2020 ජනවාරි 11 වන සෙනසුරාදා

වෙබ් එකෙන් නවකතා කියවන යුගය උදාවෙලා...

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 259

- සම්මානනීය ලේඛිකා රෑපා ශ්‍රියානි ඒකනායක

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකව සිටි රූපා ශ්‍රියානි ඒකනායක පාඨක හා විචාරක ප්‍රසාදය දිනාගත් නවකතා රාශියක් ලිව්වාය. 2007 දී ඇය ලියූ තරු බඹසර ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ අතර 2012 දී ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තේ ඇයගේ සිටුවර පුවතයි. දුටිමි නෙතින් කසුප් නිරින්දෝ වෙත 2010 දී ගොඩගේ සම්මානය පිරිනැමිණි. 2018 වර්ෂයේ බෞද්ධ සාහිත්‍ය සම්මානය රූපා ශ්‍රියානිගේ සෝබන මාලිගා නවකතාවට හිමි විය. ඇගේ අලුත්ම නවකතාව බලන් පුර සිරි නෙත් වසා සමකාලීන දේශපාලන ධාරාවේ අහුමුළු සොයා යමින් එහි දූෂිත ඇතුළාන්තය පාඨකයාට හඳුන්වා දෙයි. මෙම කෘතිය මරදාන සූරිය ප්‍රකාශනයකි.

ඔබේ අලුත්ම නවකතාව බලන් පුර සිරි නෙත් වසා සඳහා පරිපාලන සේවා අත්දැකීම් පාදක කරගත් බව පේනවා. මේ කෘතිය ගැන යමක් කිව්වොත්?

මෙය ලිවීම සඳහා මා පරිපාලන සේවා නිලධාරිනියක් ලෙස ලබාපු අත්දැකීම් අනිවාර්යයෙන් පාදක  වුණා තමයි. මෙහි කතාව දිවයන්නේ පරිකල්පිත රජයේ ආයතනයක රාජකාරියේ යෙදී සිටින උසස් නිලධාරී ප‍්‍රජාවත්, ඒ හා බැඳුණු මැති ඇමතීන් ඇතුළු දේශපාලන ප‍්‍රජාවත්, ඊට පරිබාහිරව වරින්වර රජයේ ආයතනවලට නොයෙක් අයුරින් සම්බන්ධ වන පෞද්ගලික කොම්පැනිත්, ජනමාධ්‍යයත් තේමාකොට ගනිමින්. මේ සියලු චරිත හා සංසිද්ධීන් පරිකල්පිතයි. පාඨකයාට දැනෙන සියුම් උපහාසයකුත් මේ සියලු දේ යටින් දිවෙනවා. 

පොතේ තිබෙන්නේ අලුත් රජයක අලුත් ඇමැති කෙනෙක් පසුබිම් වූ පුවතක්. මේක වත්මන් දේශපානයට බද්ධ කරගත හැකිද?

මට මේ නවකතාව ලියන්නට අවුරුදු එකහමාරක්, දෙකක් පමණ කාලයක් ගියා. මෙවැනි කතාවක් මාසයක් දෙකක් ඇතුළත ලියන්නට බැහැ. මේ කතාව ලියා, නැවත නැවත කියවා, සංස්කරණය සඳහාද, ඉන්පසුව සෝදු පත‍්‍ර බැලීම හා පිටු සැකසීම සඳහාද, බාර දුන්නේ වත්මන් දේශපාලන පෙරළියට පෙරයි. ඕනෑම රජයක් බලයට පත්වීමත් සමඟම පරිපාලන පද්ධතියත් නොයෙක් හැල හැප්පීම්වලට භාජනය වෙනවා. අලුත් රජයක් බලයට පත්වීම සමඟම රාජ්‍ය නිලධාරීන්ද නව ක‍්‍රමයට සැකසීම සඳහා මහා අරගලයක් කරනවා. මා මෙහිදී කතා කරන්නට වෑයම් කළේ ඒකයි. මෙහි කතාව අලුත් ඇමැතිවරයාගේ හා නිලධාරීන්ගේ නොයෙක් පරිපාලන රංගනයන් සමඟ සෑහෙන කාලයක් ඉදිරියට දිව යන්නක්. ඒ නිසා මේ කතාව වත්මන් දේශපාලනය හා සම්බන්ධ කිරීමට තවම වේලාසන වැඩියි. ඒත් ඉතින් මෙහි දිවයන්නේ කාලයක් අපට හුරු පුරුදුව තිබුණු රාජ්‍ය පරිපාලන හා දේශපාලන වංශකතාවම නිසා පාඨකයාට එය  ඕනෑම කාල වකවානුවක් හා බද්ධ කර ගැනීමට නිදහස තියෙනවා. පොත මුද්‍රණයෙන් පිටවීමට මේ කාලයම ඉලක්ක නොකළ අතර එය හුදෙක් අහඹු සිදුවීමක් පමණයි.

