2020 ජනවාරි 11 වන සෙනසුරාදා

කටින් පමණක් බස්සන බේකරි කෑම මිල

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

නව රජය බලයට පත්වූ වහාම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලට පනවා තිබූ විවිධ බදු ප්‍රතිශත පහත හෙලීමෙන් බලාපොරොත්තු වූයේ පාරිභෝගිකයාට සහන සැලසීමය. එහෙත් එම අපේක්ෂාව තවමත් ඉටු වී නැති බව වෙළෙඳ පොළ වර්තමාන මිල මට්ටම අනුව පෙනීයයි. අපේ රටේ බදු වැඩිවීමක් සිදුවූ විට ඒ ඇසිල්ලේ පටන් භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යන නමුත් බදු පහළ වැටුණු විට විවිධ නිදහසට කරුණු දක්වමින් එම සහනය පාරිභෝගිකයන්ට ලබානොදීමට ව්‍යාපාරිකයෝ සැදී පැහැදී සිටිති. රජය තමන්ට ලැබෙන බදු ආදායම අහිමි කර ගනිමින් ජනතාවට සහන ලබා දුන්නද එම සහන ඔවුනට නොලැබේ නම් දෙපාර්ශ්වයටම සිදුවන්නේ හානියකි. අද ඊයේ පමණක් නොව කුමන රජයක් බලයට පත්වුවද මෙතෙක් එහි වෙනසක් සිදුව නැත.

පසුගියදා රජය බදු සහන සැලසීමෙන් ලැබී තිබෙන ප්‍රතිඵලය ද එයම පැවසිය යුතුය. තිරිඟු පිටි මිල පහළ දැමීම සඳහා ආණ්ඩුව අඩු කළ වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු හේතුවනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ. එපමණක් නොව තිරිඟු ඇට ගෙන්වීමට ප්‍රධාන විජාතික සමාගම් දෙකට මෙතෙක් දී තිබූ ඒකාධිකාරි වරප්‍රසාද අහෝසි කර ඕනෑම ව්‍යාපාරිකයකුට ඒවා ආනයනය කිරීමට අවසරය ලබාදී තිබිණ. එහෙත් එම ප්‍රතිකර්ම දෙකම අසාර්ථක වී ඇති බව අද පිටි ආහාරවල මිල ගණන් අනුව සනාථ වේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පසුගිය සතියේ දේශය පුවත්පතට පැවසුවේ ජනවාරි 01 දා සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් අඩු කිරීමට කටයුතු කරන බවය. අපි ඒ පිළිබඳ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක් ද පළ කළෙමු. එහෙත් මිල අඩු නොකිරීම පිළිබඳ දැන් විමසූවිට ඔහු පවසන්නේ එය කිරීමට නොහැකිවීම පිළිබඳ නිදහසට කරුණුය.

මේ අනුව අපට පෙනීයන්නේ තිරිඟු පිටි නිෂ්පාදනවල මිලේ අඩුවීමක් බලාපොරොත්තු නොවිය හැකි බවය. බලධාරින්ට විවිධ තීරණ ගත හැකි නමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ තීරණ පොතට පමණක් සීමාවනු ඇත. බේකරි නිෂ්පාදන පමණක් නොව බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු නොවී තිබෙන්නේ ඒ පිළිබඳ ගොඩනැගී ඇති මාෆියාවක් නිසා බව සිතගත හැකිය. මේ තත්ත්වයට මැදිහත් වී ප්‍රායෝගිකව කටයුතු නොකළහොත් සිදුවන්නේ “නටපු නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත.” යන ගැමි වහර සනාථ වීම පමණක් බව පැවසිය යුතුය.

අඩුකළ බදු අපට බලපාන්නේ අඩුවෙන්
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන

සතියක් දෙකක් යන විට බේකරි නිෂ්පාදනවල මිල අඩුකරන්න තමයි අපි බලාපොරොත්තු වෙලා සිටියේ. එහෙත් දැනට පවතින තත්ත්වය අනුව තවමත් එය කළ නොහැකියි. එයට එක් හේතුවක් වනුයේ ආණ්ඩුව අඩු කළ බදු මෙම ව්‍යාපාරයට බලපාන්නේ මඳ වශයෙන් වීමයි. පාන් පිටිවලට සහ පාන් සහ කෙටි කෑම නිෂ්පාදනවලට වැට් බද්ද බලපෑමක් නැතිවීමයි. ඒ නිසා ආණ්ඩුව වැට් අයින් කළා කීවාට එය මේවායේ මිලට බලපාන්නේ නැහැ. දැනට අඩුවෙලා ඇත්තේ ජාතිය ගොඩනැගීමේ බද්දවන සියයට 2 පමණයි. ඒ අඩුවීම නිසා පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් අඩු කරන්න කියලා අපට බේකරි හිමියන්ට කියන්න බැහැ.

