2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මව් කිරට නිගරු කළ නිකවැරටියේ මව්වරු

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ පොඩි මල් පිපෙනා
ඒ මල් සුවඳින් අද මුළු ලොව සුව ගෙනෙනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

අම්මා යනු උතුම් ගැහැනියකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් ඇය උතුම් යශෝධරාවකි. ලෝකයේ කොතැනක කොහේ වුවත් මව් පදවියට හිමිවන්නේ ඉතා වටිනා ස්ථානයකි. දරුවෙකු කුසේ සිට වැදූ පමණින් ඇය මවක් නොවේ. සැබෑ මවක් වන්නේ මුළු ලොවම සුදු වත් කරමින් උතුම් දරුවන් බිහිකරන අම්මාවරුන්ට පමණි. නමුත් වර්තමාන  සමාජය තුළ මව් පදවිය හෑල්ලුවට ලක්කරන මවකගේ වටිනාකම දන්නා නමුදු නොදන්නාකමින් ඉන්න අම්මාවරුන් නිසා හොරුන් බිහිකරන සමාජයක් අද බිහිවී ඇත.

ජමාල්දීන් මොහොමඩ් රෝෂන්ට සහ ඇගේ පළමු බිරිඳටදාව උපත ලැබූ කල්‍යාණි කෞෂල්‍යා තමා දිගින් දිගටම කුඩම්මාගේ කෙනෙහෙලිකම්වලට ලක්වූ බව කියයි. පියා සහ මව වෙන්වීම හේතුවෙන් පරිවාසය හරහා පියාට කල්‍යාණිගේ අයිතිවාසිකම ලබාදී තිබේ. පසුගිය ජනවාරි 4 වැනි දින නිකවැරටියෙන් ඉතා සෝචනීය සිදුවීමක් වාර්තා විය. ඒ කල්‍යාණි කෞෂල්‍යා පිළිබඳවයි. සමාජජාල හරහා සංසරණය වූ වීඩියෝ පටයක් මුල් කර ගනිමින්ය. එහි අන්තර්ගතය නැරඹූ කාගේ කාගේත් සිත් කම්පාවට පත්වූයේ එය  අමානුෂික සිදුවීමක් නිසාවෙනි.

මෙම සිදුවීම කල්‍යාණි කෞශල්‍යා නම් වයස අවුරුදු 13ක් වයසැති දියණියට මුහුණදීමට සිදුවූ ඉතා නින්දිත ක්‍රියාවලියක් පිළිබඳවයි. ඇයගේ පියාගේ දෙවැනි කසාද බිරිඳ වූ නිල්මිනි රත්නකුමාරි ගර්භනී තත්ත්වයක සිටියදීත් මෙම දැරියට ඉතා අමානුෂික ලෙස පහරදීමට ලක්කර තිබිණි. තවද ඇයට සහය ලෙස ඇයගේ නැගණිය වූ දිල්හානි මානෙල් රත්නමාලි ඉතාමත් නොහොබිනා ලෙස කෞශල්‍යාට පහරදීමට ඉදිරිපත් වී සිටියාය.

කල්‍යාණි කෞශල්‍යා මෙම පීඩාවන්ට මීට පෙරද ලක්ව ඇත. අවසානයේදී දැඩි සිත් වේදනාවත් කායික වේදනාවන් ඉවසා ගත නොහැකි වූ විට ඇය ඉතා දරුණු තීරණයකට යොමුවී තිබේ. එනම් අසල ජලාශයට පැන මියයෑමයි. කෙසේ වෙතත් මෙම සිදුවීම දුටු ගමේ තරුණයකු ඇයගේ මෙම ක්‍රියා කලාපයට ඉඩ නොදී ඇයට ජීවිතය ගැන මනාව වටහා දෙමින් නිවස වෙත එක්කගෙන එන්නේ ජීවිතය ගැන නව බලාපොරොත්තුවක් ඇති කර දීමෙනි.

