවුරුව ඇති වන ජීවීන් දඩයම් කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වේ.

අපේ රටේ මේ වනවිටත් අලි - මිනිස්, කොටි - මිනිස් මෙන්ම වඳුරන්, රිලවුන්, දඬු ලේනන්, ඌරන් වැනි සත්වයන් හා කිඹුලන් සමඟ ද ගැටුම් ඇතිව පවතී. කිසිවිටකත් ස්ථිර විසඳුමක් නොමැති පසුබිමක පසුගියදා අසන්නට ලැබුණේ කොටියකු ඝාතනය කොට උගේ දත් හතරක් ගලවා ඉදිරි පාද දෙක කපා දමා මරුමුවට පත්කර තිබූ බවකි. එම අපරාධය සිදුකර තිබුණු බව කියැවුණේ උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද බිම්කඩකදීය.

උඩවලව නෙළුම්වැව ආසන්නයේ ගම්වාසීන් පිරිසක් ඉකුත් සතියේ දිනක දැක තිබුණේ ගම හරහා වතුර ගලා බසින ඇළ මාර්ගයක මියගිය කොටියකුගේ සිරුරක් පාවෙමින් යන බවකි. පිරිසක් රැස් වී මළ සිරුර ගොඩගැනීමට කටයුතු කර ඒ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රදේශයේ වනජීවී කාර්යාලයට ලබාදීමට පියවර ගෙන තිබුණි.

“නෙළුම් වැව අපේ ගමේ පොඩි ඇළ පාරක මරුණු කොටියෙක් පාවෙමින් තිබ්බා. අපි ඌ ගොඩට ගත්තා. උගේ ඉස්සරහා කකුල් දෙකක් කපලා. පොඩි තුවාල කිහිපයකුත් තියෙනවා. පෙනුමට ගහලා මරලා වගේ”

මෙසේ විස්තර කරමින් ලබාදුන් තොරතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් සිදුවීම පිළිබඳව සෙවණගල පොලිස්ථානය ද දැනුම්වත් කර ඇත. ඒ අතරින් මියගිය සත්වයාගේ සිරුර පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයා කියා තිබුණේ මරණය ගෙල සිරවීමකින් සිදුව ඇති බවත් ඌගේ මුඛයෙන් දත් හතරක් ගලවා ඇති බවට නිරීක්ෂණය කළ බවත්ය. එසේම ඉදිරි පාද දෙක යම් කැපෙන ආයුධයකින් කපා දමා ඇති බවත් සිරුරේ තරමක තුවාල දෙකක් පෙනෙන්නට ඇති බව වෛද්‍යවරයා දන්වා තිබිණ. සිදුවීම සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් මාර්ගයෙන් සෙවණගල පොලීසියට ලැබුණු පැමිණිල්ල විමර්ශනය කෙරුණේ අනතුරුවය.

ලැබුණු ආරංචි මාර්ග හා සැක සංකා ඔස්සේ තොරතුරු විමර්ශනය කළ නිලධාරීන්ට නෙළුම්වැව ප්‍රදේශයේ දඩයක්කරුවන් පිළිබඳ දැනගැනීමට ලැබී තිබිණ. ඔවුන් පුරුද්දක් වශයෙන් මදු ගසන බවත් එවැනි උගුල් අටවා සතුන් මරා මස් භුක්ති විඳින හා විකුණන බවට ප්‍රසිද්ධ බවද දැනගැනීමට ලැබී ඇත.

තණමල්විල සිට උඩවලව දක්වා පවතින අලිවැට අතරින් රිංගා ගොස් දඩයම සඳහා අවශ්‍ය උගුල් ඇටවීමට දඩයක්කරුවෝ පුරුදුව සිටිති. එසේ ඇටවූ උගුලකට ඉකුත් දිනක සිර වී තිබුණේ කොටියෙකි. උගුලට ගෙල සිරවීමෙන් හෝ දඩයම්කරුවන්ගේ පහරකෑමෙන් මරණයට පත්වූ කොටියා දඩයම්කරුවන් අතර එක් අයකුගේ නිවෙසකට ඔසවාගෙන පැමිණ තිබුණේ කාටත් හොර රහසේමය. එහිදී ඊට විරෝධය පෑ එම නිවසේ සැකකරුගේ මව නිසා යළිත් වරක් කොටි මළ සිරුර ඔසවාගෙන ගොස් ඇත. ඒ යන අතර මග සැකකරුවන් තිදෙන රැස්වී කොටියාගේ දත් හතරක් ගලවාගෙන තිබිණ. එසේ කර තිබුණේ සමාජයේ පවතින ඇතැම් විශ්වාස මත අනුව කොටි දත් මාල සැකසීම සඳහා භාවිතයට ගැනීමටය.

කෙසේ හෝ ඔසවාගෙන ගිය කොටි සිරුර තිදෙනාගේම එකඟත්වයෙන් විසිකර තිබුණේ ගම මැදින් ගලා යන දිය පහරකටය තුළටය. සියල්ල එතැනින් අවසන් බව සිතා විසිර ගිය දඩයක්කරුවන්ගේ අමන ක්‍රියාව හෙළිව තිබුණේ කොටි සිරුර ඇළේ පාවෙන බව දැකීමත් සමඟය.

පොලීසිය මැදිහත්ව සැකකරැවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් සිදුවීම එකක් නෑර පාපොච්චාරණය කොට තිබිණ. ඒ අනුව සඟවා තබා ඇතැයි කියන කොටි දත් හතර සොයාගැනීමට නියමිතය. සැකකරුවන් විසින් කොටියා මැරීමට ඇටවූ උගුල හා ස්ථානය පෙන්වා තිබෙන අතර සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා මොනරාගල සහ ඇඹිලිපිටය කොට්ටාසවල පොලිස් ස්ථානයන්හි නිලධාරීහු දායක වූහ. ඒ අනුව ඇඹිලිපිටිය කොට්ඨාස නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් සැකකරැවන් සෙවණගල පොලීසිය වෙත බාර දී තිබිණ. පසුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණ.

සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00