අනිත් හේතුව තමා පිටි ආනයනය කරන්නට අවසර දීලා ඇත්තේ කෙටි කාලයකට පමණක් වීම. තීරැ බදු අඩු වෙන්නේ කෙටි කාලයකටයි. ඒ නිසා පිටි ආනයනය කරන්න වෙනත් ව්‍යාපාරිකයන් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ සඳහා දී ඇති කෙටි කාලයෙන් පසු යළි පරණ තත්ත්වයට යාවි කියලා තොග වෙළෙඳුන් පිටි ගෙනත් අවදානමක් ගන්න සූදානම් නැහැ. දැනට සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම්වලට බාහිරව කවුරුවත් තිරිඟු පිටි ගෙන්වන්නේ හෝ ඇට ගෙනල්ලා පිටි නිෂ්පාදනය කරන්නට යොමුවෙලා නැහැ. අපි බලාපොරොත්තු වුණේ ආණ්ඩුව දෙනවා කියපු සහන නිසා තිරිඟු පිටි මිල අඩුවේය කියලයි. එහෙම වුණා නම් බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න තිබුණා. තවම එහෙම තත්ත්වයක් නැහැ. ඉදිරියේදී සියල්ල යහපත් වුණොත් අඩුකරන්න පුළුවන්.

පිටි මිලේ වෙනසක් වුණේ නෑ
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් 

තිරිඟු පිටි මිල අඩුනොකර පිටි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව කියයි. අද බේකරි නිෂ්පාදනය ගම් මට්ටමට පැමිණ ඇති අතර එය බොහෝ විට ස්වයං රැකියාවක් බවට ද පත්ව ඇති බව ඔහු කියයි. බේකරි නිෂ්පාදන මිල නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් මේ ස්වයං රැකියා ලාභීන්ගේ අනාගතයට බලපෑම් ඇතිවිය හැකි බව ඔහුගේ අදහසය.

“මේ වනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 87 වෙනවා. මෙය අඩුකර ගන්න තමා ආණ්ඩුව තෙවැනි පාර්ශ්වයකට පිටි හෝ තිරිඟු ඇට ගෙන්වීමට පහසුකම් සලසා දුන්නේ එහෙත් එයින් ප්‍රයෝජනයක් වෙලා නැහැ. ඒ සහනය දුන්නේ මාසයකටයි. මේ ජනවාරි 14 දා වනවිට මේ සහනය අවසන් වෙනවා. එහෙත් තවම එහෙම පිටි ආවේ නැහැ. ඒ නිසා පිටි මිල වෙනසක් වෙලාද නැහැ.

එක් ව්‍යාපාරිකයෙක් පමණක් පිටි තොගයක් ගෙනාවත් එහි ප්‍රමිතිය (පට්ට ගතිය) නැතිවීම නිසා ඒ තොගය ප්‍රතික්ෂේප වුණා. ඊට පසුව ගෙනා කෙනෙක් නැහැ. අනිත් එක මේ අවසරය මසයක කාලයකට පමණක් දීලා හරි යන්නේ නැහැ දිගටම දිය යුතුයි.

අද වනවිට සහල් මිල ඉහළ යාම නිසා ආප්ප සහ ඉඳිආප්ප මිල වැඩිවෙලා තියෙනවා. දැන් කැකුළු සහල් ආප්ප පිටි කිලෝව රුපියල් 120ට නැගලා. ආප්ප, ඉඳිආප්ප තනන්න්නේ කැකුළු සහල්වලින් සම්බා මිල අඩුකිරීම ඒ අයට බලපාන්නේ නැහැ.

බදු අඩුකිරීම තිරිඟු පිටිවලට බලපෑවේ නැහැ. පාන් ඇතුළු පිටි නිෂ්පාදන අඩුවෙන බවට ප්‍රචාරය වුණත් එහෙම දෙයක් සිදුවෙලා නැහැ. ආපනශාලාවල පාන් ½ක් හා පරිප්පු ව්‍යාංජනයක් අලෙවි වන්නේ රුපියල් 100කට පමණයි. සෙසු කෙටි කෑමවල ද මිල අඩුවෙලා නැහැ. පොල්තෙල්, මිරිස්, එළවළු, අල, ලූනු, බිත්තර, මස්, මාළු ආදියේ මිල ඉහළයි. කෙටි කෑම හදන්න මේවා තමා පාවිච්චි කරන්නේ. ඉතින් අඩු මිලට දෙන්න බැහැ.