නමුදු ඒ සියල්ල එක් නිමේෂයකින් ඇවිළී යන්නේ කුඩම්මා සහ ඇයගේ සහෝදරිය ද අවුළුවමිනි. මෙහිදී ඇය කරගන්නට ගිය සිදුවීම ඇසූ ඔවුන් දෙදෙනා ඇයට කෲර ලෙස පහර දෙන්නේ කෝපය ගිනි පුපුරු මෙන් ඇවිළෙන මොහොතකය. තම කෝපය සංසිදෙන තුරුම දරුණු ලෙස ඔවුන් දෙන්නා ඇයට පහර දුන්හ. එය සියැසින් දුටු ඥාති සහෝදරයකු බවට කියන දැරිය දිවි නසා ගැනීමට යාමේදී බේරාගත් බව කියන මනුක දිල්ශාන් නම් තරුණයා මෙම අසාධාරණය ලොවටම කියාපාන්නට එය වීඩියෝ ගත කරන්නේ ඇයට ලක්වෙමින් තිබෙන අසාධාරණය හෙළි කිරීමේ අරමුණ පෙරදැරිවයි.

ඉන් අනතුරුව දැරියගේ මිත්තනිය සහ මව කොටවෙහෙර පොලීසියට පැමිණිලි කිරීමට අවස්ථා කිහිපයකදී ගියමුත් පැමිණිලි බාරගැනීම පොලීසිය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම වීඩියෝ පටය අන්තරජාලයට මුදාහරිමින් සහනයක් ලබා ගැනීමට ඔවුන්ට සිදුවිය. එය රටේ ප්‍රධාන මාධ්‍යවල පළවීමත් සමඟ පොලීසිය වහා ක්‍රියාත්මක වී දැරිවියට පහරදුන් පියාගේ දෙවැනි බිරිඳ වන දැරියගේ කුඩම්මා සහ ග්‍රාම නිලධාරීවරියක් වූ ඇයගේ සොහොයුරිය දිල්හානි රත්නකුමාරි සහ දැරියගේ පියා වන ජමල්දීන් මොහොමඩ් රෝෂන් යන තිදෙනා  අත්අඩංගුවට ගෙන නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහෙස්ත්‍රාත් සශිකා දසනායක මහත්මිය නියෝග කර ඇත.

මේ අතර පහර කෑමට ලක්වූ කල්‍යාණි කෞශල්‍යා නම් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකරනු ලැබුවාය. ඇයගේ අයිතිය ලබාගැනීමට ඇයගේ මව සහ මිත්තණිය කෙතරම් උත්සාහ දැරුවද ඒ සඳහා අවස්ථාවක් නොවීය. එබැවින් මෙවර ඔවුන්ට සාධාරණයක් ඉටුවේවිද? සමාජය තුළ මෙවැනි වාර්තා නොවූ සිදුවීම් කෙතරම් නම් ඇත්ද මෙම වීඩියෝ පටය සමාජයට මුදාහැරීම සමාජයේ කෙතරම් අප්‍රසාදයට ලක්වුවද එමගින් එම තරුණයා මුළුමහත් සමාජයටම කියාපාන්නට උත්සාහ කරන්නේ මෙවැනි අසාධාරණයක් දැක දැක නිහඬ නොවී ඒවාට විරුද්ධව නැගී සිට එකිනෙකාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා තම තමාට හැකි අයුරින් කටයුතු කරන ලෙසයි.

මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් පැවතීම හේතුවෙන් බොහෝ කරුණු තවම හෙළි වී නැත. පැමිණිල්ල ලියා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් කොටවෙහෙර පොලීසිය සහා නිකවැරටිය පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරිනියන් දෙදෙනකු වැඩ තහනමට ලක්වී ඇති බව ද වාර්තා වෙයි.

ඔවුන් මේ පිළිබඳ නිසි ආකාරයට රාජකාරී කර තිබුණේ නම් මේ සිදුවීම මෙතරම් දුරදිග නොයා විසඳා ගැනීමේ හැකියාව තිබුණි. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වගකීම නිසිපරිදි හඳුනා නොගෙන කටයුතු කිරීම මෙවන් තත්ත්වයන් ඇතිවීමට හේතුවක් වී තිබේ.

► රෝවන් පෙරේරා - පුත්තලම

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00