2017 මාර්තු 25 වන සෙනසුරාදා

ඩෙංගු මරණ තවත් ඉහළට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

බුධ ග්‍රහයා මේෂ රාශියෙහි ගමන් කිරීම නිසා අප රටට ඇති වන්නා වූ බලපෑම් පිළිබඳව විමසා බැලීමේදී නවීන විද්‍යාත්මක සොයාගැනීමක් වාර්තා වීම හෝ විද්‍යාත්මක අත්හදා බැලීමකට පිවිසීමත් පිළිබඳව වාර්තාවනු ඇත. තැපැල් සන්නිවේදන කටයුතු ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තාවේ. සාහිත්‍යධරයකුට, ලේඛකයකුට ඉතා අශුභ මාරක වකවානුවක් වනු ඇත. වංචනික ලියවිල්ලක් ගැන ආන්දෝලනාත්මක ප්‍රචාරයක් ඇති වේ. අධ්‍යාපනික කටයුතු සම්බන්ධ ප්‍රශ්නයක් දුර දිග යන අතර සිසුන් අරගලකාරීව කටයුතු කරන්නා වූ කාලයකි. ඩෙංගු උණ හේතුවෙන් සිදුවන මරණ රට පුරා වේගයෙන් ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. 

මේෂ - හිතූමතයට වැඩ
ඔබට යහපත් ඵල උදාවන අතර තම හිතූමතයට කටයුතු කරන්නාවූත් කාල වකවානුවක් වනු ඇත. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් කටයුතු කිරීම මෙම කාල සීමාව තුළ නොකළ යුතු අතර විශාල පාඩු ලැබෙන වකවානුවක්වේ. නැවතී තිබුණු කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට හැකි වනු ඇත.

වෘෂභ - ලේඛනයට හොඳයි
ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ යම් යම් කටයුතු සඳහා බාධාවන් විවිධ පාර්ශවවලින් එල්ල වනු ඇත. සාහිත්‍ය සහ ලේඛන කටයුතුවල නිරතවන්නාවූ අයට යහපත් ඵල අත්වන අතර උණ රෝග පීඩාවක් ඇති විය හැකි බැවින් අවධානයෙන් සිටින්න.

මිථුන - අධ්‍යාපනයට යහපත් 
ඔබට යහපත් ඵල අත්වන අතර විශේෂයෙන් හවුල් කටයුතුවලින් උපරිම ඵල අත්කර ගත හැකිවනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර ජයග්‍රහී මානසිකත්වයකින් කටයුතු කළහැකි වනු ඇත.

කටක - සියල්ල හොඳට
ඔබගේ හිතුමතයට කටයුතු කළද බොහෝ දේවල් යහපත් ලෙස ඉටුකර ගතහැකි වන්නාවූ වකවානුවක්වේ. පතල් ආශ්‍රිත කටයුතුවල නිරත අයට යහපත් ඵල වර්ධනය වනු ඇත.

සිංහ - උත්සාහ සඵලයි
ඔබගේ උත්සාහය මත වැඩ රාශියක් ඉටුකර ගත හැකි වකවානුවක්වේ. ආගමික කටයුත්තකට සහභාගී වීමට අවකාශ ලැබෙනු ඇත. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ජයග්‍රාහී වකවානුවක්වේ.

කන්‍යා - වැඩවලට බාධා
ඔබට එතරම් යහපත් නොවන අතර රැකියා ස්ථානයේ මාරුවීමක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. උණ රෝගවලින් පරිස්සම් වන්න. තම කටයුතු සඳහා විවිධ වූ පාර්ශවවලින් බාධාවන් ඇති කරනු ඇත.

තුලා - නීතිමය ගැටලු
ඔබටත් එතරම් යහපත් වකවානුවක් නොවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදි විය හැකි බැවින් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න. තමන් කිරීමට යන කටයුතු සඳහාත් විවිධ වූ බාධාවන් හා ගැටලු ඇති වනු ඇත.

වෘශ්චික - සතුන්ගෙන් පීඩා
ඔබට යහපත් ඵල අත්නොවනු ඇත. ඔබගේ වැඩකටයුතු සඳහාත් විවිධ පාර්ශවවලින් බාධාවන් ඇති වනු ඇත. සතුන්ගෙන් ශරීරයට පීඩාවක් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුවේ.

ධනු - සැහැල්ලුවෙන් වැඩ
ඉතා සැහැල්ලු සිතින් යුක්තව කටයුතු සිදු කරන්නාවූත් කාල වකවානුවක් වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ඇතිවනු ඇත. දරුවන් ලැබීමට සිටින අය කල්පනාකාරී වන්න.

මකර - පදිංචියට නව නිවසක්
ඔබට යහපත් වේ. සිතට සහනයක් ලැබෙනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉරිපත් වන වකවානුවක්වේ. නව භූමියක් හෝ නිවසක් මිලදී ගැනීමට පදිංචියට යහපත් වූ කාල වකවානුවකි.

කුම්භ - සිතේ සතුට
සාහිත්‍ය හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. තම බුද්ධියට නැවුම් අලුත් දෙයක් එක්කර ගැනීමට හැකි වන්නාවූත් කාල වකවානුවක්වේ. සිතේ සතුට රජයනු ඇත.

මීන - අතමිට මුදල්
තමන්ගේ වැඩ අතපසු වන්නාවූත් කාල වකවානුවකි. අතමිට මුදල් ගැවසෙනු ඇත. තම නිවසේ අලුත්වැඩියාවක් සිදුකිරීමට යහපත් කාලවකවානුවක් වනු ඇත. පවුල් දිවියේ මතභේද ඇතිවේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීන ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ 
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය 
ඔලබොඩුව, ගෝනපල.