කොහොම වුණත් ආණ්ඩුව දෙන බවට ප්‍රචාරය කළ බදු සහන ජනතාව සමීපයට ඇවිත් නැහැ. ඒවායින් ප්‍රයෝජන ගන්නේ වෙනත් කණ්ඩායමක්. තිරිඟු පිටි කිලෝව රුපියල් 70ට දෙන්න පුළුවන්. ඒත් දෙන්නේ නැහැ. මහා පරිමාණ විදේශ ව්‍යාපාරිකයන් විශාල ලාභ ලබනවා. මිල සමනය කරන්නට අවශ්‍ය නීති රීති අණ පනත් ශක්තිමත් නැහැ. නීතියෙන් රිංගලා යනවා වැඩියි.

පාරිභෝගික සේවා අධිකාරියට අඛණ්ඩව වැටලීම් කරන්න බැහැ. පාරිභෝගික සේවා අධිකාරියේ අධීක්ෂණ නිලධාරීන් 200ක් පමණයි ඉන්නේ. ඒ අයට රටේ දෙකෝටියක පාරිභෝගික ජනතාවට අලෙවි කරන මිල පරීක්ෂා කරන්න අපහසුයි. සිල්ලර වෙළෙන්දු පිටි කිලෝ 5-10 ගෙන්නලා තමා කෑම හදන්නේ. ඒ අයට මුදල් යටකරලා තොග මිලට බඩු ගන්න බැහැ. ඒ නිසා මිල වැඩියි.

බටර් කේක්වල බටර් නෑ
පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

රටේ පිටි ව්‍යාපාරයේ ඒකාධිකාරිත්වය එහෙමම තියෙනවා. ආණ්ඩුව වෙනත් ව්‍යාපාරිකයන්ට සහන දීලා පිටි ගෙන්වන්න උත්සහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. එයට හේතුව වෙන අය ආනයනය කරලා අඩු මිලට තිරිඟු පිටි වෙළෙඳ පොළට දැම්මොත් ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තමන්ගේ මිල ගණන් එයට වැඩිය අඩු කරලා අලුතෙන් වෙළෙඳ පොළට පැමිණි ව්‍යාපාරිකයන් ඉවත් කරන්නට උත්සහ කිරීමයි. ඒ නිසා අලුත් ව්‍යාපාරිකයන් මේ ව්‍යාපාරයට එකතු වෙන්න බයයි. ආණ්ඩුව වෙළෙඳ පොළ පුළුල් කරන්නට උත්සහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ.

අනෙක් එක පිටි ආහාරවල මිල වගේම ප්‍රමිතිය තනන්න කාටවත් බැහැ. බටර් කේක්වල බටර් නැහැ. ජෑම් පාන්වල ජෑම් නැහැ. සීනි බනිස්වල සීනි නැහැ. ඉතින් මේවයේ ප්‍රමිතිය හදන්න කිසිදු බලධාරියකුට බැහැ. පැණි බීමවල වගේ මෙච්චර සීනි තියෙන්න ඕනෑය කියලා කියන්න බැහැ. ඒ නිසා බේකරි නිෂ්පාදනවල ප්‍රමිතිය හදන්න නීති දාන්න අපහසුයි.

අද සහල් මිල වැඩිවී ඇති නිසා සහල් පිටි නිෂ්පාදකයන්ද අමාරුවේ වැටී ඇත. පිටි මිල අඩු වුණොත් ස්වදේශීය හාල් පිටි නිෂ්පාදකයන්ට අහිතකරව බලපානවා. දැනටමත් හාල් පිටි කර්මාන්තය පසුබැහැලයි තියෙන්නේ. තිරිඟු පිටි මිල අඩු කරන්න නම් හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ආණ්ඩුව ආනයනය කරලා වෙළෙඳ පොළට දැමීමයි. එහෙම කළත් එහි අතුරැ ප්‍රතිඵල ගැන සලකන්න වෙනවා.

පාන් ගෙඩිය රුපියල් 200ටත් තියෙනවා
පාරිභෝගික සේවා අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර
පවසන්නේ පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳ මැදිහත් වීමට පාරිභෝගික සේවා අධිකාරියට හැකියාවක් නැති බවය. බේකරි නිෂ්පාදනවලට මිල පාලනය ප්‍රායෝගිකව කළ නෙහැකි බව ඔහු කියයි.