රටේ දේශපාලනය ගිලගෙන ඇති ජරාජීර්ණ දූෂිත වටපිටාව කුමන පාලකයන් පත්වුණත් වෙනස් කිරීම අසීරැ බව මෙහි කියැවෙනවා. මෙවැනි නිර්මාණ කෘතිවලින් පාලකයන්ට යම්කිසි වෙනසක් සඳහා ඉඟියක් ලබාදිය හැකි යයි හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක් ලෙස ඔබ සිතන්නේද?

අති දීර්ඝ කාලයක් තිස්සේ, සමහරවිට නිදහස ලැබුණු දා සිට අපේ දේශපාලනය ක‍්‍රම ක‍්‍රමයෙන් ඇදුණේ අන්තිම ජරාජීර්ණ තත්ත්වයකට බව ප‍්‍රසිද්ධ රහසක්. කුමන දේශපාලන මතයක් දැරුවත් දේශපාලනඥයා යන වචනය අවඥාවෙන් බැහැර කිරීමට මේ වනවිට අපේ මිනිසුන් පෙළඹී සිටිනවා. මේ තත්ත්වය තව තවත් බැරෑරුම් වුණේ මේ ජරාජීර්ණත්වයට රාජ්‍ය නිලධාරීන්ද යම් පමණකින් වගකිවයුතු නිසා. රාජ්‍ය නිලධාරීනුත් යම් යම් වරදාන හා ලාභාපේක්ෂාවෙන් පවතින  ඕනෑම ක‍්‍රමයකට ආවැඩීම නිසා මේ තත්ත්වය දැන් රාජ්‍ය පරිපාලනයේ පිළිලයක් තරමට වැඩී තියෙනවා. මෙය දැන් මහා ඛේදවාචකයක් වී ඇත්තේ රාජ්‍ය නිලධාරියා දේශපාලකයාට යට විය යුතුයි යන අදහස දැන් මුල් බැසගත් සම්ප‍්‍රදායක් වී තිබෙන නිසා. ඇත්තටම ඔබ ඇහුවා වගේම මගේ පොතේ මා යම් ඉඟියක් ලබාදෙනවා අපට මේ අන්ධකාරය තුළින් හිස එළියට දමා ආලෝකය බැලිය හැකි හිඩැස් තවම ඉතිරි වී ඇති බව. 

මේක දේශපාලන නවකතාවක්. අපේ රටේ දේශපාලන නවකතා ලියැවෙන්නෙ බොහොම අඩුවෙන්. ඔබ එයට හේතුවක් දකිනවාද?

මේක දේශපාලන නවකතාවකටත් වැඩිය රාජ්‍ය පරිපාලනය හා ඈඳුණු නවකතාවක් කියන්න පුළුවන්. ඒ නිසාම දේශපාලනයත් මෙහි මුඛ්‍ය තේමාවක් වී තිබෙනවා. එවැනි නවකතා අඩුවෙන් ලියවීමට හේතුව හැටියට මා දකින්නේ අපේ පාඨකයා අතර ජනප්‍රිය වන්නේ ප්‍රේමය ආදරය, අමු අමුවේ දිගහැරෙන ලිංගික චර්යාවන්, අසම්මත ප්‍රේමයන්, පවුල් අවුල් තේමා කරගත් කතා පමණක්ය යන මතය නිසා. නමුත් අප ලේඛකයන් වශයෙන් කළ යුත්තේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම කිරීම නොවෙයි. යම් ප‍්‍රඥාවකින් පාඨක මනස පුබුදු කිරීමයි. ඒ නිසා විවිධ තේමාවන් කරා අප යොමුවිය යුතුයි.  

සාහිත්‍යයෙන් ඈත්වූ දේශපාලනඥයන් සිටින රටක සාහිත්‍ය කෘති මගින් යමක් කිරීම අපහසුයි නේද?

ඇත්තටම, සාහිත්‍යය පිළිබඳ උනන්දුවක් දක්වන, එවැනි පොත්පත් ඇසුරැ කරන  දේශපාලනඥයන් අප අතර සිටීදැයි මා දන්නේ නැහැ. බැලූ බැල්මට නම් එහෙම අය ඉතා අඩු බවයි පෙනෙන්නේ. කලාව සාහිත්‍යය ගැන උනන්දුව නිකම් වේදිකාවලට පමණක් සීමාවෙන හිස් වචන ටිකක්. සමහරැන් කතාකරන විට පොතපත කියැවීමෙන්  ලබාගන්නා ගැඹුර, බහුශ‍්‍රැතභාවය පේනතෙක් මානයක නෑ. අපේ බොහෝ පරණ දේශපාලනඥයන් තම මතය තහවුරැ කරගන්නට උද්ධෘත කර ගන්නේ පොත පතෙහි ලියා ඇති දේ. ඒ නිසාම අප මේවා ලියන්නේ දේශපාලනඥයන් ඉලක්ක කරගෙන නොවේ. කියවන නොකියවන එක ඒ අයට භාරයි.