“බේකරි නිෂ්පාදන විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවයද එකිනෙකට වෙනස්. හදන ක්‍රමද වෙනස්. දරවලින් වගේම ගෑස්වලින්, විදුලියෙන් නිෂ්පාදනය කරනවා. ඒ අනුව නිෂ්පාදන පිරිවැය වෙනස් වෙනවා. මේවාට දමන පෝෂක සහ රසකාරක වැනි දේවල් ද එකිනෙකට වෙනස්. ඒ නිසා මේවායේ මිල පාලනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කරයි.”

අනිත් අතට අද පවතින විවෘත වෙළෙඳ රටාව අනුව විවෘත වෙළෙඳ පොළේ මිල තීරණය කිරීම කෘත්‍රීමව සිදුකළ යුතු දෙයක් නෙවෙයි. එය බොහෝ අවස්ථාවල සාර්ථක වෙන්නේ නැහැ. සෑම භාණ්ඩයකම මිල පාලනය කළ නොහැකියි. අපට ගෑස් සිලින්ඩරයක, සිමෙන්ති කොට්ටයක මිල පාලනය කරන්න පුළුවන්. එහෙත් බොහෝ දුව්‍යවල මිල පාලනය කරන්න බැහැ. එහෙම මිල පාලනය කළොත් භාණ්ඩ බාලවිය හැකියි. බරින් අඩුවිය හැකියි. එවැනි අවස්ථා අපි අත්දැකීමෙන් දන්නවා.

පාන් ගෙඩිය රුපියල් 200ටත් තියෙනවා. බනිස් සහ සෙසු පිටි ආහාරවල මිල ද විවිධයි. කේක් පවා එහෙමයි. කේක් කිලෝව රුපියල් 250ට වගේම තුන්හාර දහසටත් තියෙනවා. ඒවායේ ප්‍රමිතිය අනුව මිල වෙනස්. පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය දේ තෝරා ගැනීමේ අයිතිය තියෙන්න ඕනෑ. ඒක ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක්. රුපියල් හැටට පාන් කනවා වගේම රුපියල් 200ට ඒවා අනුභව කරන්න පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව අනුව ඔහුට පුළුවන්. එයට තහංචි දමන්න බැහැ. අනිත් අතට පාරිභෝගිකයා ඉල්ලන්නේ නැතිනම් එහෙම වැඩි මිලට නිෂ්පාදන වෙළෙඳපොළට එන්නේ නැහැ. ඉල්ලන නිසයි නිපදවන්නේ. ඉතින් එම තත්ත්වයට අපි කොහොමද මැදිහත් වෙන්නේ.
ඒත් අපි පසුගිය කාලයේ තිරිඟු පිටි මිල වැඩි කිරීම නැවැත්වීමට කටයුතු කළා. අවස්ථා හතරකදී ආනයන සමාගම් ගත් උත්සහය ව්‍යාර්ථ කරන්න අපට හැකි වුණා. එහෙම පිටි මිල හිතූ හිතූ ගණන්වලට ඉහළ නංවන්න ඉඩ දුන්නා නම් අද පාන් ගෙඩියක මිල රුපියල් 100ක් වෙන්න තිබුණා. ඉදිරියටත් අපේ අවසරයක් නැතිව පිටි මිල වැඩි කරන්න අනායන සමාගම්වලට බැහැ. එහෙම කළොත් අපි මැදිහත් වෙනවා.

හැබැයි වෙළෙඳ පොළේ තරගකාරීත්වයක් ආවොත් මිල ස්වංක්‍රීයව පාලනය වන්න පුළුවන්. දැනටමත් ඕනෑ කෙනකුට තිරිඟු පිටි ආනයනය කරන්න අවසර දීලා තියෙනවා. එවිට සමාගම්වලට ඒකාධිකාරියෙන් පවත්වාගෙන යන්න බැහැ. එහෙම ආනයනකරුවන් වැඩි වුණොත් නිෂ්පාදනය වැඩිවී මිල ඉබේම අඩුවන්න පුළුවන්. ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වීම තමයි සාර්ථකම ක්‍රමය වන්නේ. වෙළෙඳ පොළේ භාණ්ඩ සැඟවීම ආදියෙන් කෘත්‍රීම හිඟයක් ඇති වුණොත් එවැනි අවස්ථාවල පාරිභෝගික සේවා අධිකාරියට මැදිහත් වන්න පුළුවන්. එහෙම නැතුව ඍජුවම මිල පාලනය කරන්න බැහැ. බේකරි නිෂ්පාදනය වුණත් බොහෝ අය නිපදවා වෙළෙඳ පොළට එනවා නම් මිල අඩුවේවී. දැනටමත් මිල මට්ටම පවතින්නේ ඒ අනුවයි. එසේම තිරිඟු පිටිවලට ආදේශක ඇති වුණොත් තවත් මිල බහිවී. 

යසවර්ධන රුද්රිගු