මම නම් හිතන්නේ මෙවැනි කෘති රටේ අනාගතය ඉදිරියේ බාරගන්නා අපේ තරුණ පරපුර අතරට යා යුතු බවයි. ඒ සඳහා යම් උපක්‍රම ඔබ භාවිත කිරීමට සිතා සිටිනවාද?

මා මේ පොතේ කතා කරනවා රජයේ සංවර්ධන යෝජනා ක‍්‍රම හා බැඳුණු උගත් තරැණ ශිල්පීය ඥානය ගැන. මේ පිළිබඳව පසුගිය කාලයේ හැම දේශපාලන වේදිකාවකම කියැවුණා. මෙහි තරැණ තරැණියන්ගේ ෆේස්බුක් සමාජ ගැන කියැවෙනවා. ඒ සමාජ මගින් තමන්ගේ තාක්ෂණික ශිල්පීය ඥානය පවතින රජයන් වෙත ඉදිරිපත් කරන අයුරැත්, එහිදී ඔවුන්ට මුහුණපාන්නට වන ව්‍යසන ගැනත් සවිස්තරව කතා කරනවා. දියුණු තාක්ෂණ ශිල්ප ක‍්‍රම පවා හොර පාරේ යාමටත්, එයින් නොයෙකුත්  ගසාකෑම්වලට තරැණ පරපුර ලක්වීමටත් ඉඩ ඇති බවත් මා අවධාරණය කරනවා. මේවා ගැන අපි කතාකළාට අපි ලියන්නේ මොන වගේ පොත්පත්ද කියල රටට හඳුන්වා දෙන සද්භාවයෙන් කෙරෙන සාහිත්‍ය විචාරයන් නැතිවීම පාඩුවක්. මේ වගේ සාකච්ඡා තමයි අපිට තියෙන ප‍්‍රචාරණ මාධ්‍යය. ඒ ඇරෙන්න ෆේස්බුක් එකෙනුත් මේ පිළිබඳ තොරතුරු සීමිත කොටසක් තරුණයින් අතරට යයි. 

වර්ෂයකට නවකතා පොත් 150කට ආසන්න සංඛ්‍යාවක් පළවෙන බව පේනවා. නමුත් කියවීමේ පුරුද්ද අඩුවී ඇති බවටත් මැසිවිලි නැගෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ මැසිවිල්ල නම් හැමදාම කෙරෙන දෙයක්නෙ. ඒ වුණාට දැන් තරැණ පරපුර කියවන්නේ මුද්‍රිත මාධ්‍යයට වඩා ඉලෙක්ට්‍රොනික මාධ්‍යය. පිටුගණන් පොත් කියවන්නේ නැති යුගයක කෙටි වුවත් ෆේස් බුක් එකෙන්වත් යමක් කියැවීම හොඳයි. ඒවාට පිළිතුරැ වශයෙන් පහළින් දාන ‘කමෙන්ට්ස්’ හරිම නිර්මාණශීලියි. උපහාසාත්මකයි. මං හිතන්නේ අපේ නවකතාත් වෙබ් අඩවිවල පළකිරීමට ප‍්‍රකාශකයන් උත්සුක විය යුතුයි. දැන් දැන් සිංහල නවකතාවත් වෙබ් අඩවිවලට පිවිසීමේ ප‍්‍රවණතාවක් පේනවා. මැසිවිලි නඟන්නේ නැතිව පවතින ක‍්‍රමයෙන් ප‍්‍රයෝජන ගැනීම තමයි කළ යුත්තේ. 

සමහර ප්‍රවීණයන් සාහිත්‍යධරයන් සමාජ මාධ්‍ය ගැන සයිබර් අවකාශය ගැන එච්චර ලැදියාවක් නැහැ. එසේ නමුත් ඔබ සමාජ මාධ්‍යවල බලපෑම ගැන මෙහි විස්තර කරනවා.

ඔව්. අපේ රටේ විද්වතුන් සමාජ මාධ්‍ය ජාලා ගැන නොයෙක් විට නොපහන් සිතින් කතාකරනවා අප අසා තිබෙනවා. ඒකට හේතුව මේ මාධ්‍යයන්ගේ බස හැසිරවීම හා ඒවා ඇති වී නැති වී යන ක්ෂණික බව වෙන්න පුළුවන්. නමුත් පවතින ක‍්‍රමයේ සාධනීය ලක්ෂණ නොදැක, ඒවාට අනුගත නොවී ගතානුගතිකත්වයේ හිර වී සිටීම අපට අවාසි වෙන්න පුළුවන්.

 කුසුම්සිරි
 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00